2023 ජුලි 22 වන සෙනසුරාදා

විදුහලක් තුළ ක්‍රියාත්මක වූ නීතිවිරෝධි ගව ඝාතකාගාරයක්!

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

එය විදුහලක්ය. එසේ මෙසේ විදුහලක් නොව ඉස්ලාම් ආගම උගන්වන අරාබි විදුහලක්ය. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඉදිරිපස බදුල්ල ජුම්මා පල්ලියට හා බදුල්ල මල්වත්තට   නුදුරින් පිහිටි මෙම විදුහල දැඩි ආරක්ෂා සහිතව පවත්වාගෙන යන්නක්ද වෙයි. අවසර නැතිව ඇතුල්වීම තහනම් යැයි වන පුවරුව ගේට්ටුවේම ප්‍රදර්ශනය කර තිබේ. විදුහල වටා උස් තාප්පයකි. පැය 24 පුරාම සේවය කරන මුරකරුවන්ය.

එහි විදුහල්පති රිස්වාන් මවුලවිතුමා පවසන අන්දමට මෙය මව්ලවිවරුන් පුහුණු කරන රාජ්‍ය නොවන විදුහලකි. වයස අවුරුදු 7 පමණ සිටි තරුණ විය දක්වා වන පිරිමි ළමයින් 50 දෙනෙක් පමණ මෙහි නේවාසිකව උගනිති. මෙම ළමයින් විවිධ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. බොහෝවිට අසරණ ළමයින්ය.

එහෙත්... විදුහල්පතිවරයා එසේ හඳුන්වා දුන් මෙම විදුහල පිළිබඳව බදුල්ල පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලැබී තිබුණේ පුදුම සහගත තොරතුරකි. එය සපයා තිබුණේ බුද්ධි විශේෂ කාර්යාංශය විසින් ඉන් කියැවුනේ විදුහල තුළ නීති විරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බවය. බදුල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කොට්ඨාස විෂමත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ක්‍රියාත්මක විය.

ඉකුත් 16දා මැදියම් රුයේ මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුර දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරු වන (54100) තිලකරත්න, (46592) සුජීව, (74416) දිසානායක, කොස්තාපල්වරු වන (12560) විජේරත්න, (74503) සමීර යන විදුහල තුළ ගව ඝාතකාගාරය  වැටලීමේ මෙහෙයුම ආරම්භ කළේය.

ගේට්ටුවේ ඉබි යතුරු දමා තිබූ බැවින් උස් තාප්පයෙන් පැන විදුහල් බිමට යනවිටත්  ගවයන් මස් කරමින් තිබූ බව පොලීසිය පැවසීය. ඔවුන් ගවඝාතන සිදුවන අයුරු ජංගම දුරකථනයේ රූගත කරමින්ම සැකකරුවන් අත්අඩංගුව ගැනීමට සමත්විය. ඒ වනවිටත් එළදෙනුන් හතර දෙනක් මස් කරමින් සිටි බවත් මරා මස්කිරීමට සූදානම් කර තිබූ වහුපැටියෙක් හඬමින් සිටි බවත් පොලීසිය සඳහන් කළේය.

වහුපැටියාගේ ජීවිතය බේරාගත් පොලීසිය එල්ලා මස්කරමින් තිබු එළදෙනුන්, කැබලි කළ මස්, මේ සඳහා යොදාගත් ආයුධ සමග සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. සැකකරුවන් අතර මෙම විදුහලේ අරක්කැමියා විය. මස් ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රථයක්ද පොලිසියේ බාරගෙන ගෙන තිබේ. සැකකරුවන් ගුරුතලාව, බණ්ඩාරවෙල, හාලිඇල සහ නුවරඑළිය පදංචිකරුවන්ය. ඔවුන් 47,49,39 සහ 48 වයස් කාණ්ඩයන්ට අයත්වූවන් බව විමර්ශන වලදී අනාවරණය විය .
''හැම තිස්සේම ගේට්ටුව වහල ඉබි යතුරුදාල තියෙන්නේ පැය 24 පුරාම මුරකරුවන් සේවය කරනවා. විදුහලට එන අයන සියලු දෙනා සටහන් කරන්න පොතක් තියෙනවා. මෙම ළමුන් සියලු දෙනා කාලසටහනකට ඉස්ලාම් ආගම ඉගෙන ගන්නවා. ඔවුන් මවුලවිවරුන් ලෙසත් පුහුණු කරනවා. මේක අදහාගන්නත් අසීරු සිදුවීමක්. මෙම සිද්ධියට සම්බන්ධ බවට  සැකකරන මුරකරු සේවයෙන් ඉවත් කිරීමට පාලන අධිකාරිය පියවර ගත්තා. තවත් සේවකයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිනවා'' යැයිද විදුහල්පතිවරයා පැවසීය.

මෙම ගව ඝාතන සිදුවූ බව කියන තිබූ ස්ථාන නිරීක්ෂණය කිරීමේදී අපට දක්නට ලැබුණේ ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිරියේ ඊට අඩි සියයක් පමණ දුරින් ජල ටැංකිය පිහිටා ඇති බවයි. ඒ ආසන්නයේම වැසිකිළි පද්ධිතයකි. ගව ඝාතකාගාරය බවට පත්ව ඇත්තේ මෙතැනය. මෙම පසුබිම තුළ කිසිවෙකුටත් නොදැනෙන සේ ගව ඝාතන සිදුව තිබීම නම් විස්මයජනකය. අදහාගත නොහැකිය.

එය තමන්ටද විශාල විස්මයක් දනවන්නක් බවත් විදුහලේ කිසිම සම්බන්ධයෙන් මේ සඳහා නොමැති බවත් විදුහල්පතිවරයා යළිත් අවධාරණය කළේය. කෙසේ නමුත් පොලීසිය සඳහන් කලේ මෙය මෙම ස්ථානයේ ගව ඝාතන සිදුවූ ප්‍රථම අවස්ථාව නොවන බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි. මෙම මස් බදුල්ල නගරයේ ගවමස් වෙළඳසැල්වලට හා ඇතැම් හෝටල්වලට සපයා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන්ට විරුද්ධව රාත්‍රි කාලයේ පාසැලකට අයුතු ඇතුල්වීම, බලධාරියෙකුගෙන් ලබාගන්නා ලද බලපත්‍රයක් නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාම, නිසි අවසරයක් නොමැතිව එළ වැස්සියන් 04 දෙනෙක් ඝාතනය කිරීම වහුපැටියෙක් මැරීමට සූදානම් කිරීම යන චෝදනා  යටතේ විරුද්ධව නඩු පවරා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසුවේ පසුගිය කාලය තුළ  තම කොට්ඨාසයේ පොලිස් ස්ථානවලින් කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී නිසි අවසරයක් නොමැතිව පීඩාකාරී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ හොර හරක් විශාල ප්‍රමාණයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

විමර්ශන: සටහන හා ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ