ලෝකයේ ප‍්‍රධාන ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර අතර හතරවැනි ස්ථානය සමෘද්ධි බැංකු ක‍්‍රමයට ලැබී ඇති බව ප‍්‍රකාශ වේ. ආසියානු සංවර්ධන බැංකුව මෙම සහතිකය නිකුත් කළ බව සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි. තාක්ෂණික බැංකු ක‍්‍රම හා මහජනතාවගේ පහසුව ඇති කරන මූල්‍ය ව්‍යාපාර අතර සමෘද්ධි බැංකුවට හිමිවන ස්ථානය ගැන අනාවරණයක් නැත. වරින් වර බලයට පත්වන ආණ්ඩු දුප්පත් ජනතාවගේ සුබසාධනය සඳහා විවිධ ක‍්‍රමෝපාය අත්හදා බලති. සමාජ සජීවීකරණය, පෝෂණය නැංවීම හා අනිවාර්ය ඉතිරිකිරීම්වලට පෙළැඹවීම මේවා අතර වෙයි. ආණ්ඩු වෙනස්වන විට හැඩය, ප‍්‍රතිපත්ති පමණක් නොව ඒවායේ අන්තර්ගතය ද අහෝසි වේ. මහජනතාවගේ ශක්තිය, ධෛර්යය පමණක් නොව අසීරුවෙන් එකතු කරන ලද මුදල් ද ඵලදායීතාවයක් රහිතව පවතී.
සමෘද්ධි බැංකු ක‍්‍රමය මහ බැංකුවට පවරා ගත යුතු බව වත්මන් ආණ්ඩුවේ තීරණය බව ප‍්‍රකාශ වේ. ගම් මටට්මින් සාමාජිකයන් දස ලක්ෂ ගණනින් සිටින අතර ඔවුන් ගනුදෙනු කරන සමෘද්ධි බැංකුවල මුදල් අවසානයේදී රාජ්‍ය බැංකුවක තැන්පත් කෙරේ. දුප්පත් ජනතාවගේ මුදල් එකතු කරගෙන ඒවා බැංකුවකට යවා ලැබෙන පොලියෙන් ආයතන නඩත්තු කරන අතර එයින් කොටසක් පමණක් නැවත ගිණුම්වලට බැර කිරීම සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් නොවේ. සමෘද්ධි බැංකුවල ධනය නොමනා ආකාරයට වැය කරන අතර දේශපාලන කටයුතුවලටද යෙදවෙන බවට තොරතුරු පසුගිය කාලයේ අනාවරණය විය. දුප්පත් ජනතාවගේ තැන්පත්වලට අත්පත් වන ඉරණම ගැන වගකිවයුතු අංශවල අවධානය යොමුවිය යුතුය.
සමෘද්ධි බැංකු රහස
දිළිඳුකම දුරැලීම අරමුණු කරගෙන පුළුල් ජාතික ව්‍යාපාරයක් ජනසවිය වැඩසටහන සමඟ ආරම්භ වේ. නොයෙක් ක‍්‍රමවලට සැපයූ ආධාර වෙනුවට ඔවුන් නගා සිටුවන සැලැස්මක් ඉදිරිපත් කෙරිණ. ජනසවිය වැඩසටහනට සමාන්තරව ලෝක බැංකු ආධාර යටතේ භාරකාර අරමුදලක් ක‍්‍රියාත්මක වූ අතර එයට රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් සම්බන්ධ කරගෙන තිබුණි. ගැබිණි කාන්තාවන්ගේ හා දරුවන්ගේ පෝෂණය නැංවීම, ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, සමාජ සජීවීකරණය, එනම් සාමූහිකව නැගී සිටින අවස්ථා හා ණය ආධාර ක‍්‍රම එයින් ක‍්‍රියාත්මක විය. ලෝක බැංකුව සපයන ආධාරවලින් කොටසක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරඹන අඩු ආදායම්ලාභීන්ට ණය සඳහා වෙන් කළ අතර ඒවායේ ණය ආපසු අය කරගෙන චක‍්‍රිය පදනමකින් බැංකු හා සමාන සරල මූල්‍ය ව්‍යාපාරයක් අරඹා තිබුණි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා අරඹන ලද ජනසවිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා ආණ්ඩුවට ගලපාගත නොහැකි විය. වසර හැත්තෑ පහකින් ගෙවන සියයට දශම ගණනක පොලියකට ලැබුණු ලෝක බැංකු ආධාර සහිත වැඩසටහන නතර කළේය. එම අවස්ථාව වන විට ජනසවිය කුඩා කණ්ඩායම් බැංකුවල වත්කම් මහ බැංකුවට පවරා ගත් බව වාර්තා වූ අතර දුප්පතුන්ට ලැබුණ දෙයක් නැත.
ජනසවිය අහෝසි කළ ශ‍්‍රී.ල.නි.ප ආණ්ඩුවේ ඊළඟ පියවර එයට සමාන වෙනත් නමකින් දුප්පත්කම දුරු කිරීම වූ අතර සමෘද්ධිය හඳුන්වා දුන්නේය. සමෘද්ධිය යටතේ අනිවාර්ය ඉතිරිකිරීම්, සමෘද්ධි බැංකු, සමෘද්ධි කළමනාකාරවරුන් පත් කෙරිණ. 2018 වසරේදී පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ පරිදි සමෘද්ධි බැංකු සමිතිවල රුපියල් බිලියන 8.3 ක් පවතින අතර බැංකු පද්ධතිය සතු වත්කම රුපියල් බිලියන 148.5 කි. මේවායේ මුදල් පරිහරණය ඉතා අක‍්‍රමවත් බව රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. අදාළ නොවන වියදම් කර ඇත. සමෘද්ධි පනත අනුව ජනතාවගේ ඉතිරි කිරීම් භාවිතාවට ගත හැකි අංශ පැහැදිලිව දක්වා තිබියදී මිලියන ගණනින් ධනය දේශපාලන වැඩවලට යොදා ඇති ආකාරය විගණාකාධිපතිවරයා පෙන්වා දී ඇත.
මහ බැංකුවට පවරා ගැනීම
ආණ්ඩුව සූදානම් වන පරිදි සමාද්ධි බැංකුවල වත්කම් මහ බැංකුව භාරයට ගන්නට නියමිතය. ගිණුම්වල පවතින දුප්පත් ජනතාවගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරන බව දැක්වේ. මෙහි අභ්‍යන්තරය අනුව මෙම මුදල් හා ගිණුම් රජයේ බැංකුවකට හැරවිය හැකි අතර ගිණුම් හිමියන්ට එතැන් සිට එම බැංකුවේ ගිණුමක් වශයෙන් පවත්වාගැනීමට ඉඩ ලැබෙන්නට අවකාශ ඇත. එය අවදානමක් රහිත සුදුසු ක‍්‍රමවේදයකි. කෙසේවෙතත් මූල්‍ය අර්බුදය සමඟ ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතු ණය ප‍්‍රතිව්‍යුහගත කරන අතර නැවත වතාවක් බැංකුවලට අවශ්‍ය ප‍්‍රාග්ධනය සපයන්නට ආණ්ඩුවට සිදුවී තිබේ. සමාද්ධි ව්‍යාපාරය සතු බිලියන ගණන රජයේ බැංකුවලට අලුත් වත්කමක් විය හැකිය. ප‍්‍රධාන ධාරාවේ බැංකු බිඳවැටීම වළක්වන ප‍්‍රාග්ධන සැපයුමකි. ආණ්ඩුවට අලුතින් ධනය සපයන්නට නොහැකි අර්බුදයක් පවතින වකවානුව තුළ සමෘද්ධි ඉතිරි කිරීම් වාසිදායක තීන්දුවක් විය හැක.
අක‍්‍රමවත් හා අකාර්යක්ෂම සමෘද්ධි බැංකු වෙනුවට නූතන බැංකු ක‍්‍රමයේ වාසිය ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකිවීම යහපත් තීන්දුවකි. ආණ්ඩුවෙන් සැපයෙන ඇතැම් දීමනා සමෘද්ධි බැංකු ඔස්සේ ගෙවන ලද අතර ඒවා ලබාගැනීමට බැංකු විවෘතව ඇති කාලය තුළ ගනුදෙනුකරුවාටම ඉදිරිපත් වීමට සිදුවිය. නූතන තාක්ෂණය අනුව කාඩ්පත්වලින් ගැනීමට හෝ බැංකුවෙන් අන්තර්ජාල ක‍්‍රමයට ගෙවීමේ පහසුකම් සමෘද්ධි බැංකුවලට නැත. අනෙක මෙහි පාලනය සමෘද්ධි කළමනාකරුවන් අත පවතින අතර එහිදී සිදුවන දූරදර්ශී නොවන ආයෝජන ප‍්‍රතිලාභ අඩු කරයි. සමෘද්ධි අරමුදලේ තැන්පත් වෙනත් බැංකුවක තැන්පත් කරනු වෙනුවට කෙළින්ම රජයේ සුරුකුම්පත් ලබාගෙන හෝ වෙනත් ක‍්‍රමයකට ඉහළ ප‍්‍රතිලාභ ගත නොහැකි වී තිබුණි. වාණිජ බැංකුවක හැසිරවීමට යටත්වීම මෙවැනි වාසි අත්කර දෙනු ඇත.
ජනසවිය, සමෘද්ධි වැනි කුඩා ග‍්‍රාමීය බැංකු ඒකක හඳුන්වා දෙන්නට හේතු වූයේ ඇයි? ඒවා ජනතාවට සමීප ක‍්‍රමයකි. හදිසි අතමාරුවක් ගත හැකි වේ. විශාල ලේඛන තොගයක් සමඟ දේපල ඇතිදැයි බලන වාණිජ බැංකුවලට සාපේක්ෂව සාමාන්‍ය මුදලක් සමෘද්ධි බැංකුවේම වෙනත් ගනුදෙනුකරුවන් දෙදෙනකුගේ පෞද්ගලික ඇප මත හදිසි ණයක් ලබාගැනීම දුප්පත් ජනතාවට හා කුඩා ව්‍යවසායකයන්ට විශාල අවස්ථාවකි. මහ බැංකුවට පවරා ගැනීම සමඟ එම අවකාශය ඇවිරේ.
ග‍්‍රාමීන් බැංකුව හා සමාන ක‍්‍රමවේද
බංගලාදේශයේ ග‍්‍රාමීන් බැංකු ක‍්‍රමය ලෝකයේ ප‍්‍රසිද්ධ කුඩා මූල්‍ය ව්‍යාපාරයකි. එම බැංකුව කුඩා පරිමාණයෙන් ආරම්භ කරන මොහමඩ් යූසුෆ් 1983 සිට මේ දක්වා දැවැන්ත ආදර්ශයක් සපයා ඇත. දුප්පත්කම දුරුකිරීම සඳහා ලැබුණු සුළු ආධාරයක් පදනම් කරගෙන ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කරන කාන්තාවන් හතළිස් ගණනකගෙන් ඇරඹුණු මෙහි පසුබිම පසුව තැන්පත් භාරගන්නා හා ණය දෙන බැංකුවක් බවට හැරවිණ. 2016 වසර වන විට එහි ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 216 තෙක් ඉහළ නැග තිබුණි. 1997 වාර්තා අනුව මිලියන 8.4 ක පිරිසක් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ලබාගෙන තිබේ. එයින් 97෴ ක් කාන්තාවෝය. එයින් වසර දෙකකට පසු නිවාස ණය ලබාදීමේ ක‍්‍රමයක් ද ඇරඹේ. බංගලාදේශය අද පවතින දියුණුවට ආණ්ඩුවේ සැලසුම් පමණක් නොව ග‍්‍රාමීන් වැනි සුළු බැංකු ක‍්‍රමවල පිටිවහල ද නොඅඩුව ලැබුණි. එහි නිර්මාතෘවරයා වශයෙන් යූසුෆ් මහතා පසුව නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
ශ‍්‍රී ලංකාවේ අවාසනාවක තරම මෙයින් පැහැදිලිය. නොබෙල් තෑග්ග වෙනුවට සොරකමට හුරු වී ඇති මෙරට දේශපාලකයෝ ජනතාවගේ ආධාරයෙන් අරමුදල් අරඹන අතර ඒවායේ ධනය සිය යහපතට හරවාගෙන අධිකරණ තීන්දුව සම්මානයක් සේ සලකන තැනට පත්ව සිටිති. සමෘද්ධි තැන්පත් පමණක් නොව සමෘද්ධි ලොතරුයියක් අරඹා එයින් ලැබුණු ආදායමෙන් රටට කරන ලද යහපත ද පැහැදිලි නැති තැනට පත්ව තිබේ. සමෘද්ධි අරමුදල රජයේ විගණනයට පවා යටත්ව නොතිබුණු අතර පොදු ව්‍යාපාර කාරක සභාවේ අධීක්ෂණයෙන් බැහැරව තිබුණි. ඉතාම මෑතකදී එම ආවරණවලට යටත් කරන නමුත් ජනසවිය ඉතිරි කිරීම් හෝ සමෘද්ධි තැන්පත්වලට සිදුවූ විනාශය දැන් ආපසු හැරවිය නොහැක.
ශ‍්‍රී ලංකාවේ දුප්පත්කම නැවතත් ඉහළ ප‍්‍රතිශතයකට පැමිණ ඇත. ආර්ථික අර්බුදය විසින් ආදායම හීන කර ඇති ජනතාව යැපීම සඳහා ආධාර ඉල්ලා සිටිති. අස්වැසුම වැඩසටහන යටතේ අංශ තුනක ආවරණයට යටත්ව ලක්ෂ දොළහක ජන කොටසකට සහන සැපයෙන යෝජනාවක් ක‍්‍රියාත්මක නමුත් අස්වැසුම නොලැබුණු තවත් ලක්ෂ නමයක පිරිසක් අභියාචනා කර ඇත. මෙම ජනතාවගේ දුක හා වේදනාව හඳුනාගත යුතුය. අරමුදල් ගොඩනගන ඒවායේ ධනය අනිසි ලෙස පරිහරණය කරන ලද අවස්ථා ගැන ඉතිහාසයේ සිට අත්දැකීම් ඇත. මේවායේ විපාක අද ජනතාවගේ දරිද්‍රතාවයට හේතු වී තිබේ. ආපසු ගොඩනැගෙන අතර ජන ජීවිතය යහපත් කිරීම සඳහා සංවිධානාත්මක මූල්‍ය ක‍්‍රම හඳුනාගත යුතුය. ලෝකයේ නොයෙක් රටවල සාර්ථකව ක‍්‍රියාවට නංවා ඇති අදහස් පරිශීලනය කිරීම වැදගත්ය.
I සාරා කන්දෙගොඩ