2023 ජුලි 22 වන සෙනසුරාදා

විදෙස් රැකියාවකට ඔබ යන්නේ නම්, මේ පිළිබඳව දැනුවත්ද?

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 136

විදෙස් රැකියාවක් සඳහා ඔබ පිටත්වන්නේ නම් මූලිකව ඔබ සැලකිය යුතු කාරණාවන් ඇත.

01. රැකියා ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිද?

02. ඔබ යන රැකියාව සහ රට සඳහා රැකියා ලබාදීමට ඒ ආයතනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසරයක් ලබාදී තිබේද?

03. ඔබ විදේශ ගතවීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබේද?

රැකියා ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිද?

විදේශ රැකියා ආයතන හැමතැනමය. ඔවුන්ට ලැබෙන හැඳුනුම්කම් මත රැකියා ලබාගෙන ඒ සඳහා පුද්ගලයන් යැවීම බොහෝ ආයතන කරයි. එහෙත් ඒ සඳහා වගකීමක් තිබිය යුතුය. ඔබ යන ආයතනය ඔබට වගකියන්නේද? ඔබේ රැකියාවට වගකියන්නේද යන්න ගැනය. ඒ සඳහා එම ආයතන අධීක්ෂණය කිරීමේ බලය පැවරී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යංශයටය. පහුගිය සමයේ මැදපෙරදිග රටවල සිදුවූ යම් යම් සිදුවීම්වලදී විදෙස් ගතවූවන් සම්බන්ධයෙන් තොරතුරක් පවා සොයා ගැනීමට නොහැකි වූයේ එම පුද්ගලයන් රැකියා සඳහා පිටත්ව ගිය ආයතන සොයාගන්නවත් නොහැකි වූ නිසාය. මේ නිසා බොහෝ අවස්ථාවල අධික කරදර මැද ලංකාවට පැමිණි විදේශ රැකියාලාභීන් අවසානයේ සල්ලිත්, රස්සාවත් නොමැතිව අන්ත අසරණවූ අවස්ථා එමට තිබුණේය. ඒ නිසාම අද වනවිට ඔබේ විදෙස් ගතවීමේ වගකීම ආයතනයට සම්පූර්ණයෙන් පැවරී ඇති අතර එය අධීක්ෂණය කිරීම කාර්යාංශය සතුව ඇත. ඒ නිසා ඔබ යන ආයතනය නියත වශයෙන්ම ලියාපදිංචි වී ඇත්දැයි බලන්න.
ඔබ යන රැකියාව සහ රට සඳහා රැකියා ලබාදීමට ඒ ආයතනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසරයක් ලබාදී තිබේද?

මෙය ඔබේ ආරක්ෂාව සඳහා ලබාදුන් ඉතාම වටිනා අවස්ථාවකි. එනම් ඇතැම් ආයතන ලක්ෂ ගණනින් මුදල් ලබාගන්නේ ජපානයට, යුරෝපයට ඔබව යවන බව පවසමිනි. ඇතැම් පුද්ගලයින් ඒ සඳහා ලක්ෂ ගණන් ගෙවති. එහෙත් අවසානයේ රැකියාවක් ලැබෙන්නෙ නැත. අඩුම තරමින් මුදල් ලැබෙන්නේද නැත. එවැනි වංචාකරුවන් ඇති තරම් අද සමාජයේ ඇත. ඒ නිසා ඔබ රැකියාවක් තෝරාගන්නේ නම් එම රැකියා ඒජන්සියත්, එසේම එම රැකියාව සහ රට අදාළ ආයතනයට කරගෙන යාමට නීත්‍යානුකූලව අවසරයක් දී ඇතිද යන්නත් නිශ්චිතව පරීක්ෂා කර බලන්න. එසේ නොමැති නම් කිසිදු විටෙක ඔබ මුදල් ලබා නොදෙන්න.

ඔබ විදේශ ගතවීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබේද?

ඔබ විදෙස් රැකියාවකට යන්නේ නම් ඔබ අනිවාර්යයෙන් ලියාපදිංචි වී සිටිය යුතුය. ඒ සඳහා ඔබ ගිවිසුම් ගත කාලය වෙනුවෙන් රුපියල් 15,200ක් ද එකී ගිවිසුම් ගත කාලය ඉක්මවා යන්නේ නම් එය අලුත් කිරීම සඳහා රුපියල් 3,200ක් ද කාර්යාංශය සඳහා ගෙවිය යුතුව ඇත. මෙම මුදල කාර්යාංශයේ සුබසාධන කාර්යයන් සඳහා යටත් වන අතර මේ ලියාපදිංචිය අනිවාර්ය කොට සලකනු ලබයි. ඒ අනුව විදෙස් ගතවන ශ්‍රමිකයෙකු අනිවාර්යයෙන් මෙම මුදල ගෙවිය යුතුවේ.

මෙලෙස මුලික කාරණා සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබ ආරක්ෂා සහිත පුද්ගලයෙක් වනු අත ඔබට විදේශයකදී යම් ගැටලුවකට මුහුණ පෑවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සෘජුව මැදිහත් වීමේ ඉඩක් ඇත. එනම් ඔබ මෙරටින් නීත්‍යානුකූලව පිටත් වූ අයකු නිසාය. බොහෝවිට ඇතැම් ඛේදජනක සිදුවීම්වලට මුහුණපාන්නට වන්නේ නීත්‍යානුකූල නොවන බොහෝ දෑ යටතේ කටයුතු කිරීම නිසාය. එහෙත් අද වනවිට පසුගිය සමය මෙන් ගැටලු ප්‍රශ්න ඉස්මතු වී නැත. විශේෂයෙන් මැදපෙරදිග රටවලින් ලැබෙන අඳුරු සිදුවීම් දැන් සිදු නොවන්නේ මෙකී වගකීම නිසාය. ඒ නිසා ඔබ විදේශ ගත වන්නේ නම් www.slbfe.lk නැමැති කාර්යාංශ වෙබ් අඩවියට ගොස් තොරතුරු ලබාගන්න. එවිට ඔබට සියල්ල වැටහෙනු ඇත. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02