♦ කංසා වවන්න ලයිසන් දීමක්
♦ පාරම්පරික වෙදකම අතහැරලා
♦ ඖෂධ නිපදවන අයිතිය පැහැරගෙන
♦ ගණිකා වෘත්තියටත් සහතිකයක්
අපේ රටේ වසර දහස් ගණනක් පුරා පැවැතියේ පාරම්පරික වෙදකමය. පසුව එයට ආයුර්වේදයද එක් විය. මෙරට පවතින ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ආයුර්වේද, සිද්ධ, යුනානි, යෝග, දේශීය චිකිත්සක ක්‍රම, ඖෂධ ප්‍රතිකාර ක්‍රම, ශල්‍යකර්ම සහ ආසියාතික රටවලට ආවේණික සහ එම රටවල් මගින් පිළිගත් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇතුළත්ය. ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සඳහන් කරන පරිදි අපේ ආයුර්වේද පනතේ ඉතිහාසය 1891 වැනි කාලය දක්වා දිවෙන්නකි. ක්‍රමක්‍රමයෙන් එය විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමින් 1961 අංක 31 දරන ආයුර්වේද පනත ලෙසට ක්‍රියාත්මක විය. අවස්ථා හතරකදී එම පනත සංශෝධනය කෙරුණු අතර අවසන් වරට සංශෝධනයට ලක්වූයේ 1978දීය. වසර 62ක් පැරණි එම පනත වර්තමානයට ගැලපෙන පරිදි යළි සංශෝධනය කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එමගින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල විධිමත් කිරීමට පියවර ගෙන ඇති අතර දේශීය වෛද්‍ය ක්‍රම තුළ කලින් පැවැති වපසරිය පුළුල් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය නෛතික බලතල පැවරීමටත් පියවර ගෙන ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.
ආයුර්වේද පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය වූයේ දේශීය වෛද්‍ය ක්ෂේත්රය කර්මාන්තයක් බවට පත්කිරීමේ සහ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් රටට විදේශ විනිමය උපයා ගැනීමේ අරමුණ ඇතිව යැයිද ඒ සම්බන්ධයෙන් වසර එකහමාරක පමණ කාලයක් පුරා සාකච්ඡා කිරීමෙන් පසු නව සංශෝධන ගෙන ආ බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්‍රමයට දැඩි ලෙස බලපාන ඖෂධ හිඟය මැඩපැවැත්වීම පිණිස ඖෂධ වර්ග වගා කිරීම සඳහා නව නෛතික ප්‍රතිපාදන මෙම සංශෝධන මගින් ගෙන එන බවද ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දේශීය වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා බලතල ඇති නමුදු ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඇතැම් ඔසු වගා කිරීමට බලයක් නොමැත. විශේෂයෙන් කංසා ආශ්රිත නිෂ්පාදන කිරීමට හැකි නමුදු කංසා වගා කිරීමට පාරම්පරික වෙද මහතුන්ට හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට අවසර නැත. දීර්ඝ කාලයක් පුරා පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව ඖෂධ නිෂ්පාදනය සමඟ වගා කිරීමටද අවසර ලැබෙන පරිදි නව ආයුර්වේද පනත සංශෝධනය කිරීමට කටයුතු කළ බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ විනිමය උපයා ගන්නා මාර්ගයක් ලෙස ඖෂධ වගා කිරීම වැදගත් බව පෙන්වා දුන් ඔහු නව පනත් කෙටුම්පත මගින් ඒ සඳහා වන අවසරය ලබා දී ඇතැයිද, එමෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව කිසියම් පරිපාලන වෙනස්කමකට ලක්කිරීමක් සිදුවන බවද සඳහන් කළේය.
නව පනත මගින් මූලික කරුණු 6ක් සංශෝධනයට ලක් කර තිබේ. එනම් අවශ්‍ය ඖෂධ වගා කිරීම සඳහා බලය ලබා දීම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ආයුර්වේද කොමසාරිස්වරයා ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා බවට පත් කිරීම, මෙරට විශ්විද්‍යාල පද්ධතියට අලුතින් එක්වූ පීඨයන්හි නියෝජිතයන් වෛද්‍ය සභාව සඳහා නම් කිරීම, බොරුල්ල ආයුර්වේද රෝහල ආයුර්වේද ජාතික රෝහලක් ලෙස නම් කිරීම, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෘත්තිකයන් අතරට ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් හඳුන්වාදීම, විධිමත් පුහුණුවක් සහිත ආයුර්වේද සම්බාහක සම්බාහවිකාවන් යන දෙපිරිසට වෘත්තීමය ලියාපදිංචියක් ලබා දීම එම කරුණු 6ට ඇතුළත්ය.
එහෙත් මෙම නව කෙටුම්පත සම්බන්ධයෙන් රට පුරා විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ලවෙමින් තිබේ. ආයුර්වේද පනත සංශෝධනය කිරීම තුළින් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකර දෙන මුවාවෙන් කංසා වගාව සඳහා ඕනෑම කෙනකුට බලපත්‍ර ලබා දීමට කටයුතු කරන්නේ යැයි ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කරයි.
''මේ පනතේ යටි අරමුණ ඕනෑම කෙනකුට කංසා වගා කිරීමට බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීමයි. එමෙන්ම අහිංසක දරු දැරිවියන් එන්වීකියු පාඨමාලාව මගින් පුහුණු කරල සම්බාහන මධ්‍යස්ථානවලට යවලා ගණිකා වෘත්තියට යොමු කිරීමයි. මෙය ඉතා දුෂ්ඨ අරමුණක්. ඒ සඳහා අයුර්වේද පනත වගේ ඉතා උතුම් වටිනා පනතක් යොදාගන්න උත්සාහ කරනවා. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය සේවය පුද්ගලීකරණය කිරීමත් මෙයින් සිදුවෙනවා. මේක ඇතුළේ මුදල් අය කරන්න ප්‍රතිපාදන තිබෙනවා.'' යනුවෙන් සඳහන් කරයි.
මේ අතර පසුගියදා සබරගමුව ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිරිසක් රත්නපුර නගරයේදී යෝජිත සංශෝධනවලට එරෙහිව විරෝධතාවක නිරත වූහ. එහිදී ඔවුන්ගේ චෝදනාව වූයේ නව පනත් සංශෝධනය මගින් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සිරගත කිරීමට පවා හැකි බවටය. තමන් නව සංශෝධනවලට මුළුමනින්ම විරුද්ධ නොවන අතර පනතේ ඇතැම් ස්ථානවල සිංහල වෙදකම යන්න ඉවත් කර ඇතැයි සඳහන් කරයි. එමෙන්ම ඖෂධ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ හැකියාව පවතින අතර රෝගීන් සුවපත් කරන යන්ත්‍ර මන්ත්‍ර, කෙම් පහන් වැනි විවිධ පාරම්පරික ක්‍රමවේද මෙම පනත මගින් පිළිගෙන නොමැති බවද ඔවුහු පෙන්වා දෙති. ආයුර්වේදයේ ලියාපදිංචි වී නොමැති වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට හෝ දඩයකට යටත් කිරීමේ හැකියාව ඇතැයිද ඔවුහු පවසති.
ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජික කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ආණ්ඩුව විසින් ගෙන එන ආයුර්වේද සංශෝධන පනත හරහා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලුවට ලක්කර ඇති බවටය. ආයුර්වේදය යටතේ සිද්ධ, යුනානි, යෝග සහ පාරම්පරික වෛද්‍ය චිකිත්සක ක්‍රම යන කොටස් ඇති බවද, පාරම්පරික වෛද්‍ය චිකිත්සක ක්‍රමය යන කොටස වෙනස් කර, පාරම්පරික ඖෂධ ප්‍රතිකාර යනුවෙන් යොදා ඇතැයිද ඔහු පෙන්වා දෙයි. චිකිත්සා ක්‍රමය යටතේ ඖෂධ ලබා දී සහ නොදී ප්‍රතිකාර කරන ක්‍රම පවතී. එහි පුළුල් අර්ථ දැක්වීම වන්නේ චිකිත්සා ක්‍රමයයි. මෙම චිකිත්සා ක්‍රම ඉවත් කොට ඖෂධ ක්‍රම යනුවෙන් සඳහන් කිරීමෙන් දේශීය පාරම්පරික වෙදකම නැති කර දැමීමට උත්සාහ කරන බවද ඔහු පෙන්වා දෙයි. ''පාරම්පරික වෛද්‍යවරයකු ලියාපදිංචිය ගන්න ගියාම ඔහුට මොනතරම් කෙනෙහිලිකම් කරනවාද? ඔවුන් සම්මුඛ පරීක්ෂණයට ලක් කරන කමිටුවල සිටින වැඩි පිරිසක් ආයුර්වේද වෛද්‍යවරු. ඒ අය අහන්නේ ආයුර්වේදය පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා ඇතැම් පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචිය ගන්න එන්නේ නැහැ. එවැනි පාරම්පරික වෛද්‍යවරුන් බිය ගන්වා ඔවුන් ප්‍රතිකාර කිරීමෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් තමයි මේ. ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන් පාලනය කෙරෙන ආයතන දෙකක් තිබෙනවා. එකක් අධ්‍යාපන සහ ආරෝග්‍යශාලා මණ්ඩලය. අනෙක වෛද්‍ය සභාව. මේ දෙකේම සංයුතිය වෙනස් කරල තිබෙනවා. ඉස්සර තිබුණේ ආයුර්වේද වෛද්‍යවරු 50%, පාරම්පරික වෛද්‍යවරු 50% වශයෙන්. දැන් පාරම්පරික වෛද්‍යවරුන් 35% දක්වා අඩු කරලා. අපේ පාරම්පරික වෛද්‍යවරු රෝහල්වල ප්‍රතිකාර කරන්න ඉල්ලන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍යවරු පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රගුණ කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ උගන්වන දේ පමණයි දන්නේ. පාරම්පරික වෛද්‍යවරුන්ට බොහෝ දැනුම තිබෙනවා. ඊළඟට මේ පනතින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා. ආයුර්වේද රෝහල්වල පංචකර්ම යටතේ තෙල් සාත්තු, දුම් ඇල්ලීම, මඩ සාත්තුව සහ සිරුර පුරා ඖෂධ ගැල්වීම වැනි දේ සිදුකරන්නේ පිළිගත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ. නව පනත මගින් සම්බාහකවරුන්ට සහ වරියන්ට මෙම වෘත්තියේ ස්වාධීනව නියැලෙන්නට සහතිකයක් දෙනවා. මෙය ගණිකා වෘත්තියට මගපෑදීමක්. නව පනත මගින් එය නීතිගත කිරීමක් සිදුවෙනවා. එය තමයි අපේ සංස්කෘතියට වන හානිය.
කංසාවලට ලොව පුරා විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒවායින් මත්වීම සඳහාම නිෂ්පාදන කෙරෙනවා. කංසා වගාව සඳහා අක්කර සිය ගණන් බහුජාතික සමාගම්වලට ලබා දෙන්න යනවා. එයිනුත් සිදුවන්නේ මේ රට මහා පරිහානියකට ලක් කිරීමයි. පාරම්පරික වෛද්‍යවරු තමන්ට අවශ්‍ය ඖෂධ ඔවුන් විසින්ම නිපදවා ගන්නවා. නව පනත යටතේ ඔවුන්ගේ නිෂ්පාදන අලුතින් පත්කෙරෙන මණ්ඩලයක අධීක්ෂණයට ලක් කෙරෙනවා. එම මණ්ඩලයට ඔවුන් තම වට්ටෝරුව ලබා දිය යුතුයි. පාරම්පරික වෛද්‍යවරු තම වට්ටෝරු ලබා දෙන්න කැමති නැහැ. ලෝකයේ කොහේවත් ඖෂධ නිෂ්පාදනය කරන පිරිස් ඔවුන්ගේ වට්ටෝරු ලබා දෙන්නේ නැහැ. නිෂ්පාදන පමණක් පරීක්ෂාවට ලබා දෙනවා. වට්ටෝරු ලබා නොදී ප්‍රතිකාර කළහොත් දඬුවම් පැමිණවිය හැකියි. මෙය පාරිම්පරික වෛද්‍යවරයාට තමන්ගේ ඖෂධ ටික නිෂ්පාදනය කිරීමට ඇති අයිතිය උදුරා ගැනීමක්. මෙවැනි විනාශ රාශියක් නව පනත මගින් ඇතිවෙනවා. එය රටට ඉතාමක් අහිතකරයි. මේක ගේන්න යන්නේ හදිසි පනතක් ලෙසයි. එයින්ම පැහැදිලියි මෙහි කූඨ අරමුණු පවතින බවට.'' යනුවෙන් ප්‍රකාශ කළේය.
''නව පනත මගින් සම්බාහකවරුන්ට සහ වරියන්ට මෙම වෘත්තියේ ස්වාධීනව නියැලෙන්නට සහතිකයක් ලබා දීම තුළින් ගණිකා වෘත්තියට මගපෑදීමක් සිදුවන අතර නව පනත මගින් එය නීතිගත කිරීමක් සිදුවෙනවා'' යන්න ඉතා බැරූරුම් කියමනකි. ආයුර්වේද නමින් සම්බාහන ආයතන පවතින අතර ආයුර්වේද නාමය නොමැතිව පවත්වාගෙන යන සම්බාහන ආයතනද පවතී. සම්බාහන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ එවැනි ආයතන නියාමනය කිරීම සඳහා රෙගුලාසි සකස් කළ යුතු බවටය. එය ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි. මෙම පනතේ 77 වැනි වගන්තිය අනුව ඖෂධ නිෂ්පාදනාගාර සහ ඖෂධ නිෂ්පාදනය නියාමනය කෙරේ. පනතේ 10 වැනි වගන්තියේ ප්‍රතිකාර ආයතන සම්බන්ධයෙන් සඳහන්ය. ඒ අනුව ඉදිරි කාලයේ ආයුර්වේද සේවා ආයතන නියාමනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ඒ සඳහා රෙගුලාසි පැනවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි. සම්බාහන ආයතන හා ස්පා යන්න දෙකක් බවත් ස්පා යන්න ජලය භාවිත කරමින් සිදු කෙරෙන සෞඛ්‍යමය ක්‍රමවේදයක් වුවද ලංකාවේ එය වෙනත් ආකාරයකින් භාවිත කරන බවත් පෙන්වා දෙන ආයුර්වේද කොමසාරිස්වරයා මෙවැනි මත පළවන්නේ ඒ මත පදනම්ව විය හැකි බවද ප්‍රකාශ කරයි. ආයුර්වේද සම්බාහනය යනු ආයුර්වේද වෛද්‍යවරයකුගේ අනුදැනුම මත පුහුණුව ලද පුද්ගලයකු විසින් කළ යුතු කාර්යයකි. නව සංශෝධනය කරුණු 6ක් පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බවද පනතේ ඇති රෙගුලාසි අනුව අනිකුත් කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු සඳහන් කරයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා