මේ කතාව ඉර අවරට යන සැඳෑවේ අඩ අඳුරේ කොලොම්පුර වීදි අතරින් මතුවන දිදුළන දෙනෙත් පිළිබඳවය. ලොව පැරුණිතම රුකියාව වෙනුවෙන් වීදි බසින මෙම පිරිස අපට හමුවන්නේ කොළඹ කොටුව දුම්රියපොළ, බස් නැවතුම්පොළ සහ ගුණසිංහපුර අවටිනි.
ලිංගික ශ්‍රමය විකුණා දමන්නට නූතන ලෝකයේ උපාය උපක්‍රම රැසකි. එවන් පසුබිමක තවමත් වීදි බසින මෙම පිරිසේ කතාව ඉතා අනුවේදනීයය. මීට දශකයකට හමාරකට පෙර අප ඇසූ කොළඹ වීදි ලලනාවන් පිළිබඳ කතාව දැන් ඉඳුරාම වෙනස් වී තිබේ. කොළඹ වීදිවල අලෙවි වෙන ලිංගික ශ්‍රමය මුළුමනින්ම පාහේ අයිස් සහ හෙරොයින් පදනම්ව ඇත. මේ ඒ පිළිබඳ හෙළිදරව්වකි.
අපි පසුගියදා සන්ධ්‍යාවක කොටුව දුම්රියපොළ ඉදිරිපිට තුන්රෝද කරුවකු සමඟ දොඩමළු වීමු. වසර පහළොවක පමණ සිට රාත්‍රියේ කොළොම්පුර සැරිසරන ඔහුගෙන් අප දැන ගැනීමට උත්සුක වූයේ කොළඹ වීදි ගණිකාවන්ගේ මෑතකාලීන වෙනස්කම් පිළිබඳවයි.
''කෑල්ල ගහගෙනම තමා දැන් කට්ටිය ඔය රස්සාව කරන්නෙ. දැන් මේ හරියේ ජරාවක් ගහන්නෙ නැති එකක් හොයාගන්න බෑ. අනිත් එක ඉස්සර වගේ දැන් පාරට බහින කස්ටමස්ලාත් නෑ. මෙතන රෑ වෙද්දී ඉන්නෙ අයිස් ගහන උනුයි කුඩු ගහන එවුනුයි විතරයි.''
අඩ අඳුරේ තැනින් තැන මතුවෙන දිදුළන දෙනෙත් හිමි මුහුණු සියල්ල පින්තාරු කර තිබේ. සියල්ලෝම සැලකිය යුතු තරම් සායම් තට්ටුවක් තවරා සිටින්නේ සැබෑ රුව සහ වයස වසන් කරන්නටය. තුන්් රෝදකරු එවන් රුවක් පෙන්වා අපට අපූරු කතාවක් කියයි.
''ඕකියි මිනිහයි දෙන්නම අයිස් ගහනවා. අර එහා පැත්තේ ඉන්නේ මිනිහා. කීයක් හරි හොයාගත්ත ගමන් දෙන්න එක්ක කෑල්ලක් ලයින් කර ගන්නවා. සමහර දවස්වලට මෙතන මරාගන්නවා සල්ලිවලට.'' එය එතරම් දුටුවන් මන බඳින රුවක් නොවේ. ඇය දෙස බොහෝවෙලා බලා හැඩරුව මැන බලන්නට අපට අවකාශයක් නොමැත. අපි මේ චාරිකාවකට සැරසී සිටිමු. අපගේ මාර්ගෝපදේශකයා තුන් රෝද මිත්‍රයාය. මිත්‍රයා අපට පොරොන්දු වූයේ තැරුව්කරුවකු සමඟ කතාබහ කරන්නට අවස්ථාව උදා කර දෙන බවයි. ඒ අනුව ගුණසිංහපුර තවත් තුන්් රෝදකරුවකු, ඔහු අපට හඳුන්වා දුන්නේ මිනිත්තු කිහිපයක ගමනක කෙළවරය. මේ පුද්ගලයා වසර දෙක තුනක සිට තැරුව්කරුවෙක් ලෙස ක්‍රියා කරයි. නම් ගම් කිසිත් හෙළි නොකරන පොරොන්දුව පිට අපි ඔහුගෙන් තොරතුරු අසා සිටියෙමු. ''මං මේ අහුමුළුවල කෙල්ලෝ දන්නෙ නෑ. අපේ ප්ලේස් එකක් තියෙනවා. එතැනට තමා දාන්නෙ. මෙතැන මගේ දෙන්නෙක් ඉන්නවා. කෙල්ලට අමතරව ප්ලේස් එකටයි වීල් එකටයි ගාණක් කපනවා.''
ඔහු කෙල්ලන් ලෙස සඳහන් කළද ඔවුන් මැදිවියේ කතුන්ය. ඔවුහුද හෙරොයින් පානයට තදින් ඇබ්බැහී වී සිටිති.
''මම නම් ඔය ඒවා පාවිච්චි කරන්නෙ නෑ. එයාලා ගහනවා. ඇත්තටම සිහියෙන් කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි ඕක. ඉස්සර තමා මහත්තුරු පාරට බැහැලා කෙල්ලෝ අරගෙන ගියේ. දැන් එන්නේ ඔක්කොම ඩස්පි ඩයල්. තව පොඩ්ඩෙන් ඊයෙත් එකෙක් මගෙන් කනවා.''
තැරුව්කරුවා යනු ඔවුන්ගේ ආරක්ෂකයාද වෙයි. වර්තමානයේදී හුදකලාවේ මේ රුකියාව සිදුකිරීම පහසු නැත. අඳුරු වැටුණු පසු කොළඹ නපුරු වේ. එහෙත් තනිව සිය ලිංගික ශ්‍රමය අලෙවිකරන කතුන්ද මේ නගරයේ සිටිති.
අපි මේ ගමනේදී උත්සාහ දැරුවේ කෙසේ හෝ වීදි සරණ කතුන් කිහිපදෙනකු සමඟ දොඩමළු වීමටයි. එහෙත් එය එතරම් පහසු නොවුණි. අප තුන් රෝද මිත්‍රයා බොහෝ වේලා ගතකොට, අවසානයේ එම අවස්ථාව අප වෙත උදාකර දුන්නේය. ඔහුගේ දැනහැඳුනුම්කම් කිහිපයක් ඒ වෙනුවෙන් ඔහු භාවිත කළේය. ''මේකේ කියන්න දෙයක් නෑ මාත්තයා. හැමෝම කරන දේ අපි සල්ලිවලට කරනවා. දුකක් තමයි ඒත් කරන්න දෙයක් නෑ. දැන් අපි මේකට පුරුදු වෙලා.''
ඇය දොඩමළු වීමට එතරම් මනාපයක් නැත. මේ කතාබහ ඇයට මග නොහැරිය හැකි ඉල්ලීමකි. ඇය අමුතුවෙන් වෙස් ගැන්වී සිටින නමුත් එතරම් වයස පෙනෙන්නට නැත. ඇය හමුවට එන අය පිළිබඳ අපි විමසා සිටියෙමු.
''එක එක ජාතියේ අය එනවා. හැමෝටම ඕනෑ අඩුවට වැඩේ කරගන්න. සමහරු නම් සත්තු වගෙ. ටිකක් හොඳ වැදගත් පෙනුම තියෙන අයත් එනවා. ඒ එන ගොඩක් දෙනකුට බැඳල දරුවොත් ඉන්නවා. එක එක මිනිස්සුන්ට තියෙන්නෙ එක එක කතා. ඉඳලා හිටලා හොඳ මනුස්සයෙක් කීයක් හරි වැඩිපුර දීලා යන වෙලාවලුත් නැත්තෙ නෑ.''
ඇයද මත් රකුසාට බිලිවී සිටින බව අපට හැඟුණි. පසුව ඒ බව අපට තහවුරු කළේ අපගේ මිත්‍රයාය.
''මේ ළඟ වත්තක තමා ඉන්නෙ. ගහන්න පුළුවන් ඔක්කොම ගහනවා. පොඩි එකෙක් හිටියා. දැන් වෙන කොහේ හරි නවත්තලා. මිනිහා තමා ඔක්කොම කළේ. පස්සේ ඌ මෙයාව අත ඇරියා. දැන් තියන් ඉන්න එකත් කුඩ්ඩෙක්. ඌත් සීතල පාර ගහනවා...''
අප සිතූ පරිදි සංචාරය එතරම් දීර්ඝව නොවුණි. හෝරා තුන හතරක අවසානයේ අපි කොළඹට සමුදීමට සූදානම් වීමු.
''කතා කරන්න කට්ටිය සෙට් කරල දෙන්න පුළුවන්. ඒකට කලින් පොඩ්ඩක් කියන්න ඕනෑ. රෑට හැමෝම බිසී. දවල් වරුවක එන්න. මම වැඩේ සෙට් කරලා දෙන්නම්.''
අවසානයේ අපට ලැබුණේ අපූරු පොරොන්දුවකි. නැවත එන බවට තුන්රෝද මිතුරාට අපිද පොරොන්දු වීමු.
මේ සියලු දෙනාගේ ජීවිත පසුපස ඇත්තේ අනුවේදනීය කතාවන්ය. අතීතයේ මෙන් කොළඹ ජීවිතය තවදුරටත් පහසු නොවේ. විසල් ගොඩනැගිලි, දියුණුවේ මංපෙත් අතරේ සමහරුන්ගේ ජීවිත කළු කුහරවල ගිලී ගොසිනි. කොළඹ වීදියේ විකුණන ලිංගික ශ්‍රමය මත් රකුසාගෙන් ගලවා ගැනීමට කවුරුන් හෝ මැදිහත් විය යුතුමය. පමාව විනාශයට මුලයි. දැනටමත් මහා විනාශයක සලකුණු පෙනෙන්නට පටන්ගෙන තිබේ.
I ජානක හේවගේ