ටැටූ (Tattoo) කලාව දශක ගණනාවක ඉතිහාසයක් ඇති කලාවකි. වර්තමානයේදී ටැටූ ලෙසින් හැඳින්වූ මෙම කලාව ඉතිහාසයේ හඳුන්වන ලද්දේ පච්ච කලාව ලෙසිනි. එකල ශරීරයේ පච්චයක් ගැසූ පුද්ගලයකු බොහෝ විට හඳුන්වන ලද්දේ මදාවියකු, චණ්ඩියකු, රස්තියාදුකාරයකු ලෙසිනි. එකල ජීවත් වූ එවැනි පුද්ගලයන්ගේ ශරීරයේ විවිධ තැන්වල 'අම්මා බුදුවේවා, මරුවා සමඟ වාසේ, උලත් එකයි පිලත් එකයි' වැනි සීමිත වූ වැකි කොටා තිබෙනු දැකිය හැකි විය. මේ බොහෝ වැකි නිර්මාණ වූයේ එකල ප්‍රදර්ශනය වූ සිනමා පටවල නාමයන් වලින් හෝ එකල ජනප්‍රිය වූ ගීතවල කොටස්වලය. එකල ඉතා ජනප්‍රිය වූ පච්ච වැකියක් වූයේ 'හිතුමතේ ජීවිතේ' ය. තම සොහොයුරියව මැරෑ පුද්ගලයන්ගෙන් අමානුෂික ලෙසින් පළිගනිමින් ඔවුන් මරා සිරගත වූ බවට චෝදනා ලැබූ සුමතිපාලගේ පපුවේ කොටා තිබුණේ එයයි.
'ටැටූ කලාවේ ආරම්භය අවුරුදු පන්දාහකට වඩා ඉතිහාසයට දිව යන්නක්. මුලින්ම ඔස්ට්‍රියාවේදී හමුවූ මමියක පච්චයක් තිබුණ බව සඳහන් වෙනවා. ටැටූ කලා ඉතිහාසයේ පැරණිම ටැටූව ලෙසින් හඳුන්වන්නේ මෙයයි. එම මමියේ ඇඟේ අඟුරුවලින් ඇඳපු පච්ච කිහිපයක් තිබුණ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පච්ච මුලින්ම කරලා තිබෙන්නේ ගස්වල කොළවලින්. ඒවා කොටලා තීන්ත වගේ හදලා තමයි පච්ච කලාව කරලා තිබෙනවා. පච්ච කෙටීමෙන් පසුව ශරීරයේ ඒක පෙනෙන්නේ කොළ පාටටයි. දමිල භාෂාවෙන් කොළපාට හඳුන්වන්නේ පච්ච කියලයි. ඒ නිසා තමයි කොළ පාටට කෙටූ පච්ච කලාව මිනිසුන් අතර ජනප්‍රිය වුණේ.'
යැයි ශ්‍රී ලංකා ටැටූ සංගමයේ සාමාජික ජීවා ටැටූ ස්ටුඩියෝහි ආර්. ජීවන් (ජීවා) දේශයට අදහස් දක්වමින් පැවසීය.
මීට අමතරව ටැටූ කලාවේ ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉතිහාසගතව පවතී. විවිධ රටවල්වල වහල් සේවයේ යෙදුණ පුද්ගලයන්ගේ ශරීරයේ කෙටූ විවිධ නාමයන්, රෑප සහ අංක පසුකාලීනව පච්ච කලාව හෙවත් ටැටූ කලාව ව්‍යාප්ත වීමට හේතු වී ඇත.
'ලංකාවේදී 1960 ගණන්වලදීත් බ්‍රිතාන්‍යයේ කොයිල් මැෂින් වලින් ටැටූ කළ ශ්‍රී ලංකාවේ ජේමිස් අයියා යැයි පුද්ගලයකු ජීවත්ව සිටි බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා පච්ච කෙටීම අද වෙද්දී ටැටූ කලාව ලෙසින් හඳුන්වනවා. පච්ච කලාව අද වනවිට ඉතා සාර්ථක ලෙසින් විකාශය වෙද්දී නවීන තාක්ෂණික මෙවලම් නිර්මාණය වෙලා තිබෙනවා. එවැනි තාක්ෂණික මෙවලම් සහ අවශ්‍ය තීන්ත නිෂ්පාදනය කරන විශාල කර්මාන්තශාලා පවා ලොවපුරා ආරම්භ වී තිබෙනවා.' යැයි ආර්. ජීවන් දේශයට වැඩිදුරටත් පැවසීය.
එකල පරිමි පාර්ශ්වයට පමණක් බොහෝදුරට සීමාවුණ පච්ච කලාව හෙවත් ටැටූ කලාව අද වර්තමානය වනවිට කාන්තා පාර්ශ්වයේද වැඩි ආකර්ෂණයක් සහ කැමැත්තක් දැක්වූ කලාවක් ලෙසින් හැඳින්විය හැකිය. වර්තමානයේදී විවිධ වර්ණවලින් යුත් ටැටූ ශරීරයේ විවිධ ස්ථානවල නිර්මාණය කර ගැනීමට බොහෝ දෙනකු කැමැතිය. වර්තමානයේදී සාමාන්‍ය ටැටූවක් ශරීරයේ නිර්මාණය කර ගැනීමට යම් සැලකිය යුතු මුදලක් වැය වුවද බොහෝ තරුණ තරුණියන් විවිධ නම්, චිත්‍ර, වැකි එකකට වැඩි ප්‍රමාණයක් තම ශරීරයේ ප්‍රද්ශනය කර ගැනීමට වැඩි නැඹුරුවක් දක්වති.
ටැටූ කලාව හරි අපූරු කලාවක් වුවද එය නිසි ප්‍රමිතියකින් හා පළපුරුද්දක් ඇති නිසි නිර්මාණශීලීකරුවකු මඟින් සිදු නොකළහොත් ශරීරයට සිදුවන හානිය සුළුපටු වන්නේ නැත. තාක්ෂණය දියුණුවීමත් සමඟ Online ක්‍රමයට අඩු වියදමකින් තම නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ඉතා ශීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්තවීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ අවශ්‍ය භාණ්ඩ හා තීන්ත වර්ග Online ක්‍රමයට ගෙන්වා තමන්ගේ, තම පවුලේ සාමාජිකයකුගේ, තම මිතුරකුගේ ශරීරයේ ටැටූවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටිති.
මේ හේතුව නිසා ඇතැම්දෙනා මෙය තම අමතර ආදායම් මාර්ගයක් සේ සලකා කිසිදු දැනුමක් නොමැතිව අන්තර්ජාලයේ උපදෙස් මත ටැටූ කලාවේ නිරත වෙති. පෑනක් ගෙන සුදු කොළයක ඉරක් අඳින්නා සේ අන්තර්ජාලයෙන් නරඹා ශරීරයක චිත්‍රයක් නිර්මාණය කිරීම ලෙහෙසි වන්නේ නැත. යම් කෙනකුට එය පහසු කාර්යයක් සේ දැනුණද අනාගතයේදී විඳීමට සිදුවන ආනිසංස එතරම් සතුටුදායක වන්නේ නැත.
'ලංකා ටැටූ සංගමයේ (Lanka tattoo association) දිවයින පුරා ටැටූ නිර්මාණකරුවන් එකසිය හතළිහකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා. නමුත් අද වෙද්දී ලංකාවේ ටැටූ කලාව කරන ස්ථාන (පූර්ණකාලීනව හා අර්ධකාලීනව) පන්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඊට අමතරව නිවෙස්වල විනෝදාංශයක් ලෙසින් ටැටූ කරන විශාල ප්‍රමාණයක් සිටිනවා.' යැයි ආර්. ජීවන් (ජීවා) කියයි.
ටැටූ කලාව ඉතා අරපරිස්සමෙන් සිදුකළ යුතු කලාවකි. මෙය සෞඛ්‍යාරක්ෂිතව සිදුකළ යුතු කලාවකි. ටැටූ නිර්මාණයක් කරනා විටදී එක් අයකුට එක් ටැටූ කටුවක් භාවිත කළ යුතු වේ. කෙනකුට භාවිත කළ ටැටූ කටුවක් කිසිසේත්ම තවත් කෙනකුට භාවිත නොකළ යුතුය. නමුත් කිසිදු ප්‍රමිතියකින් තොරව ටැටූ කලාවේ නියැලෙන ඇතැමුන් මේ වැරුද්ද කිරීම හේතුවෙන් පසුකාලීනව ඒඩ්ස් වැනි සමාජ රෝග ඇතිවීමේ හැකියාව පවතී. ටැටූ කටුව පමණක් නොව ටැටූ නිර්මාණයක් සිදුකරද්දී ගනු ලබන සියලු උපාංග පිරිසිදුව තිබීම ඉතා වැදගත් වේ. ටැටූ නිර්මාණශිල්පියා අනිවාර්යයෙන්ම අත් ආවරණයන් පැළඳිය යුතුවේ. නිර්මාණය කරද්දී ඒ අසල විදුලි බල්බය තිබේ. නිර්මාණ ශිල්පියා වරින්වර විදුලි ආලෝකය අවශ්‍ය පරිදි අතින් වෙනස් කරගනී. ටැටූ නිර්මාණය කරනා විටදී යම් ප්‍රමාණයකින් රුධිරය අතේ තැවරේ. එය ටැටූ නිර්මාණශිල්පියා අල්ලනු ලබන ඕනෑම වෙනත් තැනක තැවරීමට පුළුවනි. එමඟින්ද යම් ලෙසකින් විෂබීජ ශරීරගත වීමට පුළුවනි. මේ නිසාම ටැටූ කටුවේ සිට සියලුම දෑ සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත්ව සිටීම වැදගත් වේ.
ටැටූ සඳහා භාවිත කරන වර්ණ හා තීන්ත ප්‍රමිතියකින් යුතු පිළිගත් සහතිකයක් සහිත රටවල් නිෂ්පාදිත ඒවා විය යුතුය. ටැටූ සඳහා ලොව පුරා අද පවතින ඉල්ලුමත් සමඟ බොහෝ ආයතන ප්‍රමිතියෙන් බාල තීන්ත වර්ග නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත. ඒවායින් පසුකාලීනව දීර්ඝකාලීන අතුරු ආබාධ ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. කල් ඉකුත් වූ ටැටූ තීන්ත වෙළඳපොළට නිකුත් වීමට බොහෝ ඉඩ ඇත. බොහෝ විදෙස් තීන්ත නිෂ්පාදනය කරනු ලබන්නේ සුදු ජාතිකයන්ගේ සමට ගැලපෙන ලෙසයි. ඒ නිසාම ඒ අතරින් අපගේ රටේ මිනිසුන්ගේ සමට ගැලපෙන තීන්ත හා ආලේපන තෝරා ගැනීම දක්ෂ ටැටූ නිර්මාණකරුවකුගේ හැකියාව වේ. ඒවායේ ගුණාත්මකභාවය ටැටූ නිර්මාණයේ සාර්ථකත්වයට ප්‍රබලව බලපායි.
'තමන්ට ටැටූ නිර්මාණයක් කර ගැනීමට අවශ්‍ය නම් හිතුමතේට ඒ සඳහා නිර්මාණකරුවන් තෝරාගන්න එපා. මෙය ජීවිත කාලයටම තම ශරීරයේ කරනු ලබන නිර්මාණයක්. ඒ නිසා හොඳින් සිතා බලා තීරණය කරන්න. තමා ටැටූ නිර්මාණය කිරීමට යොදාගනු ලබන තීන්ත, ටැටූ කටුව පමණක් නොව ටැටූ මැෂිම කුමක්දැයි අසා දැනගැනීමේ අයිතිය ඔබට තිබෙනවා. ඒ නිසා ටැටූ නිර්මාණය කිරීමට පළමුව ඒ බව අසා දැනගන්න. ඔබටම වෙන්වුණ ටැටූ කටුවක්දැයි සැකහැර ගන්න. ඒ සියලු ආවරණ ඉවත් කළයුතු වන්නේ ඔබ ඉදිරියෙන්මයි. ඇතැම් අය ටැටූ එකක් කර වසර කිහිපයකින් එය ඉවත් කරන්නට උත්සාහ ගන්නවා. ටැටූ එකක් කෙනකුට කළාට පසුව 100෴ක් එය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කර සම තිබුණ පරිදි නැවත යථා තත්ත්වයට පත්කරන්න බැහැ. ලංකාවේ තිබෙන ආර්ථික මට්ටමත් සමඟ ප්‍රමිතියකින් යුත් රේසර් මැෂින් ලංකාවේ අඩුයි. ඒ නිසා ටැටූ නිර්මාණයක් කරනවාට වඩා විශාල මුදලක් එය ශරීරයෙන් ඉවත් කිරීමට වැයවෙනවා. ඒ නිසා ටැටූ නිර්මාණයක් කිරීමට පළමුව තමන් යොදන නිර්මාණය, නාමය ගැනද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් තමන් ආදරය කරන පෙම්වතාගේ, පෙම්වතියගේ නම ටැටූවක් කර ගැනීමට පෙර සැලකිලිමත් වන්න.'
ලංකා ටැටූ සංගමයේ සාමාජික, ජීවා ටැටූ ස්ටුඩියෝහි ආර්. ජීවන්ගේ අවවාදය එයයි.
I දිශානි ජයමාලි කරුණාරත්න