2023 ජුලි 29 වන සෙනසුරාදා

කප්පම් පාතාලය රජකරවීමේ ඛේදවාචකය

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 604

 ► මිනුවන්ගොඩ පාතාලේ අලුත් බලවතා 
 මට පොඩ්ඩොත් එකයි ලොක්කොත් එකයි යකෝ! 

පාතාලය ගැන කතා කියන්නට මේ පත්තර පිටු ඉඩ මදිය. ඒ තරමට පාතාලයේ කතා දම්වැල් මෙන් දිගය. එකකට එකක් ඇමිණෙන මේ පාතාලයේ සිදුවීම් පහුගිය කාලය පුරාම රටවටා සිදුවුණි. ඒ සියල්ල එකකට එකක් සම්බන්ධය. එකකට එකක් පළිගැනීම්ය. ඒ නිසා බොහෝදෙනා දන්නේ මතුපිට කතාය. ඇත්ත කතා දන්නේ පාතාලයන්ය. ඔවුන්ගේ සමීපතමයන්ය. අද සිට ආරම්භ වන්නේ පාතාලයේ එවැනි රහස් කතාය. ඔබ කියවන්න. ඔබේ අදහස අප වෙත දන්වන්න. ඔබේ තොරතුරු අප
වෙත දිග හරින්න. ඔබව ආරක්ෂා කොට ඇත්ත හෙළි කිරීම අප සතු වගකීමයි. ඒ අනුව එකී දීර්ඝ කතා මාලාවේ පළමු කතාව මෙලෙස දිග හරිමි.

අපේ පළමු කතාව ආරම්භ කරන්නේ ගම්පහෙන් එහා පිහිටි මිනුවන්ගොඩ පාතාලය ගැනයි. මිනුවන්ගොඩ පාතාලය ඇදී යන්නේ වන්ෂොට්ලාගේ අතීතයෙනි. මිනුවන්ගොඩ, හීනටියන, උන්නාරුව, උඩුගම්පල, කෙහෙල්බද්දර මේ සියල්ල කලක් පාතාලයේ රජදහනයන්ය. වන්ෂොට්ගෙන් පසුව කළු ගාමිණි, මිනුවන්ගොඩ අසිත, ජීවක, දේවක, පස්පොඩ්ඩා මේ සියල්ල මිනුවන්ගොඩ පාතාලයේ නම රැන්දූ අයයි. ඒත් මේ සියල්ලම පාතාලය නම් මකරා විසින් ගිලගෙන අවසන්ය. එසේනම් දැන් පාතාලයක් මිනුවන්ගොඩ නැතිද? ඔබට ප්‍රශ්නයක් වනු ඇත. නැත. පාතාලය අවසන් වන්නේ නැත. දවසින් දවස තණකොළ දලු ලා වැඩෙන්නා සේ පාතාලය තැනෙන් තැන වැඩෙමින් තිබේ. ඒ අනුව අප මේ කියන්නට යන්නේ ලංකා පාතාලයට අලුතින් එක්වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අලුත් අලුගෝසුවා ගැනය. ඒ වෙනින් කවුරුත් නොව මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මසිරි ගැනය. ඒ නිසා මෙතැන් සිට කතාව දිගහැරෙන්නේ කෙහෙල්බද්දර පද්මේ ගැනය.

පද්මේ මේ ලෝකෙට බිහිවීමට පෙර චණ්ඩිකම් පෑවේ පද්මේගේ පියා වන නෙවිල් පෙරේරාය. නෙවිල් 1978-79 වැනි කාලවල චණ්ඩිකම් පා හිරේ විලංගුවේ වැටුණු අයෙක් වන අතර ඔහුගේ නම ඉදිරියේ ඝාතන චෝදනාවක්ද තිබුණේය. කෙසේ වෙතත් එලෙස චණ්ඩිකම් පෑවත් කාලයත් සමඟ නෙවිල් සියල්ල අත්හැර දමා ව්‍යාපාර වෙත යොමුවූයේ තම අතීතය එතනින් එහා රැගෙන යාමට කිසිදු උවමනාවක් නැති නිසාය. කෙසේ වෙතත් නෙවිල්ට දාව දරුවන් දෙදෙනකු උපන් අතර එම දරුවන් දෙදෙනාද හදාගෙන ජීවත් වීම නෙවිල්ගේ එකම හීනය විය. ඒ නිසාම දරුවන්ට උගන්වන්නට නෙවිල් උපරිම කැපවීම් කළේය.

එහෙත් බෞද්ධ දර්ශනයේ කියන්නාක් මෙන් ''යම් අයෙක් වසලයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව'' සහතික කරමින් නෙවිල්ගේ බාල පුත්‍රයා කුඩා කල පටන් නාහෙන නාහන ගතියක් පෙන්නන්නට විය. මිනුවන්ගොඩ පාතාලයට රජකිරුළු දැරෑ නිසාත් තාත්තාගේ මුදල් හයිය නිසාත් ඒ බාල කොලුවා සමාජයේ චණ්ඩියෙක් වන්නට හීන දකින්නට විය. ඒ නිසාම ඔහු තාත්තාගේත් තාත්තාගේ හිතවතුන්ගේත් හයිය ගෙන රඟපාන්නට විය. කඳානේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ඉගෙනගත් මෙම හාදයා වෙනින් කවුරුත් නොව අපේ කතානායක පද්මසිරිය.

කාලයත් සමඟ පද්මේගේ කරඳඩු උස්මහත් වීමත් සමඟ පද්මෙට අවශ්‍ය වූයේ තමන්ගේ ස්වෝත්සාහයෙන් බලයක් දිනා ගැනීමටය. ඒ අනුව යාළුවන්ගේ වලිවලටත් පද්මේ චණ්ඩියෙක් මෙන් මැදිහත් වුණේය. මේ අතර මිනුවන්ගොඩ, කෙහෙල්බද්දර, උන්නාරුව ආදී ප්‍රදේශවල චණ්ඩිකම් කළ පස් පොඩ්ඩාද නෙවිල් හමුවන්නට නිතර ආගිය අයෙක් විය. නෙවිල් සහ පස්පොඩ්ඩා මිතුරන්ය. ඒ නිසාමත් නෙවිල්ගේ වැඩිමහලුකමත් මත පස්පොඩ්ඩේ නෙවිල්ට ගරු කළේය. එහෙත් කරුමය එන්නේ පසුපස මෙන් නෙවිල්ගෙත්, පොඩ්ඩේගෙත් යාළු මිත්‍රකම්වලට පළමු ගල ගැහුවේ නෙවිල්ගේ පුත්‍රයා වන පද්මේය. ඒ තමන්ගේ නැන්දකු මෙන් සිටි පොඩ්ඩේගේ බිරිඳට ආදර වදන් දෙමින් අනියම් ඇසුරකට ආරාධනා කිරීම හරහාය. එස්.එම්.එස්. පණිවිඩයක් හරහා සිදුකළ ඒ අනවශ්‍ය ඇරයුම දුටු පස් පොඩ්ඩෙගේ ඉහමොළ රත්වී ගියේය. නෙවිල්ගේ පුත්‍රයා නොවේ නම් පද්මේ අද වනවිට සිටින්නේ අඩි හයක් යටය. ඒත් පොඩ්ඩෙ ඉවසුවේය. ඒ නෙවිල්ට ගරු කිරීමක් වශයෙනි. කෙසේ වෙතත් පොඩ්ඩේ මේ ගැන නෙවිල්ට කීවේය. නෙවිල් ලැජ්ජාවෙන් අන්ත අසරණ විය. පද්මසිරිට මේ සම්බන්ධයෙන් නෙවිල් දෙහි කැපුවේ තමන්ගේ සායම යැවූ නිසාය.

මෙන්න මේ පළහිලව්ව පොඩ්ඩේ සහ පද්මසිරි අතර ගැටුමේ මූලික සිදුවීම විය. කෙසේ වෙතත් පොඩ්ඩේ නෙවිල් නිසා සියල්ල අමතක කළේය. ඒත් පද්මසිරිගේ හිතේ ඒ කළ දේ හිතේ තැන්පත් වී තිබුණේය. ඒ නිසාම ඒ ගින්න අළුයට සැඟවී ගියේය.
කෙසේ වෙතත් මේ අතරතුර හදිසි මුදල් ප්‍රශ්නයක් නිසා දිනක් පර්චස් 22ක ඉඩමක් පොඩ්ඩේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සන්තකයේ උගස් තැබුවේය. ඒ ලක්ෂ 15කටය. මෙම ව්‍යාපාරිකයාද ලෝක ආඳකු වූ නිසා එම ව්‍යාපාරිකයා තමන්ට යම් ගැටලුවක් වන ඉඩම් උගස් ලබා ගැනීමේදී ඉඩමේ බාරකාරත්වය පැවරුවේ නෙවිල්ගේ පුත්‍රයා වන පද්මසිරිගේ නමටය. මෙම ව්‍යාපාරිකයා සැබවින්ම පද්මසිරිව යොදාගත්තේ ව්‍යවහාර භාෂාවෙන් කියොතොත් කඩේ යවන්නටය. ඒකට හේතුව වූයේ එම ව්‍යාපාරිකයගේ පුත්‍රයාත් පද්මසිරිත් කඳානේ ප්‍රසිද්ධ පිරිමි පාසලේ එකට ඉගෙන ගත් නිසාය. ඒ අනුව පොඩ්ඩේගේ ඉඩම උගස් ගෙන ව්‍යාපාරිකයා පැවරුවේ පද්මසිරිගේ නමටය.

කාලය ගතවීමත් සමඟ පොඩ්ඩේට එය නිසි වෙලාවට බේරගන්නට හැකිවූයේ නැත. ඒ නිසාම පද්මසිරි පරණ ගනුදෙනුව විසඳාගැනීමට මෙම අවස්ථාව යොදාගත්තේය. ඒ පර්චස් 22 ඉඩම වෙනත් අයකුට විකුණා දැමීම හරහා ය. මේ සිදුවීම පොඩ්ඩේගේ කන වැකෙන්නට වැඩිවේලා ගියේ නැත. වහාම ක්‍රියාත්මක වුණු පොඩ්ඩේ ව්‍යාපාරිකයා සොයාගෙන පැමිණ ගේ දෙවනත් වෙන්නට කෑ ගැසුවේය. ඒ අසාධාරණයක් වූ නිසාය. අවසානයේ අසල තිබු පුටුද පෙරළා දමා පොඩ්ඩේ පිටව ගියේය.
මෙතෙක් අළු යට සැඟව තිබූ ගින්න එදා එළියට එන්නට විය. පොඩ්ඩේ ගැන දන්න නිසාම නෙවිල් තම පුත්‍රයා ගැන බය වුණේය. වහාම මෙම ප්‍රශ්නය සමථකයට පත්කරගත යුතු බව නෙවිල් සිතුවේය. ඒ අනුව නෙවිල් මේ ප්‍රශ්නය තවත් ව්‍යාපාරිකයකු වෙත රැගෙන ගියේය. ඒ සමථකයට ගෙන ඒමටය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේම තවත් ප්‍රසිද්ධ අන්නාසි ව්‍යාපාරිකයකු වූ ඔහුගේ නිවෙසේ නෙවිල් සහ පද්මසිරිගේ පාර්ශ්වයත්, පොඩ්ඩේගේ පාර්ශ්වයක් ගෙන්වා ප්‍රශ්නය කතාබස් කොට සිද්ධිය සමථයකට ගෙනාවේය. සියල්ලෝම සතුටෙන් විසිර යන්නට ව්‍යාපාරිකයාගේ නිවසෙන් එළියට බසින විට පද්මසිරිගේ වසල ගතිගුණ එළියට ආවේය. ''මට පොඩ්ඩොත් එකයි ලොක්කොත් එකයි යකෝ. මම මොකෙක්ටවත් බය නෑ'' කියා පොඩ්ඩේගේ ඉදිරියේ කීවේය. මෙය පොඩ්ඩෙට ඇසුණත් පොඩ්ඩේ ඉවසුවේ මොහු පොඩි කොල්ලෙකු මෙන්ම නෙවිල්ගේ පුත්‍රයා නිසාය. ඒ අනුව ඒ කතාව එතැනින් අවසන් විය.

කෙසේ වෙතත් එතැනින් නොනැවතුණු පද්මේ පොඩ්ඩාට එරෙහිව රජඔටුනු පළන්දන්නට විවිධ වැඩ කරන්නට විය. ඉන් එකක් වූයේ කෝටි ගණන් පස් කඳු මිලදී ගෙන ඒවා තමන්ගේ නමින් කරගෙන යාමය.

මේ අතර පොඩ්ඩේගේ ගෝලයෙක් වුණු පස් චමින්ද අවට පස් කන්දක් කපා ගනිමින් සිය ව්‍යාපාර කරගනිමින් සිටියේය. පාතාලයේ ගෝඩ්ෆාදර් වීමේ අසනීපයෙන් පෙළෙන ගණේමුල්ල සංජීව මෙය දැනගෙන බන්ධනාගාරයේ සිට චමින්ද අමතා තර්ජනයක් දැම්මේ පස්කන්ද කපනවා නම් තමන්ට කප්පම් අවශ්‍ය බව කියමිනි. බියවීමට වඩා මේ තර්ජනය වාසියක් කරගැනීමට සිතූ චමින්ද, සංජීවගෙන් ඉල්ලා සිටියේ තමන් හැම පස් ටිපර් එකකින්ම ගාණක් ලබාදෙන බවත් ඒ නිසා අවට ඇති සියලු පස් කපන තැන් වසා දමා තමන්ට ඒ බලය ලබාදෙන ලෙසත්ය. එලෙස තර්ජනය කර පැමිණි සංජීව චමින්ද සමඟ එක්වී අවට පස්කඳු වලින් කප්පම් ගැනීමටත්, ඇතැම් ඒවා වසා දැමීමටත් කටයුතු කළේය.

මේ අතර ඉඩම් උගස් ගත් ව්‍යාපාරිකයා කෝටි තුනකට ලබාගත් පස්කන්දක් පද්මසිරි පාලනය කරමින් සිටියේය. එයටද චමින්දලා මැදිහත් වී එය නවතා දැමීමට කටයුතු කරන්නට වූහ. මෙම පස් කඳු වැඩවලට පද්මසිරි මැදිහත් වීම ගැන නෙවිල් කිසිසේත් එකඟ වූයේ නැත. ඔහු වරෙක පද්මසිරිට පැවසුවේ ''උඹ නිසා අපිටත් කොයි වෙලේ හරි මැරුම් කන්න වෙනවා'' යැයි කියමිනි. ඒත් පද්මේ ඒ කිසිවක් කනකට ගත්තේ නැත.

බන්ධනාගාරව සිටි සංජීව කප්පම් ගැනීමත් මත්ද්‍රව්‍ය ජාවාරමත් දරුණුවට කරගෙන යමින් තමන්ට එරෙහිව සිටින සැමදෙනාටම මරණ වරෙන්තුව දෙන්නට කටයුතු කරමින් සිටියේය. ඒ නිසාම දිනක් සංජීව පස් චමින්ද අමතා පවසන්නේ ටී56 ගිනි අවියක් පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් පුද්ගලයකුට බාරදෙන ලෙස කියාය. ඒ අනුව චමින්ද එම ගිනි අවිය රැගෙන ගොස් පෑලියගොඩ දෙදෙනෙකුට ලබාදුන්නේය.

ඉන්පසුව එක් කුඩු ගැටුමක් නිමාවූයේ කොටහේන ප්‍රදේශයේ අයකු මහ මග ඝාතනය කිරීමත් සමඟය. මෙලෙස ඝාතනය කරනු ලැබුවේ කොටහේන, බ්ලූමැන්ඩල් ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ජූඩ් ප්‍රියන්තගේ ගෝලයෙකි. මෙය ජූඩ්ගේ අත කැඩුණා හා සමාන විය. මේ නිසාම ජූඩ් මේ ඝාතනය පසුපස පන්නන්නට විය. එසේ පන්නන විට ජූඩ්ට දැනගන්නට ලැබුණේ තම ගෝලයාගේ ප්‍රහාරයට ටී56 ගිනි අවිය මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ලැබී ඇති බවය. එසේම ඒ ගිනි අවිය ගෙන්වාගෙන ඇත්තේ පස් චමින්ද හරහා බවත් හෙළිවිය. ඒ අනුව චමීට රිටර්න් එක දෙන්නට ජූඩ් ඇතුළු කණ්ඩායම තම පාසල් මිතුරා සොයාගෙන මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණියහ.

(පස් චමින්දගේ මරණය ලියවෙයි. පරණ මිත්‍රකම් අලුත් වෙයි. ඊළඟ සතියට)

I තාරක සේනාධීර