ලෝක සංචාරක රූ රැජින තරගාවලිය මේ මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි. එමගින් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හැකියාවක් පවතින බව සංවිධායකවරු අපේක්ෂා කරති. මේ අනුව මෙම තරගාවලියේ අනු තරග ලංකාවේ විවිධ පළාත්වල පැවැත්වීමට තීරණය කර ඇති අතර එය බොහෝ විට විදේශිකයන්ගේ ආකර්ශනයට ලක්වූ ප්‍රදේශ ඉලක්ක කොට සංවිධානය කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව මෙම ලෝක සංචාරක රූ රැජින තරගාවලියේ අනු තරග මීගමුව, නුවරඑළිය, ඇල්ල, මහනුවර, වැලිගම, යාල මෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකම පැවැත්වීමට කටයුතු කර තිබේ.
''ලෝක සංචාරක රූ රැජින තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ මූලික සංකල්පය ආවේ රාධිකා ගුණවර්ධන වෙතිනුයි. ඇය ලංකාව නියෝජනය කරමින් 'Mrs. World' තරගාවලියට සහභාගි වුණු කෙනෙක්. ඇයට මෙම තරගාවලිය පිළිබඳව හොඳ අත්දැකීම් තිබෙනවා. ඒ අනුව වසර දෙක තුනක කාලයක් තිස්සේ ලෝක සංචාරක රූ රැජින තරගාවලියක් සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අදහසක් ඇය තුළ තිබුණා. නමුත් පසුගිය කාලයේදී කොවිඩ් වසංගතය වැනි විවිධ ප්‍රශ්න හේතුවෙන් රට තුළ පැවැති තත්ත්වයන් නිසා ඒ සංකල්පය ක්‍රියාවට නංවන්නට කල් ගත වුණා. නමුත් අවසානයේදී මෙම සුවිශේෂී තරගාවලිය මේ මස 20 වැනිදා සිට පුරා දින දහයක් රටේ විවිධ පළාත්වල පවත්වන්නට අපි තීරණය කළා.'' යැයි ලෝක සංචාරක රූ රැජින තරගාවලියේ අධ්‍යක්ෂ අර්ජුන සේනානායක දේශයට අදහස් දක්වමින් පැවසීය.
අර්ජුන සේනානායක වසර විසිපහක කාලයක් පුරා නිරූපණ ක්ෂේත්‍රයේ නියැලුණු අයෙකි. වසර කිහිපයක් ඔහු ශ්‍රී ලංකාවේ පැවැති Mr. Sri Lanka තරගාවලි ජයග්‍රහණ ලැබූ නිරූපණ ශිල්පියෙකි. පසුව ඔහු ජාත්‍යන්තර තරග හා ප්‍රසංග සඳහා නිරූපණ ශිල්පියෙක් ලෙසින් සහභාගි වෙමින් එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබා ගත්තේය. වසර ගණනාවක් ඔහු නිරූපණ ශිල්පීන් සහ නිරූපණ ශිල්පිනියන් සමඟ කටයුතු කළ නිසාම මෙම ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් ලැබූ නිර්මාණකරුවෙකි. එම අත්දැකීම් ඔස්සේ රාධිකා ගුණවර්ධන තම සංකල්පය අර්ජුන සේනානායකට පැවසීමත් සමඟ අධ්‍යක්ෂවරයකු ලෙසින් මෙම ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.
''මෙවැනි තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ පවත්වන පළමු අවස්ථාව මෙයයි. ලෝක තරගාවලි පැවැත්වුවද මීට පෙර ඒ කිසිදු තරගාවලියක් අපිට අයිති වුණේ නැහැ. මෙතරම් දුප්පත්, ආර්ථික අපහසුතා ඇති රටකට මුදල් ලබාදෙමින් තරගකාරියන් මීට පෙර මෙරටට පැමිණ තිබුණේ නැහැ. මෙම තරගාවලියේ ඇති වටිනාකම වන්නේ මෙහි අයිතිය ලංකාවට හිමිවීමයි. මේක ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳ අවස්ථාවක්. පොල්කටු හැන්දේ සිට ලංකාවේ දේශීය නිෂ්පාදන මේ හරහා ලොව පුරා ප්‍රචලිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලිය සංවිධානය කිරීමේදී අභියෝග, බාධා තිබුණා. අදටත් එහෙමයි. නමුත් ඒ සෑම අභියෝගයකටම අපි මුහුණ දුන්නා. මේ හැමදෙයක්ම අපි සංවිධානය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්.'' යැයි අර්ජුන සේනානායක වැඩිදුරටත් දේශයට පැවසීය.
මෙම තරගාවලිය සඳහා රටවල් තිහකින් නිරූපිකාවන් තිස්දෙනෙක් ඉදිරිපත් වූහ. මෙහිදී තරගකාරියන් තම ගුවන් ටිකට් පතෙහි වියදම පවා දරා ඇත්තේ තමන් විසින්මය. ඒ සඳහා ලංකාවට කිසිදු වියදමක් දැරීමට අවශ්‍ය නොවීය. නෙදර්ලන්තය, ජර්මනිය, ඉන්දියාව, පකිස්තානය මෙන්ම ආසියාතික, යුරෝපීය මෙන්ම අප්‍රිකානු තරගකාරියෝද මෙම තරගයට ඉදිරිපත් වී සිටිති.
''මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේදී ජාත්‍යන්තර සම්බන්ධකම් පැවතිය යුතු වෙනවා. එසේ නොමැතිව මෙවැනි දැවැන්ත තරගාවලියක් සංවිධානය කිරීමට නොහැකියි. සෑම රටකම අපගේ ජාත්‍යන්තර නියෝජිතයෙක් සිටිනවා. අප රට සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීමේ සිට තරගකාරියන් මෙරටට ගෙන්වීම දක්වා ක්‍රියාවලිය ඔවුන් හරහා සිදුවෙනවා. පළමු වතාවට අප විසින් සංවිධානය කළ මෙම තරගය සම්බන්ධයෙන් රජය පවා අවධානය යොමු කළ යුතු වෙනවා.'' යැයි අර්ජුන සේනානායක වැඩිදුරටත් පැවසීය.
''ලංකාව කියන්නෙම සංචාරක පුරවරයක්. ඒ නිසා අඩුම තරමින් අවුරැද්දකට මිලියන දෙකක්වත් සංචාරකයන් මෙරටට ගෙන්වීම ඉතා වැදගත් වෙනවා. 2018 වෙද්දි ලංකාවේ මිලියන 1.9 ක සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තියෙනවා. සංචාරක ව්‍යාපාරය කඩා වැටීමත් සමඟ සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටි බොහෝ දෙනා කඩා වැටුණා. ඒ නිසා මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කිරීමෙන් මේ කර්මාන්තය නැවත නගා සිටුවිය යුතු වෙනවා. මේ ආරම්භක ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ඉදිරියේදී තව තවත් ව්‍යාප්ත කර තවත් රටවල් එකතු කර ගැනීමෙන් මෙය ඉදිරියට ගෙන යාමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා.'' යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.
මෙරටට පැමිණි සංචාරක රූ රැජිනියෝ පසුගියදා මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගත්හ. තවත් දිනෙක කොළඹ වරාය නගරයේද සංචාරයේ නිරත වූහ. ශ්‍රී ලංකාවේ ගායනය, වාදනය හා උඩරට පහතරට නර්තනයට ඔවුන් දැක්වූයේ විශාල කැමැත්තකි. එමෙන්ම ඔවුන් දේශීය ආහාරපාන රස විඳින්නට අමතක කළේද නැත.
I දිශානි ජයමාලි කරුණාරත්න