2023 ජුලි 29 වන සෙනසුරාදා

අග්බෝ ඇත්රජු රැකගන්න මාර කට්ටක් කන වනජීවී නිලධාරියෝ

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 323

මේ දිනවල කනදරා වැව් තාවුල්ලේ හෝ තිරප්පනේ වනාන්තරවල හස්ති සටන් අඩුය. අග්බෝ ඇතා සමඟ දප්පුල හෝ සුමේද කරනා මේ සටන්වලින් වනයට ලැබුණේ අපූර්වත්වයකි. චණ්ඩි සටන්කාරයෙක් වූ අග්බෝ දැන් ඔත්පල වෙලාය. ඌට වේදනාවෙන් කල්ගත කිරීමට සිදුව තිබේ. ලංකාවේ බරින් වැඩිම අලිඇතුන් කිහිපදෙනා අතර සිටින අග්බෝගේ දළ පිහිටීමත් සුවිශේෂිතය. උසින් අඩි 09 ක් පමණ වන අග්බෝ අවුරුදු 35-40ක් වයසකින් යුක්ත බව වනජීවී නිලධාරීහු සඳහන් කරති. අඩි 03ක පමණ පිටතට නෙරා ඇති අලංකාර දළ යුගලක්ද අග්බෝට හිමිය.

තිරප්පනේ, මිහින්තලේ, මහකනදරාව, හොරොව්පතාන ආශ්‍රිතව සැරසරමින් දිවිගෙවූ මේ ඇතාගේ සිරුරේ වෙඩි උණ්ඩ සලකුණු රාශියකි. පසුගිය ජූනිවල දැනගැනීමට ලැබුණේ මේ හස්තියාගේ ඉදිරිපස පාදයට වෙඩි උණ්ඩයක් වැදී දරුණු තුවාලයක් සිදුව ඇති බවයි. එය බඳින තුවක්කුවකින් සිදුවූ තුවාලයක් බව වනජීවී නිලධාරීහු පවසති. 

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් සහ වන අඩවි සහකාරවරු ඉකුත් ජුනි 03 වැනිදා ''අග්බෝ'' සොයා මෙහෙයුමක් ආරම්භ කළහ. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතුන්ගම - උලල්ගම වැවේ ''අග්බෝ'' රුඳී සිටින බවට වනජීවී නිලධාරීන්ට තොරතුරක් ලැබුණි. එම ස්ථානයට ගිය පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ ඇතුළු පිරිස ''අග්බෝ''ට ප්‍රතිකාර කිරීමට සූදානම් වුවත් ඇතා වනජීවී නිලධාරීන් පසුපස හඹාගොස් ඇති අතර පසුව යළිත් ඇතා සොයාගෙන ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ආරම්භ කළේ, ජූනි මස 12 වැනි දිනයි. එතැන් සිට මේ දක්වා ඇතා වනයේ සිටින ඉසව් ගැන සෝදිසියෙන් සිට දැඩි දුෂ්කරතා මධ්‍යයේ   හස්තියාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදුවේ. වනජීවී නිලධාරීහු පිරිස කෑම පාර්සල් වනයේදීම ගනිමින් ඌ ගැන විමසිල්ලෙන් කටුක දිවියක් ගතකරති.

සිරුර තුළට කා වැදුණු මූනිස්සම් තොගයක්ද සමඟ වසර ගණනාවක් තිස්සේ වේදනා විඳිමින් දිවි ගෙවන ‘අග්බෝ ඇතාට පසුගියදා වෙඩි උණ්ඩයක් වැදීමත් සමඟ ඌට ඉතා වේදනාවෙන් ඇවිදීමටත් අපහසුවෙන් සිටීමට සිදුව තිබේ. වෙඩිල්ල වැදී ඇත්තේ උගේ වම්පස ඉදිරි පාදයටය.

විටින් විට වනජීවී පශු වෛද්‍යවරු ඇතාට ප්‍රතිකාර කළද ඉහළ පුටුවල නොසැලකිල්ල නිසාම එක දිගට ඇතාට ප්‍රතිකාර කරන්නට නොහැකි වූ බවට පසුගිය දිනවල වාර්තා විය. මේ නිසා අග්බෝට අවශ්‍ය ඖෂධ පිටරට සිටින ලාංකිකයන් පවා එවූ බව මුහුණු පොතේ සඳහන් කෙරිණි. පසුගියදා වනජීවී ඇමැතිනිය සඳහන් කළේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාදයකින් තොරව රජය මගින් සපයන බවය.

පසුගිය සති කිහිපය තුළ ඌට උඩ පැන පැන කකුල් තුනකින් ඇවිද යන්නට සිදුවිය.  ශරීරයේ බර කකුල් තුනකින් දරා ගැනීමට අපහසුය. විටෙක විශාල ගස් දෙබල්වල දළ දෙක හොවාගෙන ගිමන් හරින පින්තූර අන්තර්ජාලයේ හුවමාරු විය. සිරුරේ වේදනාව නිසාම ඇතාට ප්‍රතිකාර කිරීමට පැමිණෙන පශු වෛද්‍යවරු සහ වනජීවී නිලධාරීන් පසුපස පන්නමින් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් දැක්වීම දකින්න ලැබේ. මේ නිසා ප්‍රතිකාර කිරීමද ඉතා විමසිල්ලෙන් කළ යුතුව තිබේ. වනාන්තරයේ දිවයද්දී බිමට ඇද වැටුණහොත් දළ යුගල පොළොවෙහි ඇමිණි උගේ සුෂුම්නාවට හානි සිදුවන බව පරිසරවේදීහු පවසති.

මේ ඇතාගේ තත්ත්වය ගැන විමසීමට අප කතා කළේ පරිසරවේදී නයනක රන්වැල්ලටය.

''මේ වනවිට ප්‍රතිකාරවල පොඩි ප්‍රගතියක් තිබෙන බව පේනවා. ඌ දවසකට කි.මී. 8ක් විතර ඇවිදින්නට පටන් ගෙන තිබෙනවා. මම නම් හිතන්නේ සිහි නැතිකර ප්‍රතිකාර කළ යුතු බවයි. ඉන්දියාව වගේ රටවල මේ වගේ ඇතුන්ට ප්‍රතිකාර කරන්නේ ඌ වැටෙනවාට දෙපස අටල්ලක් හදලායි. වනජීවී නිලධාරීන් ඌ පසුපස ගොස් එන්නත් තුවක්කුවෙන් විදිනවා. නමුත් පසුව ඌ ඇවිදින විට තුවාලෙ නැවත පෑරෙනවා. ඒ නිසයි ඌ තවමත් අමාරුවෙන් ඇවිදින්නේ. මේ තුවාලෙ පණූවො ගහලා. ඇතුළෙ මූනිස්සම් තිබෙනවා. ඒවා සුද්ද කර ඉවත් කළ යුතුයි. මීට කලින් දීඝජන්තු කියන ඇතාගෙත් තුවාලයක් තිබිල සුද්ද කළා. ඒ වගේම දැන් අපේ තිබෙන නිර්වින්දන බේත් ගැනත් සැකයක් තිබෙනවා. ඒවා නිසි පරිදි ගබඩා කර තිබෙනවාද, කල් ඉකුත් වී නැද්ද වගේ දේවල්. අපේ රටේ වෛද්‍යවරු ප්‍රමාණවත් නැත්නම් පිටරටින් හරි විශේෂඥයො ගෙනල්ලා අග්බෝට ප්‍රතිකාර කළ යුතු බවයි මම හිතන්නේ.

ඒ වගේම මිනිස්සු ඇතා බලන්න යන්න පුරුදු වෙලා. එතකොට ඇතාට කේන්ති ගොස් මිනිසුන්ට ගහන්න පන්නනවා. මේ ඇතා අභිමානයක් තිබෙන සතෙක්. ඒ වගේම තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ පශූ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මේ ඇතා වෙනුවෙන් කැපවී කටයුතු කිරීමත් අගය කළ යුතුයි.''

වැඩිදුරක් ඇවිද යෑමට නොහැකි නිසාම අග්බෝගේ ශරීර ශක්තිය දිනෙන් දිනම පිරිහෙන බව ඌ තරමක් කෙට්ටු වී සිටීමෙන් පෙනේ. ප්‍රමාණවත් තරමින් ආහාර නොලැබීම එයට හේතුවන්නට ඇත. සතා පූර්ණ නිර්වින්දනයකට ලක්කොට ප්‍රතිකාර කිරීම දැඩි අවදානමක් බව පශු වෛද්‍යවරු පවසති. වනජීවියේ පශු වෛද්‍යවරු කණ්ඩායමක් පසුගිය සති ගණනාවක් තිස්සේ වරින් වර සත්ත්වයාට ප්‍රතිකාර ලබාදීම සිදුකළහ. 

පශු වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතාගේ ප්‍රතිකාර ගැන මෙසේ මාධ්‍යයට පවසා සිටියේය.

''මේ ඇතා විශාල ශරීරයක් තිබෙන සතෙක්. බර කි.ග්‍රෑ. 4000ක් පමණ වෙනවා. මේ නිසා සතා සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමේ ගැටලු තිබෙනවා. සතකුගේ පූර්ව ගාත්‍රවලින් උගේ ශරීර බරින් 3/4¾ක් දරා සිටින නිසා ඉදිරිපස පාදවලට වන වෙහෙස වැඩියි. තුවාල වී තිබෙන්නේ ඉදිරි පාදයක මැණික් කටුව අසලයි. එතන අස්ථි 8ක් තිබෙනවා. එතන සිදුරක් හටගෙන තිබෙනවා. ඒක ආසාදනය වෙලා තිබෙන්නේ. රුධිරයට එන්නත් ලබාදුන්නත් ඒවා මන්දගාමීව ක්‍රියාත්මක වන බවයි පේන්නේ. තුවාලෙ බැක්ටීරියා මොනවද කියලා පරීක්ෂණයක් කර තිබෙනවා. එහි ප්‍රතිඵල පැමිණිය යුතුයි. ඇතා යම්කිසි ස්ථානයකට කොටුකර ප්‍රතිකාර කිරීමෙන් උගේ ස්වභාවික හැසිරීමට බාධා සිදුවෙනවා. සතා පීඩාවට පත්වෙනවා. එවිට ප්‍රතිකාරවල ගුණාත්මක බවට ගැටලු පැන නගිනවා.''

මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) මංජුල අමරරත්න පවසන්නේ ප්‍රතිකාවලින් සතා සුවවීමේ කටයුතුවලට ටික කාලයක් ගතවන බවට පශු වෛද්‍යවරුන් නිගමනය කර ඇති බවයි. 

''වෙනම වනජීවී නිලධාරීන් කණ්ඩායමක් මේ සතා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා යොදා තිබෙනවා. පසුගිය මාසයක පමණ කාලය තුළදී සතාගේ සංචරණ කටයුතු යම් සීමාසහිතව සිදුවුණා කකුලෙ තියෙන තුවාලය නිසා. නමුත් මේ වනවිට සතා යම් ප්‍රමාණයක් ඇවිදීමට පටන් අරන් බවයි නිරීක්ෂණය වන්නේ. පශු වෛද්‍යවරුත් ප්‍රතිකාර කිරීම්වලින් යම් කිසි ප්‍රගතියක් පෙන්නුම් කරන බව සඳහන් කරනවා. මේ සතා එක තැනකට කොටු කිරීමක් කරල ප්‍රතිකාර කළ යුතු බවට අදහස් පළ වුණත් වනජීවී පශු වෛද්‍යවරුන්ගේ අදහස නම් මේ සතාට එහෙම කිරීමෙන් උගේ තත්ත්වය නරකට හැරීමේ අවස්ථා වැඩියි කියලයි. ඒ නිසා සතා ස්වාභාවික පරිසර පද්ධතියේ රඳවා ගනිමින් ඌ ගැන නිතර නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර කටයුතු සිදුවෙනවා.''
හස්තියා මේ වනවිටත් රුඳී සිටින ප්‍රදේශය දඩයම් සඳහා බඳින තුවක්කු බහුලව යොදා ඇති වනගත පෙදෙසකි. මේ වනවිට ගැමියෝද ඇතා රුඳී සිටින තැන් ගැන ලොකු උනන්දුවක් දක්වති. තිරප්පනේ වනජීවී නිලධාරීන් සහ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් එම කටයුතු සිදුකරන්නේ දැඩි කැපවීමකින් සහ අවදානමක් මැදය.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ: අන්තර්ජාලයෙනි.