2023 ජුලි 29 වන සෙනසුරාදා

ජේ.ආර්.ගේ සිට රනිල් දක්වා සර්ව පාක්ෂික කතා

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව සහ උතුරු නැඟෙනහිර සංවර්ධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 26 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබිණි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ඇරියුම් කර තිබූ අතර ජාතික ජනබලවේගය හැර සෙසු පක්ෂ එයට සහභාගී වූහ. සමුළුවට පෙරදිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමිල් මක්කල් කුට්ටනි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේස්වරන් මහතා අතර සාකච්ඡාවක් පැවැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා කෙසේ හෝ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බව තමන්ට විශ්වාස බවටය. පළාත් සභාවලට පොලිස් බලතල ලබා දිය යුත්තේ කෙලෙසකද යන්න පිළිබඳවද සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ඔහු සඳහන් කළේය. පළාත් සභාවට හිමිවිය යුතු බලතල ලබා දීමට කටයුතු කරන ලෙසටත්, අවි ආයුධ රහිතව, පැමිණිලි විභාග කිරීම, රථවාහන මෙහෙයුම, පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු සිදු කිරීමට ඉන්දියාවේ පොන්ඩිචෙරි වැනි ප්‍රදේශවල පොලිසියට බලතල  ලබා දී ඇති ආකාරයට උතුරු පළාතටද පොලිස් බලතල ලබා දෙන ලෙසට තමන් යෝජනා කළ බවද ඔහු කියා සිටියේය. 

විපක්ෂ දේශපාලනඥයන්ගේ මතය වී ඇත්තේ මෙවැනි සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම තුළින් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ නුදුරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද තමන්ට ලබා ගැනීම බවයි. ජනාධිපතිවරණයේදී සහය දැක්වීම සඳහා දෙමළ පක්ෂ ජනාධිපතිවරයා සමඟ කිසියම් කේවල් කිරීමකට සූදානමින් සිටින බවද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් නැඟෙනහිර පළාතේ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ඉඩම් ප්‍රශ්න පැනනැඟිය හැකි බවද ඉන් එම පළාතේ දෙමළ මුස්ලිම් සංහිඳියාව විනාශ වන බවද ඔවුහු පෙන්වා දෙති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට විරෝධයක් නොමැති නමුදු දකුණේ සිංහල ජනතාවට විශාල ලෙස බලපාන ඉඩම් බලතල සහ පොලිස් බලතල බෙදීමේදී එය ප්‍රවේසමෙන් ක්‍රමානුකූලව සිදු කළ යුතු බවට විශ්වාස කරන්නේ යැයි එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ ඉන්දියාවේ අවශ්‍යතාව අනුව කඩිනමින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට රජය කටයුතු කරන බවටය. මෙම සර්වපාක්ෂික සමුළුව සාකච්ඡාවක් පමණක් බවද, ප්‍රථමයෙන් ආණ්ඩුව පැත්තෙන් එකඟතාවක් ඇතිකරගෙන කෙටුම්පතක් සකස් කොට එය තම පක්ෂයට ඉදිරිපත් කරන ලෙසත් එවිට තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුදු 26 දින පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට පළාත් සභා නවයක් ඇති අතර පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ නම් ඒවායේ ඇති අඩුපාඩු සපුරා ගත යුතු බවටය.  පළාත් සභාවලට ලබා දී ඇති පොලිස් බලතල ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනවාද  යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතු වන අතර එහි ගැටලු කිහිපයක් පවතින බවද  වර්තමාන පොලිස් ආඥාපනත අනුව එවැන්නක් ක්‍රියාත්මක කළ නොහැකි හෙයින් පොලිස් බලතල ලබා දෙන්නේ නම් ඒ සමඟ නව පොලිස් පනතක් ඉදිරිපත් කළ යුතුවන බවද ඔහු සඳහන් කළේය. පොලිස් බලතල හැර අනෙකුත් සියලු බලතල පළාත් සභාවලට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ලැබෙන අදහස් අනුව ඒ සඳහා අවශ්‍ය නීති හා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය. 

දෙමළ ජාතික සන්ධානය ඇතුළු බොහෝ පක්ෂ පෙන්වා දුන්නේ මෙම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බවයි. සමුළුවට සහභාගී වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මෙලෙස සඳහන් කළේය. 
''13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ගැන සමුළුවේදී සාකච්ඡා වුණා. එහෙත් ආණ්ඩුවේ මතය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන් පසුව සමුළුව කැඳවූ බව ජනාධිපතිවරයා පැවසුවද 13 යටතේ පූර්ණ බලතල ලබාදීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවට පොදුජන පෙරමුණු ලේකම් කියනවා. ජනාධිපතිවරුන් 7 දෙනෙක් යටතේ ලබා නොදුන් දෙයකට ජනාධිපතිවරයාට මැදිහත් නොවිය යුතුය යන මතයකයි ඔහු ඉන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ විහිළු නොකර ආණ්ඩුව කරන්න හදන්නේ කුමක්දැයි අපට කියන ලෙසයි. දෙමළ ජනතාව වෙනුවෙන් හා රටේ සංවර්ධනය වෙනුවෙන් බලය බෙදිය යුතුය යන මතයේ අපි ඉන්නවා.'' යනුවෙන් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ  ''අපි පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්විය නොහැකිය යන අදහසේ සිටිනවා.  13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදා හැරීම ගැන කතා කළා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් එක්කෝ එය ක්‍රියාත්මක කළ යුතු බවත් නැතිනම් අහෝසි කළ යුතු බවත් එසේ නොමැතිව නිකම් ලියැවිල්ලක් ලෙස තබා නොගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අපිත් එයට එකඟයි. ජනාධිපතිවරයාගේ කියා සිටියේ පළාත් සභා මැතිවරණය  පැවැත්වීම හෝ 13 වැනි සංශෝධනයේ ඇති බලතල පිළිබඳව සාකච්ඡා කිරීම යන දෙකෙන් එකක් තෝරාගත යුතු වන අතර මේ දෙකම එකවර කළ නොහැකි බවයි.. අපි මේ සමුළුවට ආවේ මෙය නිකම්ම සාකච්ඡාවයක් පමණක් වේය යන සැකය ඇතිවයි. ඒ වගේම සාකච්ඡාවේ කිසිම ප්‍රතිඵලයක් නැහැ.'' යනුවෙනි.

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ පාලන කාලවල විවිධ අවස්ථාවන්හි මෙවැනි සර්ව පාක්ෂික සමුළු කැඳවා ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් පැවැත්වුණේ දෙමළ ජාතික ගැටලුව හා උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණිනි. ඒ හැර කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හා රටේ පවතින ආර්ථිකය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින්ද සර්ව පාක්ෂික සමුළු පවත්වා තිබේ.

ජේ.ආර්. ජයවර්ධනගේ ජනාධිපති ධූර කාලයේ ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් බලය විමධ්‍යගත කිරීම සඳහා 1984 ජනවාරි මාසයේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවූ අතර එය මාස කිහිපයක්ම පැවැත්විණ. 1983 දී ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි තම විශේෂ නියෝජිත ගෝපාල්ස්වාමි පර්තසාරතී පත් කළේය. එම සාකච්ඡා පැවැත්වෙන අතර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවට යෝජනා කළ අතර 1984 පැවැති එම සර්ව පාක්ෂික සමුළුවේ දී දෙපිරිස අතර එකඟතාව සඳහා සාකච්ඡා කළ යුතු යෝජනාවලියක්ද සකස් කෙරිණි. ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා වෙනම පළාත් සභාවන් ගොඩනැංවීම සඳහා වන යෝජනාද එහි ඇතුළත්ව තිබිණි. 

1988 දී ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරුල්ලෙන් පසු රටේ නිර්මාණය වූ ආරාජික තත්ත්වය සම්බන්ධයෙන්  සර්ව පාක්ෂික සමුළුවක් 1989 සැප්තැම්බර් මස 13 වැනිදා කැඳවීය. එයට පක්ෂ 22ක නියෝජිතයන් 90 දෙනෙක් සහභාගී වූ නමුදු ඒ වන විට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ එයට සහභාගී නොවීය. එල්.ටී.ටී.ඊ සංවිධානයද නිරීක්ෂකයන් ලෙස එම සමුළුවට සහභාගී වූ අතර දෙවැනි වටයේ සාකච්ඡාවලදී රජයේ පාර්ශ්වය තම යෝජනා සැලකිල්ලට නොගන්නේය යන පදනම මත විරුද්ධ පක්ෂ එම සාකච්ඡාවලින් ඉවත් වූහ.

2005 ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් 2006 දී සර්පාක්ෂික සමුළුවක් කැඳවීය. ආරම්භයේදී පක්ෂ 15ක් එයට සහභාගී වූ අතර දෙමළ ජාතික සන්ධානයට ඒ සඳහා ඇරියුම් නොකෙරිණි. මෙම සමුළුවේදී නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සඳහා යොජනාවලියක් සකස් කිරීමට සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඉදිරි සකච්ඡා සඳහා පදනමක් සකස් කිරීමට සර්ව පාක්ෂික කමිටුවක් පත් කර ගැනීමටද තීරණය විය. ඒ අනුව 2006 ජූලි මාසයේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් ද පිහිටුවිණි.

කෙසේ නමුදු මෙතෙක් පැවැති සර්ව පාක්ෂික සමුළුවලින් දෙමළ ජාතික ගැටලුවට නිසි පිළිතුරක් සෙවිය නොහැකි විය. 2009 එල්.ටී.ටී,ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමඟ මෙරට පැවැති සිවිල් යුද්ධය අවසන් විය. එහෙත් දෙමළ ජාතික ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණු අතර එම ගැටලුව වර්තමානය තෙක් දිග් ගැසෙමින් තිබේ. මුලින් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටි දෙමළ දේශපාලනඥයන් දැන් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීමක් ඉල්ලා සිටින අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසට මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිති.

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට පරිබාහිරව ජාතික අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද සර්ව පාක්ෂික සමුළු කැඳවා තිබේ. 2015 ඔක්තෝබර් යහපාලන සමයේදී ජිනිවා යෝජනා සම්බන්ධයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඒ සඳහා පක්ෂ 23 ක් සහභාගි වූ අතර එහි අරමුණ වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සඳහා පනවා ඇති නිර්දේශයන් පිළිබඳව සියලු පක්ෂවල අදහස් වීමසීමයි. 

නැවතත් 2019 අප්‍රේල් මස 25 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල විසින් යළි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ ජාතික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. 2019 අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්ඡා කිරීම සඳහා එම සමුළුව කැඳවා තිබිණි. 

කොවිඩ් වසංගතය හේතුවෙන් ජන ජීවිතයේ ඇති වූ ව්‍යාකුලමය තත්ත්වය සමතයකට පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 අප්‍රේල් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීය.
දැන් යළිත් ජාතික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූ නමුදු. එම සමුළුවේදීද පෙර පැවැති අයුරින්ම දෙකට බෙදී වාද විවාද කරගන්නවා හැර ගැටලුවට සැබෑ පිළිතුරක් ලැබී නැත.


1989 සර්ව පාක්ෂික සමුළුවෙන් පසු

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02