රාජාංගණය යාය 18 ප්‍රදේශයේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් සහිත සැණකෙළියක් පවත්වා තිබුණේ අවුරා ලංකා ආයතනයේ හිමිකාර නන්දික විරංජිත් තාඹුගල මහතාගේ ප්‍රධානත්වයෙනි. නවීන ශබ්ද වාහිනී පද්ධති සමඟ නවතම ආලෝක රටා සහිත ප්‍රසංගය ඉකුත් 10 වැනිදා ආරම්භ කොට තිබුණි. දින 14 ක් පුරා පැවති ප්‍රසංගය තවත් දින 6 කින් දීර්ඝ කර ගැනීම අවුරා ලංකා ආයතනයේ අදහස වී ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිටින සත්වයන්ට මේ ප්‍රසංගයේ ශබ්දය හා ආලෝක ධාරාව පීඩාවක් බැවින් තවදුරටත් ප්‍රසංගය නොපවත්වන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය වෙතින් ඉල්ලීමක් කොට තිබුණේ මේ අතරය. ඒ බව නොදත් අවුරා ලංකා ආයතනය මගින් දින 14 ක් පැවති ප්‍රසංග මාලාව දින 20 ක් දක්වා තවත් දින 6 කින් දීර්ඝ කරන ලෙස ඉල්ලා ශබ්ද විකාශන භාවිතය සඳහා අවසර ඉල්ලා තිබුණි. නමුත් පොලිසිය ඊට අවසර ලබා දී තිබුණේ නැත. ප්‍රසංගය පැවැත්වීමට ලබා දී නියමිත වෙලාවෙන් පිට සංදර්ශනය පැවැත්වීම පොලිසිය කිසිදු අවසරයක් ලබා දී නොතිබිණ. මේ අතර ප්‍රදේශයේ ගොවි සංවිධාන කිහිපයක් විසින් ප්‍රසංග කාලසීමාව දීර්ඝ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ බවද වාර්තා විය.
ප්‍රසංගය අවසන් වීමට නියමිතව තිබූ 24 වැනිදා රාත්‍රියේ රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රසංග භූමියට පැමිණ තිබුණේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමටය. ඒ අවස්ථාවේ අවුරා ලංකා ආයතනයේ සභාපතිවරයා තවත් පිරිසක් සමඟ පැමිණ ''ඕ.අයි.සී. මහත්තයා.. මම දකිනකොට හැංගෙන්නේ ඇයි? මට මේකට හෙට ඉඳන් පර්මිෂන් නොදෙන්නේ ඇයි? කෝටි ගාණක් වියදම් කළේ දවස් 20 ක් ගහන්නනේ.. උඹ දැනගනිං උඹගේ යුනිෆෝම් එක ගලවනවා.'' යැයි කියා බැණ තර්ජනය කොට ඇති බව කියැවේ.
මේ සම්බන්ධයෙන් රාජාංගණය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්. ගජසිංහ මහතා එම පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇත. මේ පිළිබඳව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී (III) අමිල සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් අරඹා තිබේ. තර්ජනය කළ අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට නොගත්තේ එම ස්ථානයේ බත් දන්සලක් සමඟ විශාල පිරිසක් සිටි බැවින් මහජන කැළඹීමක් ඇතිවේ යැයි සිතා බවද ස්ථානාධිපතිවරයා දක්වා ඇත.
මේ පිළිබඳව නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ''බී'' වාර්තාවක් මගින් කරුණු දැක්වීමට පොලිසිය පියවර ගනු ලැබීය. එහිදී කෝටිපති ව්‍යාපාරික අවුරා ලංකා ආයතනයේ සභාපති චන්දික විරංජිත් තාඹුගල මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න මහතා නියෝග කළේය.
I සමන්ත විල්තෙර