2023 ජුලි 29 වන සෙනසුරාදා

අපේ ආර්ථිකයේ අනාවැකි මිරිඟුව

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

බලධාරීන් නිතරම පවසන්නේ අපේ රටේ ආර්ථිකය දිනපතා වර්ධනය වන බවය. එය සනාථ කිරීම සඳහා ඔවුහු උද්ධමනය අඩුවීම, රුපියල ශක්තිමත් වීම, ජීවන වියදම පහළ යාම, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යාම, භාණ්ඩ මිල පහළ යාම, පෝලිම් නැතිවීම ආදී විවිධ සාධක ඉදිරිපත් කරති. ඔවුන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනුයේ 2024 වනවිට රටේ ආර්ථිකය මේ වසරට වඩා විශාල වශයෙන් ඉහළ යන බවය. 

ඇතැමුන් පවසනුයේ ලබන වසරේ සාර්ථක ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම හුදෙක් විශ්වකර්මයක්ම වෙනු ඇති බවය. කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ දැනට මහ බැංකුව ගෙන ඇති පියවර අනුව ලබන වසරේ රටේ ආර්ථික වර්ධනය ධන අගයකට පත් කරන්නට හැකිවන බවකි. දැනට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී ඇති අතර ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් වර්ධනය වනු ඇති බව ඔහුගේ විශ්වාසය වෙයි. එසේම මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පවතින විදේශ සංචිත ඩොලර් බිලියන තුනක ආසන්නයට වර්ධනය වී ඇති අතර දැනට ගෙන ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ අනුව රුපියල තවදුරටත් ශක්තිමත් වී ආනයන භාණ්ඩවල මිල තවදුරටත් පහළ යනු ඇති බව අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේදී ආනයන භාණ්ඩ 600කට පමණ ආනයන සීමා පැනවූ අතර ඇතැම් ඒවා මුළුමනින්ම ආනයනය තහනම් කර තිබුණු අතර සමහරකට දැඩි ආනයන සීමා පනවා තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටියහ. එහෙත් මෙම ආනයන සීමා අදියර කිහිපයකින් ලිහිල් කර ඇති අතර පසුගිය සතියේදී තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත් කර තිබේ. ඒවා අතර මෙරට පහසුවෙන් වගා කළ හැකි එළවළු හා පළතුරු වර්ග රැසක් විය. මුලදී මෙසේ ආනයනය අඩුකර තිබුණේ විදේශ විනිමය අර්බුදය තීව්‍ර වූ නිසාවෙන් වන අතර දැනට ක්‍රමයෙන් විනිමය අර්බුදය මගහැරෙමින් පවතින නිසා එම සහනය ජනතාව වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාතය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද මේ වනවිට රටේ ආර්ථිකය යහපත් මඟකට යොමු වී ඇති බව ජනතාවට ඒත්තු යමින් පවතී. මෙම තත්ත්වය නිර්මාණය වූයේ ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් පසු පත්වූ නව ජනාධිපති රනිල් ගත් සාර්ථක පියවර නිසා බව ඇතැමෙක් පුන පුනා ප්‍රකාශ කරති. එසේ වුවද සමහරකුගේ මතය වන්නේ ආර්ථිකය යහපත් බව පෙන්වීම මතුපිට ඔප දමන ලද කෘත්‍රිම ක්‍රියා මාර්ගයක් විය හැකි බවය. සත්‍ය ලෙසම රටේ ආර්ථිකය යහපත් නොවී ඇති අතර මෙම තත්ත්වය දේශපාලනඥයන් ස්වකීය ප්‍රතිරෑපය ගොඩනගා ගැනීමට කරන ව්‍යාජ මවාපෑමක් බවටද චෝදනා කරන්නෝ වෙති.

රට ගොඩනැගීම සඳහා ස්ථීර ආර්ථික වැඩපිළිවෙළක් නොමැති අතර අද සිදුවන්නේ ආර්ථිකයේ දුර්වලතාවලට පැළැස්තර ඇලවීමක් පමණක් බවට ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ චෝදනා කරති. රට ගොඩගැනීමට නම් ජාතික ආර්ථික සැලසුමක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට උත්සාහ කරන්නේ නම් එය සිතන තරම් ලෙහෙසි නොවන අතර, අරමුදල පනවන ඇතැම් කොන්දේසි කොතරම් දුරට අපේ රටට ගැලපේද යන්න හා ඒවා ප්‍රායෝගික බවට පත් කිරීමට ගන්නා උත්සාහයයේදී ජනතාව ඒවාට එරෙහිවීම තීව්‍ර වන අතර එහි සලකුණු මේ වනවිටද රට තුළ දක්නට ඇති බව ඔවුහු පවසති.

ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ දැනට ඍණ ආර්ථිකයක් පවතින රටක් ලබන වසරේදී ධන ආර්ථික වර්ධනයක් කරා මෙහෙයවීම ඉතාම දුෂ්කර ක්‍රියාවක් වනු ඇති බවය. ශ්‍රී ලංකා මහ බැංකුව සංඛ්‍යාත්මක විග්‍රහ අනුව යම් ආකාරයක ආර්ථික වර්ධනයක් ඇති බව පෙන්වුවද එහි ප්‍රතිඵල සත්‍ය වශයෙන් ජනතාවට ලැබේද යන්න අවිනිශ්චිත බව ඔහු කියයි.

''2023 වසරේ පළමු වන කාර්තුවේ රටේ ආර්ථික වර්ධනය තිබුණේ ඍණ (-) දශම පහක් වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන්නේ මේ වසරේ (2023) අග වනවිට ආර්ථික වර්ධනය ධන (+) බවට පත්වෙලා 2024 වසරේදී ධන (+) 2-3 පමණට ඉහළ යනු ඇති බවයි. එහෙත් මට නම් පැවසිය හැක්කේ මේ තත්ත්වය ප්‍රායෝගික නොවන බවයි. ආර්ථිකය ඍණ තත්ත්වයෙන් මිදී ධන 2 ඉක්මවා යාවිය යන්න බලාපොරොත්තු විය හැක්කක් නොවෙයි.

ආර්ථිකයේ පෙනෙන දේ හා සිදුවන දේ යනු දෙකක්. මතුපිටින් පෙනෙන වර්ධනය සත්‍ය වශයෙන් නැහැ. පාරවල් තැනුවාට, පාලම් බෝක්කු හැදුවාට, ගොඩනැගිලි හැදුවාට, පෝලිම් නැතිවුණාට, ඇතැම් ඒවායේ මිල පහළ ගියාට එයින් සැබෑ ආර්ථික සංවර්ධනයක් පෙනෙන්නේ නැහැ. ප්‍රශ්නය අපේ වෙනතුරු පිළිතුර දාර්ශනික යැයි පිළිගැනීමක් තියෙනවා. මේ වනවිට ප්‍රශ්නය අපෙන් ඈත්කර තියෙනවා. ඒ නිසා පිළිතුරද සිතන තරම් සමීපවන්නේ නැහැ. පෝලිමේ දුක් වින්ඳ ජනතාවට පෝලිම්වල නොගොස් භාණ්ඩ මිලදී ගන්න හැකිවීම ආර්ථික සංවර්ධනය නොවෙයි. මුලදී ජනතාව පෝලිම්වල සිටියේ නැහැ. ඒ වගේම විදුලි බිල වැඩි කරලයි යළි අඩු කළේ. විශාල ලෙස වැඩිකරලා ස්වල්ප ලෙස අඩුකළා. එය ආර්ථික සංවර්ධනයක් නිසා සිදුකළ දෙයක් නොවෙයි.

උද්ධමනය විශාල ලෙස වැඩිවෙමින් තිබිලා අඩුවුණා. දැන් එය තනි ඉලක්කමකට ගන්න උත්සාහ කරනවා. මිල වැඩිවීමේ වේගය අඩුවුණත් රටේ වැඩිවූ භාණ්ඩ මිල අඩුවුණේ නැහැ. ඉතින් රටේ ආර්ථිකයට හෝ පුද්ගල ආර්ථිකයට සිදුවන යහපතක් නැහැ. මෙහිදී අවශ්‍ය වන්නේ භාණ්ඩ මිල අඩු කිරීමයි. එදා වැඩිවූ මිල අඩු නොවෙනවා නම් ජනතාවට සිදුවන යහපතක් නැහැ.

එසේම සමහරුන් සිතාගෙන ඉන්නේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබීමෙන් රටේ ආර්ථිකය සංවර්ධනය වන බවයි. භාණ්ඩ හා සේවාවල මිල අඩුවේ යැයි ඔවුන් සිතනවා. ජනතාව වැඩි වශයෙන් ඉන්නේ මනෝ ලෝකවලයි. පළමු වාරිකය ලබා ගැනීමට අපට දින 400ක් වැනි දීර්ඝ කාලයක් ගතවුණා. බංගලිදේශය වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරලා මසකට අඩු කාලයකදී පළමු ණය වාරිකය ලබාගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් අමෙරිකානු ඩොලර් මිලියන 300-350 අතරේ වෙනවා. පළමු වාරිකයට ලැබුණේ ඩොලර් මිලියන 330 වැනි මුදලක්. ණය මුදල ගෙවන්නේ වාරික අටකින්. මුළුමනින්ම ගෙවා නිම කිරීමට අවුරුදු හතරක් පමණ ගත වෙනවා. මේ වාරික සියල්ල නොකඩවා ලබාගත හැකිවනු ඇතැයි කිසිදු විශ්වාසයක් නැහැ. මෙයට පෙර ණයගත් කිහිප වතාවකදීම මුල් වාරිකයෙන් පමණක් ණය දීම අවසන් වුණා. එයට හේතුව දෙවැනි වාරිකය ලබාගැනීමට ඉටුකළ යුතු කොන්දේසි හා එකඟතා සම්පූර්ණ කළ නොහැකි වීමයි.

අප දැන් උත්සාහ කරනුයේ දෙවැනි වාරිකය ලබන සැප්තැම්බරයේ ලබා ගැනීමටයි. එයට ඇත්තේ මාස දෙකක පමණ කාලයක්. එය තවත් කල් ඇදී යාමට තියෙන ඉඩ වැඩියි. ඉලක්ක සපුරා ගන්න පුළුවන්ද? මැයි මාසයේ ඉලක්කය සියයට 39 වුවද අපි සම්පූර්ණ කර ඇත්තේ සියයට 29 පමණයි. ජූනි මාසයේ ඉලක්කය 55 වූවාට අපි සපුරා ඇත්තේ 33යි. මෙම 33ට නොකරපු දේවල්ද අඩංගු කර ඇති බව පෙනෙනවා. වංචා දූෂණ පනත සම්මත කිරීම, මහ බැංකුව ස්වාධීන කිරීම, ආනයන සීමා ඉවත් කිරීම ආදිය ඉටුකළේ ජූනි මාසයේ නොවෙයි. ජූලිවලයි. ඒවාද ජූනි මාසයේ කළ බව පෙන්වලයි 33 ටාගට් එකට ඇවිත් තියෙන්නේ. මේ වනවිටද රාජ්‍ය ව්‍යවසායන් 52ක් 2022 වසරේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැහැ. ලබන සැප්තැම්බර් මාසය වනවිට එකඟතාවලින් සියයට 77ක් සපුරාලිය යුතුයි. එය ඉටු නොකළහොත් සැප්තැම්බර්වල දෙවැනි වාරිකය ලබාගන්න අපහසු වේවි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කරුණු සඵල කර ගැනීම සඳහා සුවිශේෂ ආයතනයක් ගොඩනගා එයින් ප්‍රගතිය සමාලෝචනය කළ යුතු වෙයි. වහාම ඉටුකළ යුතු කරුණු රැසක් පවතී. තවම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළද සාර්ථක වී නැහැ දේශීය ණය යම් පමණකට ප්‍රතිව්‍යුහගත කළත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවම අරඹාවත් නැහැ.
ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම් වැඩපිළිවෙළද තවම ආරම්භ කර හෝ නැහැ. තවම එක් ආයතනයක් හෝ ප්‍රතිව්‍යුහගත කර නැහැ. සාකච්ඡා මට්ටමේ තමා තියෙන්නේ. ආණ්ඩුවේ සාමාජිකයන්ද මෙයට එරෙහියි. ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය අරමුදලේ යෝජනාවක් නොවෙයි. ඒ අය කියන්නේ පාඩු ලබන ඒවා ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතු බවයි. ආණ්ඩුව එය ඉටු නොකර ලෙහෙසියෙන් කළ හැකි ප්‍රතිව්‍යුහගතකරණයට යනවා. අලාභ ලබන ආයතන සමග ලිට්රෝ, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආදී ලාභ ලබන ආයතනද ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් පෞද්ගලික අංශයට දෙන්න යනවා. ලබන වසරේ ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වන ආණ්ඩුව ආදායම් ලබන රාජ්‍ය ආයතනද අහිමිකර ගැනීමෙන් සිදුකර ගන්න යන ආර්ථික යහපත කුමක්ද යන්න සිතා ගන්නවත් බැහැ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට අයිතිව තිබූ කාලයට වඩා රාජ්‍ය ආයතනයක්ව තිබෙන අද දවසේ විශාල ලෙස ලාභ ලබනවා.  එය රජයට අයිති නිසා ජනතා විශ්වාසය දිනාගෙන තිබෙනවා. එවැනි ආයතනද අහිමිකර ගැනීම ගැටලු සහගතයි.

රජය කළයුතු වන්නේ රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව, වංචා දූෂණ ආදිය තුරන් කර ඒවා ලාභ ලබන ආයතන බවට පත් කිරීමයි. එහෙම නැතුව ප්‍රතිව්‍යුහගත කර ලැබෙන මුදල් එදිනෙදා අවශ්‍යතාවලට නාස්ති කිරීම විශාල අපරාධයක්. එයින් සිදුවන්නේ රටේ ආර්ථිකයට හානියක්. අන්තිම විකල්පය තමා පෞද්ගලීකරණය කිරීම. ඒත් මේ අය පටන් ගන්නේ ඒකෙන්.

රජය ව්‍යාපාර කඩා වැටෙන විට ඒවා ගොඩනැගීමටයි මැදිහත් විය යුත්තේ. රජය ව්‍යාපාර කරන්න ගිහිල්ලයි මේ අවුල ඇතිවුණේ. ඒකාධිකාරයක් තියෙන විටදියි රජය මැදිහත්විය යුත්තේ. අද අපේ රටේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ රජය කරවන අයගේ පෞද්ගලික අවශ්‍යතා මතයි. එසේ නැතුව මූල්‍ය අරමුදල පැවසූ නිසා නොවෙයි.

මගේ අදහස නම් ලබන වසරේ ආර්ථිකය ප්‍රසාරණය වන බව පැවසීම සත්‍ය නොවන අනාවැකියක් බවයි. අද රටේ ආර්ථිකය පවතින තත්ත්වය අනුව ලබන වසරේ බලාපොරොත්තු වන ආර්ථික වර්ධන ඉලක්කවලට ළඟාවීම අසීරුයි. මහ බැංකුව ස්වාධීන කරලා ඇතැයි පැවසුවත් මහ බැංකුව ඇතැම් ප්‍රකාශ කරන්නේ දේශපාලනඥයන්ගේ උපදෙස් අනුව බවයි සනාථ වෙන්නේ. කියන්නා කොහොම කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න මෙහිදී මතක් කළ යුතුයි. ආණ්ඩුව තවමත් නාස්තිය, දූෂණය යම් පමණකින් හෝ අඩුකරලා නැහැ. එහෙම පරණ පාරේ යමින් ආර්ථික පුනුර්ජීවනයක් ලබන්න තබා ඒ අසලටවත් කිට්ටුවීම උගහට බවයි පැවසිය යුත්තේ.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02