ලංකා ව්‍යාපාරික සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම වෙළෙඳ සන්නාමය ලෙස දිනාගත්තේ Mr. Kottu Grand (Pvt) Ltd ආයතනයයි. එහි නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරී වෙන්නෙ විරාජ් වික්‍රමනායක. ඔහු වර්තමානයේ අතිශය ජනප්‍රිය ව්‍යවසායකයෙක්. නමුත් මේ තරුණයා පිටුපස ලොකු කතාවක් තියෙනවා.
විරාජ් කියන්නෙ නුගේගොඩ නාගරික වතු පරිසරයේ ඉපදුණු තරුණයෙක්. බොහොම අගහිඟකම්, දුක් පීඩා එක්ක ඔහු තමන්ගේ බාල කාලය ගත කළා. විරාජ්ගේ තාත්තගෙ රුකියාව වූයේ කඩවලට, කැන්ටින්වලට කෑම හදලා දාන එක. මේ හැමදේම සිද්ධ වුණේ අඩි දහයයි දහයේ විතර වුණු රොටරිවත්තෙ ඔහුගෙ නිවස ඇතුළේ.
“ඔක්කොම උයන පිහන ඒවා කරන්නේ ඒකෙ. ඉස්සර අපිට නිදාගන්න ඉඩ නෑ. තාත්තා ඇහැරිලා ඉන්න වෙලාවට තමා අම්මා නිදාගන්නෙ. අම්මා ඇහැරිලා ඉන්න වෙලාවට තමයි තාත්තා නිදාගන්නෙ. තෙල් තාච්චියට එහායින් දාලා තිබුණු පොඩි ඇඳවල් දෙකක තමයි අපි සහෝදරයෝ නිදාගන්නෙ."
පාසලේ හතරේ පත්තියට පමණ යන විට පියාගේ ව්‍යාපාරවලට උදව් කරන්න විරාජ් පෙළඹෙන්නේ ඉබේටම. ඇත්තටම ඔහුට වෙන විකල්පයකුත් තිබුණෙ නෑ. පාසල්වල කැන්ටින්වලට කෑම ගිහින් දාන්න, තාත්තාගේ කෑම කරත්ත එක්ක රූට නිදිමරන්න පුංචි විරාජ්ට සිද්ධ වුණා.
ඉතිරිවෙන රොටිවලින් කොත්තු හදලා පාසලට අරගෙන ගිය නිසා "කොත්තුවා" කියල නමකුත් ඔහුට වැටුණා. ඒත් මේ අපූරු දරුවා අම්මා තාත්තාගේ රුකියාවට අප්‍රමාණ උදව් කරමින්, ජීවිතය හොයාගෙන ඉදිරියට ගියා.
රොටරිවත්තේ හිටපු නිසා නුගේගොඩ රොටරියට ටියුෂන් ආපු යාළුවෝ ඔහුට උදව් කළා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කඩඉම් හරහා යන්න ඔවුන් තමා විරාජ්ට ශක්තිය වුණේ. වත්තෙන් එහා ලෝකය ඔහු දකින්න පටන් ගත්තේ මේ කාලේ. ඒ නිසා ලොකු හීනයක් ඔහු දැක්කා.
තමන්ගේ උත්සාහයෙන්ම ශාන්ත ජෝන් විද්‍යාලයෙන් නාලන්දා විද්‍යාලයට ඇතුළු වෙන්න විරාජ් සමත් වෙනවා. ඒකත් අපූරු කතාවක්. දෙමව්පියන්ටත් ඒ පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නැති බව ඔහු සිහිපත් කරනවා.
මේ සියල්ල අතරේ විරාජ් ලංකාවේ පාසල් බොක්සිං ශූරයෙක් වුණු බවත් සිහිපත් කරන්න ඕනෑ. ඒ ක්‍රීඩාවත් ඔහුගේ ගමනට ශක්තියක් වුණා. පාසලේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වෙන්න විරාජ් සමත් වුණේ ඔහු තුළ තිබුණු ධෛර්ය සහ දක්ෂතාවය නිසා.
උසස් පෙළින් පස්සේ එක දවසක්වත් ගෙදර ඉන්නෙ නැතුව පවුලේ ප්‍රශ්න නිසා ඔහු රුකියාවක් කරන්න පෙළඹුණා. විරාජ් පාසල් කාලේ සුළු සුළු රුකියා කළා. මැක්ඩොනල්ඩ් එකේ සේවය කරද්දි තමයි මිස්ටර් කොත්තු සම්බන්ධ අදහස විරාජ්ට පහළ වෙන්නෙ. විරාජ් කියන විදිහට මේ වගේ ආයතනයකට සම්බන්ධවෙලා, ඊට අවශ්‍ය සම්පූර්ණ අත්දැකීම් ඔහු එතැනින් එකතු කරගෙන තියෙනවා. වැසිකිළි සුද්ධ පවිත්‍ර කිරීමේ ඉඳලා පරිපාලනය දක්වා සියල්ල ඔහු ඉතා උවමනාවෙන් ඉගෙනගෙන තියෙනවා.
මුලින්ම මැක්ඩොනල්ඩ් එකෙන් එළියට බැහැලා මිත්‍රයෙක් එක්ක එකතුවෙලා "මයි බර්ගර්" කියලා කඩයක් තමයි ඔහු ආරම්භ කරන්නෙ. ඒක ඉතාමත් සාර්ථක වෙනවා. පස්සේ ටික කාලෙකින් විරාජ් තීරණය කරනවා මිත්‍රයන්ට වැඩේ භාරදීලා තමන්ගේ හීනෙ ලුහුබඳින්න. මිස්ටර් කොත්තු ආරම්භ වෙන්නේ ඒ විදියට. නුගේගොඩ හතේ කණුවේ තමයි ඔහු මිස්ටර් කොත්තු පටන් ගන්නෙ.
“මිස්ටර් කොත්තු පටන්ගත්ත ගමන් මට මම වුණා කියලා හැඟීමක් ඇතිවුණා. යාළුවෝ, ඉස්කෝලේ විදුහල්පති ඇතුළු ඔක්කොම මට කිව්වේ කොත්තුවා කියලා. කොත්තු කියලා ඉස්සරහට මට නිකම් කියන්න එපා. ඉස්සරහට මිස්ටර් කෑල්ලක් දාන්න බ්‍රෑන්ඩ් එකක් හැදුවේ."
මෙයින් පසුව ද අපමණ බාධා ඔහු හමුවට පැමිණෙනවා. ඒක දීර්ඝ කතාවක්. එහෙත් විරාජ් එවායින් සැලුණේ නැහැ. දක්ෂ ව්‍යවසායකයන් එහෙමයි. ලංකාවේ හොඳම වෙළෙඳ සන්නාමයට ඔහු අද හිමිකම් කියනවා. සමාජ මාධ්‍යයෙන් දහස් ගණන් දෙනා ඔහු දිහා බලාගෙන ඉන්නවා. ලංකාව විතරක් නෙවෙයි, ජාත්‍යන්තරයත් මිස්ටර් කොත්තු ජය ගනිමින් ඉන්නේ.
ඉතින් ඔබේ ව්‍යවසායකත්ව හීනයට ඔහු අපූරු උදාහරණයක්.