2023 ජුලි 29 වන සෙනසුරාදා

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරනවා - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

රට විරුවන්ගේ ආරක්ෂාවට වැඩිම පියවර ගත්තේ අපි‍
කාර්යාංශයෙන් ලියාපදිංචි ඕනම රටවිරුවෙක්ට අපි වග කියනවා
රට විරුවෝ යළි ඩොලර් එවන්න පටන් අරන්
සංචාරක වීසාවලින් රැකියාවලට යන්න එපා!

► විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වනවිට ඉතාම සංකීර්ණ වැඩ කොටසක් කරන බව අපි දකිනවා. එදා සහ අද වනවිට මේ ආයතනයේ පවතින වෙනස කුමක්ද?

පසුගිය කාලයේදී මේ රට මුහුණදුන්න අභියෝගවලින් ජයගැනීමට මේ වනවිට විශාලම දායකත්වය ලබාදෙන්නේ විදේශගත ශ්‍රමිකයින්. විදේශගත ශ්‍රමිකයින් දැනට අවුරුද්දකට පෙර තමන් උපයන මුදල් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ රටට එව්වේ නැහැ. ඒක රටේ ආර්ථිකයට බරපතළ ලෙස දැනී තිබුණා. පසුගිය අවුරුද්දේ පෙබරවාරි, මාර්තු මාස වනවිට විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන දෙසීය, දෙසීය පනහ දක්වා අඩුවෙලා තිබුණා. ඒක දැන් ඩොලර් මිලියන පන්සියයක සීමාව ආසන්නයට අරගෙන එන්න අපිට හැකියාව ලැබී තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් රටට මුදල් එවන එක වැඩිවෙලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැත්තෙන් ගත්තම ඔවුන් වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරමින් යනවා.

මේ අවුරුද්ද විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධන වසර ලෙස අමාත්‍යතුමා නම් කරලා තියෙනවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව රටට එවනු ලබන මුදල් ප්‍රමාණය මත ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රයක් ලබාදීම, ගුවන් තොටුපොළේදී ලබාදෙන තීරුබදු සහනය ඉහළ දැමීම, නිවාස ණය ව්‍යාපෘතියක් හඳුන්වා දීමට කටයුතු කිරීම, විදේශගත ශ්‍රමිකයින්ට නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම වගේ වැඩකටයුතු අපි කරගෙන යනවා. ඒ අතරම නීති විරෝධී ආකාරයට විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගනිමින් තිබෙනවා.

► විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයින් හා ඔබ ආයතනය අතර විශාල ඈත්වීමක් පසුගිය කාලයේදී තිබුණා. ඒ ඈත්වීම ඉක්මනින් සමීප ආයතනයක් බවට පෙරළා ගත්තේ කොහොමද?

එකක් තමයි විදේශගත ශ්‍රමිකයින් අතර පැවති අවිශ්වාසය නැති කිරීමට අපි කටයුතු කළා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අයත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා බවට මනුෂ නානායක්කාර අමාත්‍යතුමා පත්වූ වහාම විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ රටේ ප්‍රශ්න විසඳන්න නිත්‍යානුකූල ක්‍රමයට රටට මුදල් එවන්න කියන එක. ඒ ඉල්ලීමට විදේශගත ශ්‍රමිකයින් ඉතාමත් හොඳ ප්‍රතිචාර දැක්වූවා.

ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අපිට ගතහැකි සෑම පියවරක්ම අපි ගත්තා. විදේශගත ශ්‍රමිකියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි වෙනදාට වැඩි පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම රක්ෂණ ක්‍රමයක්, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කිරීම හරහා ඔවුන්ගේ ආරක්ෂාව හා රුකවරණය වෙනුවෙන් අපේ කැපවීම තහවුරු කරලා තියෙනවා. ඒත් එක්ක විදේශගත ශ්‍රමිකයින් අපිට වඩාත් සමීපව කටයුතු කරනවා.

► විදේශගත ශ්‍රමිකයින්ට මෙතරම් සහන දෙන්නේ ඇය කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම එහෙම සහන දෙන්නේ ඇයි?

විදේශ ගත ශ්‍රමිකයින් අපෙන් ඈත්වුණාම ඇතිවුණ තත්ත්වය හැමෝම දැක්කා. රටට අවශ්‍ය ඉන්ධන ටික, කෑම ටික, බෙහෙත් ටික ගෙන්වාගන්න මුදල් නැතිවුණ කාලය දිහා බැලුවම විදේශගත ශ්‍රමිකයින්ට මෙතරම් සහන දෙන්නේ ඇයි කියන එකට උත්තරයක් ලැබෙනවා.

අනෙක කුමන ක්ෂේත්‍රයෙන් රටට ඩොලර් ආවත්, ඒ ක්ෂේත්‍රවල නිෂ්පාදන හා සේවාවන් සඳහා අවශ්‍ය මිලදී ගැනීම් සඳහා ඩොලර් නැවත වෙනත් රටවට ඇදී යනවා. ඒත් විදේශ ගත ශ්‍රමිකයින් එවන මුදල් නැවත වෙනත් රටකට ඇදී යන්නේ නෑ. ඉතිං ඔවුන්ට අපි සහන ලබාදෙන එක වැරදිද?

► ඇත්තටම ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමේ ඊළඟ පියවර මොකක්ද?

විදේශ රැකියා ක්ෂේත්‍රයේදී ඇතිවෙන ගැටලු නැතිකරලා, ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන්න කියලා හැමතැනින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒ වගේම රටේ සියලුම ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණයට ලක්කරන්න ජනාධිපතිතුමා කටයුතු කරමින් යනවා. ඒ සඳහාත් අපි අවධානය යොමුකරලා තිබෙනවා.

► ඕනෑම රට විරුවෙක්ට ඔබගේ ආයතනයෙන් ලැබෙන වගවීම මොකක්ද?

අපි ආයතනයක් ලෙස ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ ඉල්ලීම් දෙකයි. එකක් තමයි විදේශ රැකියා සඳහා පිටත්වීමේදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යන්න එපා කියන එකයි. අනෙක් එක තමයි රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන විදේශ රැකියාවට යොමුවන්න කියන එකයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන, රැකියාවකට යන සෑම ශ්‍රමිකයෙක් සම්බන්ධයෙන්ම අපි වගකීම භාරගන්නවා. කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවකට යන අයගේ පමණක් නෙමෙයි, ඔවුන්ගේ පවුල්වල සුබසාධනය ගැනත් අපි අවධානය යොමු කරනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02