2023 ජුලි 29 වන සෙනසුරාදා

රට වටේ යන ඇසළ පෙරහරේ ලයිට් බිල

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 115

සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා මාලිගය ආරක්ෂා කිරීමෙහිලා පූර්ණ වගකීම පැවරෙන භාරකරු වන්නේ දියවඩන නිළමේය. ලංකා විදුලිබල මණ්ඩලයේ මහනුවර ඉංජිනේරුවරයා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාරට පසුගියදා ලියුමක් යවා තිබුණේය. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාවේදී මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් ඇස්තමේන්තු කළ රුපියල් කෝටියකට වැඩි මුදල පෙරහරට කලින්ම ඉල්ලාය. එම ලිපි දළදා මාලිගයට වගේම සතර මහා දේවාලවලටත් යවා තිබිණ. 

පිරිවැය සඳහන් කරමින් යැවූ එම ලිපියේ එය සඳහන් වන්නේ අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරමි යනුවෙනි. එහි දළදා මාලිගාවට විදුලි ආලෝකය ලබාදීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 34 කි. නාථ දේවාලය සඳහා ලක්ෂ 11 ක්ද, විෂ්ණු දේවාලය සඳහා ලක්ෂ 13 ක්ද, කතරගම දේවාලය සඳහා ලක්ෂ 11 ක්ද, පත්තිනි දේවාලය සඳහාත් ලක්ෂ 11 ක්ද, මහනුවර නගරයේ වීථි ආලෝකය සඳහා ලක්ෂ 44 ක්ද, විදුලි ජනන යන්ත්‍රය සඳහා වැයවන මුදල ලෙස ලක්ෂ 7 ක්ද වශයෙන් මුළු මුදල කෝටි 1.3 ක් බව එම ලිපියේ සඳහන්ය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දැක්වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ දළදා පෙරහරට පෙර විදුලි බිල්පතක් ඉදිරිපත් කිරීම අශිෂ්ට ක්‍රියාවක් බවත් එය බුදු දහමට කළ බරපතළ අවමානයක් බවත්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසූයේ ඇස්තමේන්තු බිලක් ලැබීම පෙර වර්ෂවලදීත් සිදුවූ බවයි. එසේම ඇසළ පෙරහරට විදුලි බිල බාධාවක් කර නොගන්නා බවත් එය ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් අයුරින් පවත්වන බවත් නිලමේවරයා වැඩිදුරටත් පැවසුවේය. මේ සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාමාධිපති ආචාර්ය වලවාහැංගුණවේ ධම්මරතන නාහිමියන් පැවසූයේ මෙය යටත්විජිත යුගයේදීවත් සිදු නොවූ දෙයක් බවත් මෙය බුදු දහමට කළ අවමානයක් බවත්ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතාවද විවිධ අදහස් පළ කළහ. 

එකී සිදුවීමෙන් එහාට ගොස් ඓතිහාසික දළදා මාලිගයට වගේම ඓතිහාසික දළදා පෙරහරට විදුලි ආලෝකය ලැබුණේ කොහොමද? ඒ පිළිබඳව අපි සොයා ගියෙමු. මෙහි ඉතිහාස කතාව රජ කාලය දක්වා දිව යයි. දේවේන්ද්‍ර මුලාචාරී නම් ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවාගේ සැලැස්මක් අනුව සැකසුණු නුවර වැවේ වළාකුළු බැම්මේ අදටත් ත්‍රිකෝණාකාර කවුළු තිබෙනවා දැකිය හැකිය. එසේ ත්‍රිකෝණාකාර කවුළු තබා වළාකුළු බැම්ම සකස් කර ඇත්තේ සුළඟට නිවෙන්නේ නැති විදිහට විශේෂ අවස්ථාවල පහන් පත්තු කරන්නටය. රජ කාලයේ දළදා පෙරහර සමයේ මුළු නගරයම ඒකාලෝක වී ඇත්තේ වැව රවුමේ ඇති දියඇලි බැම්මේ සහ වළාකුළු බැම්මේ පහන් ආලෝකයෙනි. කොප්පර පන්දම් රුගෙන පෙරහරේ ගමන් කරමින් පෙරහර ආලෝක කර ඇති අතර කැකුණ තෙල් දැමූ පහන් එල්ලා මාලිගය ආලෝකවත් කර ඇත.  වර්තමානය දක්වාම පෙරහර මංගල්‍ය ආලෝකවත් කිරීමට කොප්පර පූජාව සිදු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාව වීම විශේෂත්වයකි. මේ සඳහා කොප්පර සැකසූයේ කුරුණෑගල බෝයගනේ යුද හමුදා පාබල රෙජිමේන්තුවේ භට පිරිස්ය.

ඉංග්‍රීසි ආණ්ඩු සමයේදී දළදා මාලිගය සහ දළදා පෙරහර ආලෝකවත් කරන්නට ගෑස් ලාම්පු පිරිනමා ඇත්තේද පර සුද්දන් යැයි හඳුන්වන ඉංග්‍රීසීන්මය. වර්තමානයේ ජනාධිපති මන්දිරය ලෙස හඳුන්වන එකල ආණ්ඩුකාර නිල මන්දිරය පිහිටා ඇත්තේ ශ්‍රී දළදා මාලිගය පෙනෙන දුරින්ය. දළදා මාලිගයට වගේම ආණ්ඩුකාර මන්දිරයටත් ඒ වනවිට විදුලිය නොතිබුණි. ඉංග්‍රීසීන්ට ආණ්ඩුකාරවරයා කළුවරේ තැබීමට නොහැකි නිසා ආණ්ඩුකාර මන්දිරයට ගෑස් ලාම්පු ආලෝකය ලබාදෙන්නට ඕනෑ වුණත් එයට එක පරහක් විය. එනම් පෙනෙන මානයේ තිබෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති දළදා මාලිගය කළුවරේ තිබියදී ආණ්ඩුකාර මන්දිරයට ආලෝකය ලබාදෙන්නට නොහැකි වීමයි. ඒ සඳහා ඉංග්‍රීසීන් කළේ ආණ්ඩුකාර මන්දිරයටත් දළදා මාලිගයටත් දෙකටම ගෑස් ලාම්පු ආලෝකය ලබාදීමයි. ඉන්පසු කාලයේ දළදා පෙරහර පවත්වා ඇත්තේ ගෑස් ලාම්පු ආලෝකයෙනි.

1918 දී මස්කෙළිය ජලාශය ආරම්භ කෙරිණි. ජල විදුලි ජනනයේ පියා වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ජලාශ මාර්ගයෙන් මෙරට විදුලිය ජනනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරුවේය. මේ හරහා මුල්වරට ශ්‍රී පාදස්ථානය දක්වා විදුලිය ලබාදීමට හැකි වූ අතර ඒ සමගම මහනුවර ශ්‍රී දළදා මාලිගයටත් විදුලිය ලැබී ඇති අතර එතැන් පටන් දළදා පෙරහර විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී ඇත්තේය. දළදා පෙරහරට විදුලි ආලෝකය ලැබී ඇත්තේ ඒ ආකාරයටය.

ශ්‍රී දළදා මාලිගයට ජෙනරේටරයක් නැතිව තිබූ අවධියක විදුලිය විසන්ධි වූ අවස්ථාවල මාලිගය අඳුරේ පැවතිණි. මෙරට හිටපු එක්තරා විදුලිබල අමාත්‍යවරයෙක් දළදා මාලිගයට පැමිණ ඒ වනවිට අඩුපාඩුවක්ව පැවැති අති විශාල ජෙනරේටරයක් දළදා මාලිගයට පිරිනමා ඇත්තේය. දළදා මාලිගයට ජෙනරේටරයක් පූජා කරමින් අමාත්‍යවරයා එදා විශේෂ ප්‍රකාශයක්ද කළේය. 

“දළදා වහන්සේ කවදාවත් අඳුරේ තියන්න බෑ. ජෙනරේටරයේ නඩත්තු වියදම ආණ්ඩුවෙන් දරන්න ඕනෑ. ඩීසල් ලබා දෙනවා. නඩත්තු වැඩ සේරම විදුලිබල මණ්ඩලයෙන් මෙතැන් පටන් දිගටම කරන්න ඕනෑ.”

මෙසේ කිව්වේ හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ ෆෙස්ටස් පෙරේරාය. ඔහු දළදා වහන්සේට දැක්වූ අසීමිත භක්තිය විශේෂත්වයක් වනුයේ ඔහු උපතින්ම කතෝලිකයකු වීම නිසාය.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු ද වූ නිශ්ශංක පරාක්‍රම විජේරත්න මහතා 1975 වසරේ සිට 1985 දක්වා වසර 10 ක නිල කාලයක් දළදා මාලිගයේ දියවඩන නිලමේ ධුරයේ සේවය කර ඇති අතර ඉන්පසු ඔහුගේ පුත් නෙරංජන් විජේරත්න මහතා 2005 දක්වා වසර 20 ක් දළදා මාලිගයේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කළේය. ඔහු පවසන්නේ ඉහත කී වසර 30 ටම දළදා පෙරහරටත් දළදා මාලිගයටත් විදුලි ආලෝක වියදම දැරුවේ රජය විසින් බවත් කවරදාකවත් විදුලි බිල දළදා මාලිගයට එවා නැති බවත්ය. කිසි දිනක දළදා පෙරහරේ විදුලි වියදම මාලිගයෙන් ගෙවා නැති බවත් හෙතෙම පැවසීය.

කෙසේවෙතත් අපේ රටේ ඇති ප්‍රධාන ආගමික පූජෝත්සවයක් වන ඇසළ පෙරහර වෙනුවෙන් විදුලිය සැපයීමට මුදල් ඉල්ලා සිටීම කෙතරම් ශිෂ්ට සම්පන්න ක්‍රියාවක්දැයි සලකා බැලිය යුතු වන්නේ රටේ තැන තැන සිදුවන නිරපරාද නාස්තිකාර අවස්ථා සිහි තබාගෙනය. 

I සසංක චලන ගිම්හාන
ඡායාරූප අන්තර්ජාලයෙනි