2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

’’මාතා’’-’’මහතා’’ කළ උමාරා

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 223

ජාතික ගීය සම්බන්ධව ඉකුත් සතිය තුළ නිර්මාණය වූයේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගැයුණු ජාතික ගීය සම්බන්ධයෙන් මෙම අන්දෝලනාත්මක තත්ත්වය නිර්මාණය විය. ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ මෙම ගැයුම සිදු කළ අතර එම ගායන විලාශය සහ වචන උච්චාරණය සම්බන්ධ විසල් සංවාදයක් රට තුළ ගොඩනැගුණි.

මෙහිදී එල්ල වූ ප්‍රධානතම චෝදනාව වූයේ "ශ්‍රී ලංකා මාතා" යන්න "ශ්‍රී ලංකා මහතා" ලෙස උමාරා සිංහවංශගේ ගැයුමේදී උච්චාරණය වීමයි. පැහැදිලිවම මේ ගීතය නැවත නැවත ශ්‍රවණය කරන විට "මාතා" යන්න "මහතා" ලෙසින් උමාරා උච්චාරණය කරන බව ඕනෑම අයකුට පැහැදිලිය. එහෙත් ඇය එය හිතාමතා සිදු කරන්නේද? ලාංකික ජාතික ගීය වචන නොදැන සිදු කරන්නේද? යන්න අපට අපැහැදිලිය.

කවරක් නමුත් එහි යම් විකෘතියක් ඇති බව පිළිගත යුතු කරුණකි. එම උච්චාරණ දෝෂය බරපතළ එකක් බවට පත්වන්නේ ජාතික ගීය යනු තවත් එක් දේශාභිමානී ගීතයක් නොවන බැවිනි. ශ්‍රී ලංකාවේ ජාතික ගීය බලගන්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය අනුව ජාතික ගීයේ පදමාලාව පමණක් නොව සංගීතය ද තුන්වැනි උපලේඛනය අනුව විය යුතුයි. ඒ අනුව ජාතික ගීයේ වචන හෝ සංගීතය හෝ වෙනස් කළ නොහැකිය.
එසේ නම් උමාරා සිංහවංශ දැන හෝ නොදැන සිදු කර ඇත්තේ වරදකි. කෙසේවෙතත් ඇය මේ හා සම්බන්ධ ප්‍රකාශයක් සිදු කර තිබේ. උච්චාරණය සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයක් තමන්ටද නිරීක්ෂණය වූ බව ඇය එහි සඳහන් කර තිබුණි. 
“ජාතික ගීය විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයේ වෙනම අර්ථකථනයක් සැපයීමට මා අදහස් කළේ නැත. මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත්වූ, සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනකුගෙන් මම හෘදයාංගමව සහ අවංකවම සමාව අයැදිමි."

කෙසේවෙතත් මීළඟට මතුවන්නේ උමාරා සිංහවංශගේ ගායන විලාසය සම්බන්ධ ගැටලුවයි. ඇය ජාතික ගීය ගයා ඇත්තේ ඔපෙරා ශෛලියකිනි. බොහෝ රටවල ජාතික ගීය මෙම ශෛලියෙන් ගැයෙන අයුරු අප අසා තිබේ. ඇතැම්විට උමාරා මෙම ශෛලිය තෝරාගැනීමට හේතුව එය වූවා විය හැකිය. කෙසේවෙතත් එම ශෛලිය පිළිබඳව ද බොහෝ දෙනකු තුළ විවේචන පවතී. එහෙත් ශෛලිය ප්‍රශ්නගත නොකළ යුතුය යන අදහස ද ඇතැමුන් ඉදිරිපත් කර තිබේ.

ඒ කෙසේවෙතත් මෙය හා සම්බන්ධව නිර්මාණය වූ කැළඹිලි සහගත තත්ත්වය නිසාවෙන් මේ පිළිබඳ විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතාට දැනුම් දී තිබුණි. ඒ අනුව පසුගිය බදාදා ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබුණි.

දැනගැනීමට ලැබෙන පරිදි අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් සිදු කළ දැනුම්දීමට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයකු විසින් මෙම විමර්ශන කටයුතු මෙහෙයවන බව කියැවේ.

මෙම විමර්ශන හරහා උමාරා සිංහවංශ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු කර තිබේද, යන්න සම්බන්ධයෙන් මූලිකව සොයා බැලෙයි. එම විමර්ශනයෙන් අනතුරුව අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඉන් අනතුරුව නීතිපති උපදෙස් ලබාගැනීම සිදුවනු ඇත. ඉදිරියේදී විමර්ශන නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද මේ හා සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

ජාතික ගීයට සිදු කළ වෙනස්කම්

ශ්‍රී ලංකාවේ ජාතික ගීය හේතුවෙන් ආන්දෝලනයක් ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල ජාතික ගීය හේතුවෙන් ආන්දෝලනයක් සිදුවිය. මීට වසර කිහිපයකට පෙර නිදහස් දින සැමරුමේදී දමිළ බසින් ජාතික ගීතය ගායනා කිරීම ඒ තුළ විශාල සමාජ සංවාදයක් හටගත් බව අපට මතකය. එම සිදුවීම දේශපාලන වේදිකාවල පවා ප්‍රධාන මාතෘකාවක් විය.

ජාතියක් ලෙස අප නිදහස ලබන මොහොතේ 1948 දී ගයා ඇත්තේ වර්තමාන ජාතික ගීය නොවේ.  මුල්ම නිදහස් උත්සවයේදී  ගායනා කර ඇත්තේ "ශ්‍රී ලංකා මාතා.. පාලා යස මහිමා" යන ගීතයි. එහි රචකයා වී ඇත්තේ පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමිය. ලයනල් එදිරිසිංහ මෙම ගීතය සංගීතවත් කර තිබේ. එහෙත් ලයනල් එදිරිසිංහ මහතා ජාතික ගීය තේරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයකු වීම හේතුවෙන් පළමු ජාතික ගීය සම්බන්ධව විශාල විවේචනයක් එල්ල වූ බව කියැවේ.
ඒ අනුව 1949 වසරේ දෙවැනි නිදහස් දින සැමරුම් උත්සවයේදී ආනන්ද සමරකෝන් විසින් නිර්මාණය කරන ලද "නමෝ නමෝ මාතා" ගීතය ජාතික ගීය ලෙස ගායනා කර ඇත. අනතුරුව 1950 අප්‍රේල් මාසයේ එවකට මුදල් අමාත්‍ය ධූරය දැරෑ ජේ.ආර්. ජයවර්ධන විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින්, 1951 නොවැම්බර් 22 සිට "නමෝ නමෝ මාතා" ගීතය නිල වශයෙන් ජාතික ගීය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

පසුව මෙම ගීතය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නිර්මාණය වූයේ විකාරරෑපී අදහසකි. නිදහසින් පසු ඩී.ඇස්. සේනානායකගේ මරණය, 1960 ඩඩ්ලිගේ රජය රාජාසන කතාවේදී බිඳවැටීම සහ 1959 දී සිදුවූ බණ්ඩාරනායක ඝාතනය යන සියල්ලට හේතුව ජාතික ගීය ‘’න’’ අක්ෂරයෙන් ආරම්භ වීම බව පිරිසක් පවසා තිබීමෙන් ඒ තත්ත්වය උදා විය.

එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ද එම පිරිස මේ පිළිබඳ අදහස් දුන් බව අසන්නට ලැබේ. ඒ අනුව ජාතික ගීයේ ගණ පිහිටුවීම නිවැරදි කිරීමට විශේෂඥයන්ට භාර වී තිබේ.  ඒ අනුව ‘’නමෝ.. නමෝ.. මාතා..’ යන්න ‘’ශ්‍රී ලංකා මාතා..’ ලෙස වර්ෂ 1962 දී වෙනස් කිරීමට ලක් රජය කටයුතු කර ඇත. ඒ පිළිබඳව ආරම්භයේ සිට ආනන්ද සමරකෝන් මහතා සිය මරණය තෙක්ම කනගාටු වූ බව වාර්තා වේ. සමරකෝන් මහතා මෙම ගීතය තමා නිවැරදිව ලියූ බව පසු අවස්ථාවලදී ද තහවුරු කළ බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරයි.

I චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02