ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැඟෙනහිර සංවර්ධන සැලසුම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා පක්ෂ නායකයන් දැනුම්වත් කිරීම සඳහාය. මෙහිදී පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා දැනටත් පළාත් සභාවලට අයත් විය යුතු විෂයයන් මධ්‍යම ආණ්ඩුව සතුව ඇති බව පෙන්වා දුන්නේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එම ධූරය දරන අතර පළාත් සභා මන්ත්‍රී ධූරයක් දැරීමටත්, පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමටත් හැකිවන ලෙස නව නීති සම්පාදනය කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවද, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීරණයක් ගතයුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවේදී ප්‍රකාශ කළේය.
''මේ වනවිට යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා මන්ත්‍රීකම තියාගෙන පළාත් සභාවටත් තරග කිරීමට අවස්ථාවක් දෙන ලෙසට. පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය නම් පළාත්. සභාවේ මන්ත්‍රීකම තියාගෙන පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඉස්සර අපේ පාර්ලිමේන්තුවේ වී.ඒ. සුගතදාස මහතා හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම කොළඹ නගරාධිපති. එන්.එම්. පෙරේරා මැතිතුමාත් කොළඹ නගරාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී. ඊ.එල්. සේනානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහනුවර නගරාධිපති. මේ අයිතිය යළි ලබා දිය යුතුයි. කෙසේ හෝ මේ ගැටලුව අප විසින් විසඳිය යුතුයි.'' යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්හට පළාත් සභාවේ මැති ඇමැතිකම් දැරීමටත්, පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම් කිරීමටත් අවස්ථාව සලසා දිය යුතු බවට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාව කොතෙක් දුරකට ප්‍රායෝගික වන්නේද යන්න පිළිබඳව අප විමසා සිටියේ රාජ්‍යතාන්ත්‍රිකයකු හා ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙනි. ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ මතය කිසිදු පක්ෂයක් විසින් පිළිගෙන නොමැති බවටය.
''සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කිසිවක් එයට සහභාගී වූ පක්ෂ පිළිගත්තෙත් නැහැ. එම පක්ෂවල එකම ඉල්ලීම වූ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයා පිළිගත්තෙත් නැහැ. එම සමුළුව විසඳුමක් නැතිවම අවසන් වුණා. සමුළුවේදී ජනාධිපතිවරයා විවිධ අදහස් ඉදිරිපත් කළා. ඔහු පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට පළාත් සභාවේ මැති ඇමැතිකම් දැරීමටත්, පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම් කිරීමටත් අවස්ථාව සලසා දිය යුතු බවට වන යෝජනාවත් එයින් එකක්. එවැන්නක් සිදු වන්නට නම් ප්‍රථමයෙන්ම පළාත් සභා පැවැත්විය යුතුයි. පළාත් සභා වසර ගණනක් පුරා අක්‍රිය වෙලා තියෙන්නේ. මැතිවරණයකින් තෝරා පත්කරගත් පළාත් සභා සහ පළාත් පාලන සභිකයන් නොමැති අවස්ථාවක මෙවැනි යෝජනා ගෙන ඒම හාස්‍යජනකයි. සංකල්පයක් වශයෙනුත් මෙම යෝජනාව විහිළුවක්. පළාත් සභාව යනු කිසියම් පළාතක කටයුතු පවත්වාගෙන යාම සඳහා එම පළාතේ ජනතාව ඡන්දයෙන් පත්කරගන්නා පිරිසකගෙන් සැදුම් ලත් ආයතනයක්. පාර්ලිමේන්තුව යනු සමස්ථ රටේම නීති සම්පාදනය සහ මුදල් පාලනය සඳහා ඇති ආයතනයක්. ජනතාව මේවාට සභිකයන් පත්කර ගන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයෙන් යුතුවයි. ඡන්ද දායකයා තම ඡන්දය ප්‍රකාශ කරන විට ඒ ඒ ආයතන සඳහා තමන් බලයට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සිතා බලනවා. එකම පුද්ගලයා ආයතන දෙකකට යැවිය යුතුයි කියා ජනතාව තීරණය කරන්නේ නැහැ. පළාත් සභා පිහිටවූයේ 1987. අතීතයේ නගර සභාවලයි පාර්ලිමේන්තුවෙයි දෙකේම වැඩ කළා කියලා ආයෙත් ඒ ක්‍රමය පළාත් සභාවල ක්‍රියාත්මක කිරීම සුදුසු වැඩපිළිවෙළක් නෙමෙයි. එදා එම සාකච්ඡාවේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තමාගේ ශිෂ්‍යයකුව සිටි ජනාධිපතිවරයාට පැහැදිලිවම පෙන්වා දුන්නා බලතල පවරන්නේ කාටද, බලතල පවරන්නේ කුමකටද යන්න හා බලය පැවරීම යන්නෙහි තේරුම කුමක්ද කියලා. මහජනතාව බලතල පවරන්නේ කිසියම් පළාතක් නියෝජනය කිරීමට තම ඡන්දයෙන් පත් කරගන්නා නියෝජිතයන්ටයි. එවන් නියෝජිතයන් නොමැති තැන පළාත් සභාවක් නැහැ. පළාත් සභාවක් නැති තැන පළාත් සභාව ගැන කතා කිරීමේ තේරුමක් නැතැයි මහචාර්යවරයා පෙන්වා දුන්නා. එයට ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. කොහොම වුණත් ජනාධිපතිවරයා යෝජනා කළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙයි පළාත් සභාවෙයි දෙකේම කටයුතු කිරීමට හැකිවන ලෙස නීති ගෙන ඒම තුළින් සිදුවන්නේ දැනට පවතින තත්ත්වයටත් වඩා විකාර රෑපී තත්ත්වයක් නිර්මාණය වීමයි.'' යනුවෙන් සඳහන් කළේය.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මැතිඇමැතිවරන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් ජනතාවට කිසිදු සේවයක් ඉටු නොවන බව සමාජයේ වැඩි පිරිසකගේ මතය වී තිබේ. පසුගිය කාලයේ 225ම එපා යනුවෙන් ජනතාව හඬ නැඟුවේ ඔවුන් කෙරෙහි ඇති කළකිරීම හේතුවෙනි. පවත්නා දේශපාලනය තුළ ඇති දූෂණය, වංචාව, හොරකම නතර කිරීමට කිසිදු ආණ්ඩුවක් පියවර නොගන්නා බවටද ඔවුහු චෝදනා කරති. එවන් වාතාවරණයක් තුළ මන්ත්‍රීවරුන්ට ආයතන දෙකක කටයුතු කිරීමට බලතල ලබාදීම නරින්ට කුකුළු කොටු පවරා දීම වැනි ක්‍රියාවක් බව පොදු ජනයාගේ මතය වී තිබේ. එවැනි ක්‍රියා මගින් තවදුරටත් වංචාව, දූෂණය හා සොරකම වැඩිවිය හැකි බවට සාමාන්‍ය ජනයාගේ අදහසයි.
ත්‍රිරෝද රථ රියදුරකු වන ජයතිලක මහතා පැවසුවේ එලෙස ආයතන දෙකක කටයුතු කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීමෙන් සිදුවන්නේ ජනතාවගේ මුදල් තවත් කොල්ලකන්නට අවස්ථාව සලසා දීමක් බවටය. ඉන්දියාවේ අවශ්‍යතාව මත ඇති කරගත් පළාත් සභා කුඩා රටක් වන ලංකාවට අනවශ්‍ය බවත්, පවත්තා පළාත් පාළන ආයතන මගින් පළාත් සභාවකින් සිදුකරන කටයුතු සිදුකළ හැකිව තිබියදී රටට කිසිදු ප්‍රතිළුලයක් අත්කර නොදෙන පළාත් සභා මුදල් නාස්තියක් බවත් සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා පෙන්වා දෙන්නේ පවත්නා ව්‍යුහය සහමුලින්ම වෙනස් කිරීමකින් තොරව මේ කිසිදු යෝජනාවක් සාර්ථක නොවන අතර ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති මේ යෝජනාව අසාර්ථක, අවිද්‍යාත්මක යෝජනාවක් ලෙසටය.
''ජනාධිපතිවරයා විවිධ සමුළු පවත්වන්නේ, අන්තර් යෝජනා ගෙන එන්නේ මේ වන විට කල් දමා ඇති නිශ්චිතව පැවැත්විය යුතු මැතිවරණ පිළිබඳව අමතක කරවීමේ ප්‍රයත්නයක් ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට පළාත් සභාවේ මැති ඇමැතිකම් දැරීමටත්, පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම් කිරීමටත් අවස්ථාව සලසා දිය යුතු බවට වන යෝජනාවත් එවැනි එකක්. ඇතැම් පුද්ගලයන් පාර්ලිමේන්තුවේත් නගර සභාවේත් එකට කටයුතු කළ බව ජනාධිපතිවරයා කියනවා. අතීත උදාහරණ හෝ අතීත කාමය අදට ගැලපෙන්නේ නැහැ. අප අනුගමනය කළ යුත්තේ නූතන ලෝකයට ගැලපෙන රාජ්‍ය ප්‍රතිපත්තියක්. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන සහ විධායක ජනාධිපති යන දැනට ඇති ව්‍යුහය තුළ වඩාත් ගැලපෙන ව්‍යුහය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දීමයි. දෙවනුව පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත්පාලන ආයතනවල ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීමයි. එමෙන්ම ග්‍රාම නිලධාරී වසම් ශක්තිමත් කළ යුතුයි. මේ වන විට රාජ්‍යකරණ ප්‍රතිපත්තිවල පවතින්නේ නිවැරදි කළ නොහැකි මට්ටමේ වියවුලක්. දේශපාලන පක්ෂ මෙය මජර ක්‍රමයක් බවට පත් කරගෙන තිබෙනවා.
ප්‍රථමයෙන් කළ යුත්තේ පාලන ව්‍යුහය තුළ ඇති දූෂණය, වංචාව සහ නාස්තිය නැති කිරීමට පියවර ගැනීමයි. ජනාධිපතිවරයා කියන පරිදි මන්ත්‍රී හුවමාරුව තුළින් තවත් අවුල් ජාලයක් නිර්මාණය වෙනවා. මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම තුළින් මැතිවරණ හැකිතාක් කල් දැමීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා. ඒ නිසා සමාජයක් විදිහට මෙවැනි යෝජනා සම්බන්ධයෙන් ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු වන අතර කඩිනමින් මැතිවරණ පැවැත්වීමට බලකළ යුතුයි. පළාත් පාලනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. පළාත් සභා ජනතාව හඳුන්වන්නේ සුදු අලියෙකු ලෙසයි. ලංකාවේ බලය බෙදා හැරිය බව පැවසුවාට පරිපාලනය විමධ්‍යගත කිරීමක් විනා බලය බෙදාහැරීමක් සිදු වෙලා නැහැ. මේ ව්‍යුහය සහමුලින්ම වෙනස් කිරීමකින් තොරව මේ කිසිදු යෝජනාවක්වත් සාර්ථක වන්නේ නැහැ. මේ යෝජනාව අසාර්ථක, අවිද්‍යාත්මක යෝජනාවක් ලෙසයි මා දකින්නේ'' යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා