කොට්ට පොල් අතින් මිරිකා කිරිගත් ලෙව්කේ දිසාව ජීවත් වූ ලෙව්කේ පරපුරේ වලව්ව සොයා අපි මාවනැල්ලෙන් හැරී ගමන් කරමින් සිටියෙමු. මාවනැල්ලෙන් උස්සාපිටිය තෙක් කිලෝමීටර් 4.5ක් ගොස් ගලතර මාර්ගයේ පැමිණ සුදුගල හන්දියෙන් හැරී, කිලෝමීටර් දෙකක් පමණ පටු මාවතක ගමන් කිරීමෙන් ලෙව්කේ ගමේ පිහිටි වලව් බිමට පිවිසිය හැකියි. ලෙව්කේවරුන්ගේ වලව්ව පසුකාලීනව විනාශ වී ඇති අතර අද ලෙව්කේ වර්තමානිකයන් වාසය කරන්නේ එම ස්ථානයේ තැනූ අලුත් නිවෙසකයි. නමුත් ලෙව්කේ ගමේ මෙන්ම හතර කෝරළය පුරාත් ලෙව්කේ පරපුරේ විස්මිත ක්‍රියා ගැන ජනප්‍රවාද පැතිර තිබේ.
පළමුවැනි ලෙව්කේ හෙවත් ලෙව්කේ විජේසුන්දර රාජකරුණා හේරත් මුදියන්සේ වැලිවිට ශ්‍රී සරණංකර ඝංඝරාජ හිමියන් තරුණ සාමණේර භික්ෂුවක ලෙස සිටි අවස්ථාවේ, උන්වහන්සේට පාලි ව්‍යාකරණ ඉගැන්වූ බව සංඝරාජ සාධු චරියාවේ සඳහන් වේ. අධ්‍යාපනය පිරිහී පැවති එකල පාලි භාෂාව දැන සිටි කිහිපදෙනා අතරින් එක් අයකු ලෙස ලෙව්කේ ප්‍රකටව සිටියේය. ඔහු කලක් පැවිදිව සිටි හෙයින් ‘‘විහාරයේ රාලහාමි” නමින් ද හඳුන්වා තිබේ. ලෙව්කේ විවාහ වී සිටියේ තුන් කෝරළයේ හා සතර කෝරළයේ දිසාව වූ ඒදඬුවාව දිසාවගේ දියණියක සමඟින් බව ජනප්‍රවාදයේ පැවසේ. ලෙව්කේ රාලහාමි කලක් සිරගතව සිටි හෙයින් ශ්‍රී විජය රාජසිංහ රජුගේ මුල් සමයේ එම පවුල පිරිහීමට ලක්ව තිබේ. පසුව ලෙව්කේ ශ්‍රී විජය රාජසිංහ රජුගේ විශ්වාසය දිනාගත් නිසා 1744 දී ඔහුට රජු ගම්බිම් ප්‍රදානය කළ බව ලෙව්කේ සන්නසේ සඳහන්ය.
වලව් බිම පිහිටියේ කඳු අතර තැනිතලාවක වෙල් යායකට මායිම් වෙමින් පිහිටි සුන්දර බිම්කඩකය. වලව්වට යාබදව ඉඩමේ උස් තැනක වලව්වේ පන්සල ඇත. එය කුඩා ටැම්පිට විහාරයකි. 18 වැනි ශත වර්ෂයේ පටන් පැවති පැරණි වලව්ව වෙනුවට එම බිමේම ලෙව්කේ පරපුරේ ඥාතීන් පසුකාලීනව තැනූ නූතන නිවෙස පිහිටා තිබේ. වලව්ව තුළ ලෙව්කේ පරපුරේ පැරණි කීප දෙනකුගේ ඡායාරෑප දැකගත හැකියි. පැරණි වලව්වේ පැවති විශාල දොර උළුවස්සක් හා දොරක් නූතන වලව්වට සවි කර තිබෙන්නේ අතීතය යළිත් මතකයට නංවමිනි.
පුරාණයේ පැවති විශාල වලව් ඉඩමෙන් අද ඉතිරිව ඇත්තේ අක්කර 2 පර්චස් 20ක ප්‍රමාණයක් පමණි. මෙම වලව්ව දිරාපත් වෙමින් පැවති ආකාරය ගැන 1892 කෑගල්ල පුරාවිද්‍යා වාර්තාවේ එච්.සී.පී. බෙල් සටහන් කර තිබේ:
''දිස්ත්‍රික්කයේ පැරණිම වලව්ව ලෙස සැලකිය හැකි ගොඩනැගිල්ල ලෙව්කේ ගමේ විද්‍යමාන වේ. 18 වැනි සියවසේ උඩරට ප්‍රධානින් වාසය කළ භවනයක ස්වරෑපය මෙය ප්‍රදර්ශනය කරයි. අභාග්‍යසම්පන්න අන්තිම දිසාවේගෙන් පැවතගෙන එන්නන්ට බලපෑ අතිමහත් අවහිරකම් මත මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ නොහැකි වූ වලව්වේ ගොඩනැගිලි පේළියක පැත්තක් කඩා බිඳ දමා ඇත. දැනට මෙහි වාසය කරන දිසාවේගේ මිණිපිරිය වූ මියගිය කෝරාළගේ බිරින්දෑ හා වයස අවුරුදු 9-10ක් පමණ වූ ඇගේ පුතා ද පැරණි වලව්ව මුළුමනින්ම අත්හැර දැමීමේ අරමුණින් පසුවෙති.''
1886 දී වලව්වට යන එෆ්.එස්. ප්‍රයිස් නම් ඉංග්‍රීසි ජාතිකයා තම දිනපොතේ මෙසේ සටහන් කර තිබේ: ‘‘ඉහළ ගගොඩ බණ්ඩා සමඟ ලෙව්කේට ලෙව්කේ වලව්වේ වාසය කිරීමට එය හිමිවූයේ ඔහුගේ වැඩිමහල් සහෝදරයාගෙනි. මේ වැඩිමහලු සහෝදරයා වූ කලී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 1803 දී වක්ඔයේදි හිස ගසා මරා දමන ලද සතර කෝරළේ ලෙව්කේ දිසාවගේ බෑණාය. මට සංග්‍රහ කළ තැනැත්තා මේ දේපලවල වසර 15ක් ජීවත් විය. ඔහු කලකට පෙර ගන්නෑ පත්තුවේ කෝරාළ ද විය. (එච්.සී.පී. බෙල් - කෑගල්ල පුරාවිද්‍යා වාර්තාව, 1892)
තනි කඳකින් කපාගන්නා ලද අති විශාල දොරවල් සහ දලදඬු පරාල යත්ත හා කියත නොතිබූ අවදිය සිහිපත් කරයි. මඩුව තනා තිබූ එක් ලීයක් වූ අඩි 30ක් දිග බාල්කය අසල දොළ තරණය කිරීම සදහා ඒදණ්ඩක් මෙන් ප්‍රයෝජනයට ගැනිණි යයි ද එච්.සී.පී. බෙල් සඳහන් කර තිබේ.
ලෙව්කේ පරපුරේ අවසන් දිසාවේ වුණේ දෙවැනි ලෙව්කේ හෙවත් රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේයි. දෙවැනි ලෙව්කේ I වැනි ලෙව්කේ දිසාවගේ පුත්‍රයායි. ඔහු ලෙව්කේ රාල ලෙස ද හඳුන්වා තිබේ. ඔහුගේ සම්පූර්ණ නම වුණේ ලෙව්කේ විජයවර්ධන රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේය.
කුඩා කල පටන් අවි ශිල්පයට දස්කම් දැක්වූ දෙවැනි ලෙව්කේ තරුණ වියේ පටන්ම රාජ්‍ය සේවයට කැපවුණු කෙනෙකි. දෙවැනි ලෙව්කේ මුදියන්සේ සවිමත් සිරුරකින් යුතු කඩවසම් පුද්ගලයකු ලෙස ජනප්‍රවාදවල පැවසේ. බුදුදහමට මෙන්ම නැටුම් කලාවටත් උනන්දුවක් දැක්වූ ඔහු මල්ලවපොර, අංගම්, කඩු, ගුස්ති දැන සිටි කෙනෙකි. මහ මළුවේ පැවති මල්ලවපොර සඳහා පැමිණි ලෙව්කේ රාල පසුව කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ රජවරුන්ට සේවය කර තිබේ. දඹදිව සිට පැමිණි මල්ලවපොර ශූරයකු සමඟ සටන් කිරීමට පෙරම ශරීර ශක්තියෙන් කොට්ට පොල් ගෙඩියක් අතින් පොඩිකර පොල් කිරි ගෙන ඔහු බිය පත් කළ බවට කතාවක් ජනප්‍රවාදයේ එයි.
ජනප්‍රවාදයේ සඳහන් අයුරින් වලව්වට නුදුරුව පිහිටි දනකිරිගල ලෙන් විහාරයේ ගල් පියගැට පෙළ ඉදි කර ඇත්තේ ලෙව්කේ පරපුරට අයත් කීර්තිමත් පුද්ගලයකු වූ පළමුවැනි ලෙව්කේ දිසාව වුණු විජයසුන්දර දිසාව (1740-1751) යි. ඔහු දිනපතා මාඔයෙන් ස්නානය කර පැමිණෙන අතර, ගල් පුවරුව බැගින් රැගෙන පැමිණ පඩිපෙළ තැනූ බව ජනප්‍රවාදවල පැවසේ. පව්ව ඉහළට යන තෙක් කළුගල් අල්ලා තැනූ පියගැට 367ක් එහි පිහිටා තිබේ.
1751 දී ඔහු කොළඹ ගොස් ආපසු එන අතරතුර මරණයට පත්වුණු බව සඳහන්ය. ඔහු 1751 පෙබරවාරි 20 වැනි දිනට පෙර මිය ගිය බව ලන්දේසි වාර්තාවලින් පෙනී යන කරුණකි. පළමුවැනි ලෙව්කේ රාජ සේවයට කැපවූ යුගය වුණු 1730-1751 කාලය ගැන ඉතිහාසයෙහි මෙන්ම, ලන්දේසි මූලාශ්‍රයන්හිත් විස්තර වේ. ඒ කාලයේ ශ්‍රී විජය රාජසිංහ රජුට සහ පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුටත් කෙටි කලක් ඔහු සේවය කළ බව පෙනේ.
ලෙව්කේ දිසාව බුදුදහමට විශාල බැතියක් දැක්වූ අතර පැරණි පන්සල් කීපයක් ප්‍රතිසංස්කරණය කර තිබේ. යටදොළ පහළ ලෙන් විහාරය, ලැන්දුරුමුල්ල ලෙන් විහාරය, දනකිරිගල ලෙන් විහාරය, රඹුක්කන කැලෑ දඹුල්ල විහාරය ඒවාය.
කැලෑ දඹුල්ලේ ලෙන් විහාරය, ගලිගමුව නවගමුව විහාරය වගේම වලව්ව සමීපයේ ටැම්පිට පිළිම ගෙයි ද දෙවැනි ලෙව්කේගේ රුව සිතුවම් කර තිබෙන අතර දනකිරිගල විහාරයේ ලෙව්කේ දිසාවගේ අඩි 8ක් උස මූර්තියක් දැකගත හැකියි. මුලින් රටේ මහත්මයා තනතුරට පත් කළ දෙවැනි ලෙව්කේ කෙමෙන් රාජ ප්‍රසාදය දිනාගෙන හතර කෝරළේ දිසාව පදවිය දක්වා ඉහළට ගියේය. ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ ඉංග්‍රීසින් කන්ද උඩරට ආක්‍රමණය කිරීමේදී ලෙව්කේ දිසාව ඔවුන්ට එරෙහිව රණ ශූරත්වයෙන් සටන් කළ අතර ඉන්පසු ඔහු උඩරට හමුදාවේ සේනාධිපති තනතුරට ද පත් කර තිබේ.
හංවැල්ලේ ඉංග්‍රීසි කොටුවට පහරදීමට 1803 සැප්තැම්බරයේ සිංහල සේනාව ගිය අවස්ථාවේ කොටුව ජය ගැනීම ඉතා පහසු යයි ශ්‍රී වික්‍රම රාජසිංහට ඔහු පවසා ඇති අතර සටන්බිමේ සිටි රජුට තවත් කිසිවකු කේලම් කියා තිබුණේ ලෙව්කේ සටන් කරනු වෙනුවට වෙල්යායකට වී කුරුම්බා කමින් සිටින බවයි. ලෙව්කේ විවේක ගනිමින් සිටීම ගැන වැරදියට සිතූ රජු ඔහුගේ ගෙල කපා මරා දැමීමට අණ කර තිබේ.
ඒ අනුව හංවැල්ලට නුදුරු වක්ඔය කොටුවැල්ලේ වෙල්යායක දී ඔහුගේ හිස ගසා දැමිණි. 1803 සැප්තැම්බර් 6 වැනි දින එසේ ඔහු මරණයට පත්ව තිබේ. රජුගේ හදිසි කෝපය නිසා නිකරුණේ මැරුම් කෑ ලෙව්කේ දිසාව සිහිපත් කිරීමට පසුකාලීනව තැනූ කුඩා ස්මාරකයක් හංවැල්ල කලුඅග්ගල හයිලෙවල් පාර අද්දර දැකගත හැකිය.
ටැම්පිට විහාරය
වලව්ව පසෙක පිහිටි කුඩා ටැම්පිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සංරක්ෂණය කර තිබෙන පුදබිමකි. එය ලෙව්කේ දිසාවගේ පෞද්ගලික විහාරය වශයෙන් පැවති අතර අඩි 2ක් පමණ වූ ගල්කණු 17ක් මත විහාරය ඉදිකර තිබේ. පිළිමගෙය තුළ කුඩා මකර තොරණක් සහිත බුදු පිළිමයක් සහිත දැව කැටයමක් ඇති අතර දැන් එහි බුදු පිළිමය නැත. ලෙව්කේ දිසාවගේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සිතුවම් ද මෙහි ඇඳ තිබේ. විහාරයේ පියස්ස දරා සිටින්නේ දැව කුලුනු 14ක් මතයි. එම කුලුනුවල හේරුණ්ඩ පක්ෂියා, හංසයා ඇතුළු කැටයම් දැකගත හැකිය. විහාරය ඉදිරිපස අවුරුදු සිය ගණනක් පැරණි බෝධි වෘක්ෂයක් ද දැකගත හැකියි.
සේයාරුව - අන්තර්ජාලයෙනි
I කුසුම්සිරි විජයවර්ධන