2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

අයි.එම්.එෆ් දෙක ලැබෙනතුරු ගණන් හැදීම

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලැබීමට නියමිත ණය වාරිකයේ දෙවැනි කොටස ලබන සැප්තැම්බර් මාසයේදී ලැබීමට නියමිතය. මෙම වාරිකය අනුමත කිරීමට පෙර පවත්වන පළමුවන ප්‍රගති සමාලෝචන රැස්වීම සැප්තැම්බර් මුල් සතියේදී පැවැත්වීමට අපේක්ෂිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ මුළු ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9කි. එය ලැබෙනුයේ වාරික අටකින් වන අතර වාරිකයෙන් වාරිකයට කෙරෙන සමීක්ෂණයකින් අනතුරුව මුදල් නිකුත් කිරීම සිදුවේ. මූල්‍ය අරමුදල මුලදීම ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් කර එය පියවරෙන් පියවර නිම කිරීමට උපදෙස් දෙයි. අදාළ මාස හය තුළ නියමිත ඉලක්කවලට ළඟා නොවුණහොත් ඊළඟ වාරිකය ගෙවීම ප්‍රමාද කෙරේ. පළමු වාරිකය සඳහා අපට ලැබුණු මුදල ඩොලර් මිලියන 333කි.

ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් දෙවැනි වාරිකය පිළිබඳ දක්වන පුරෝකතන අනුව ලබන මාසයේ ගෙවීමට නියමිත මුදල නිදහස් කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි දැනගන්නට තිබේ. එයට හේතුව නිර්දේශිත ඉලක්කවලට ළඟාවීමට අපට නොහැකි වීමය. මැයි මාසයේ ඉලක්කය වූයේ සියයට 39ක් නමුදු සපුරා ඇත්තේ සියයට 29කි. එසේම සියයට 55ක් වූ ජූනි මස ඉලක්කයෙන් සපුරා ඇත්තේ සියයට 33 වන අතර ජූලි මස සපුරා ඇති ප්‍රමාණය සියයට 35කි. කෙසේ වුවද සැප්තැම්බර් මස වනවිට ඉලක්ක සියයට 77ක් සම්පූර්ණ කළයුතු නමුදු එය සාර්ථක කරගත හැකිවේද යන්න ගැටලුකාරී බව බොහෝ දෙනෙකුගේ අදහස වෙයි.

විශේෂයෙන් වංචා දූෂණ අවම කිරීම පිළිබඳ මූල්‍ය අරමුදලේ උපදෙස්වල විශේෂයෙන් දක්වා තිබුණද දූෂණ විරෝධී පනත සම්මත කිරීම හැරුණු විට ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේතාක් ක්‍රියාත්මක වී නැත. වංචා දූෂණ අවම කිරීම ඉහළ සිට පහළට ගමන් කළ යුතු නමුත් හාල්මැස්සන් කොටුකර ගැනීම හැරුණු විට තල්මසුන් අල්ලා ගැනීමට අපොහොසත් වී ඇති බවට රජයට චෝදනා එල්ල වේ. එයට හේතුව වන්නේ මහා පරිමාණ වංචා දූෂණවලට ඇතැම් බලවත් දේශපාලනඥයන් සම්බන්ධ වීම බව දැනගන්නට තිබේ.

2022 වසර සඳහා වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට රාජ්‍ය ව්‍යවසායන් 52ක් සමත් වී නොමැති අතර ඇතැම් ආයතන වසර 5ක පමණ කාලයක් එවැනි වාර්තා ඉදිරිපත් නොකර ඇති බවද සැලවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභදායී තත්ත්වයට පත් කළ යුතු වුවද රජය ඒ පිළිබඳ උත්සාහයක් නොගෙන ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කටයුතු කරමින් සිටී. මෙම අලාභ ලබන ආයතන සමඟ ලාභ ලබන ආයතනද ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජයෙන් පෞද්ගලිකරණයට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බවටද චෝදනා එල්ල වෙයි. මෙය මූල්‍ය අරමුදලේ උපදෙස්වලට පටහැනිව යාමකි.

අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලබාගැනීම සඳහා දින 400ක් ගතවූ නමුත් බංගලිදේශය වැනි රටවල් මසක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රථම වාරිකය ලබා ගැනීමට සමත්ව සිටී. ඒ අනුව අපට දෙවැනි වාරිකය අනුමත කරවා ගැනීමට සෑහෙන පරිශ්‍රමයක් ගත යුතුව තිබේ.

මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන යෝජනාවල ප්‍රධාන එකක් වන්නේ රටේ පවතින ආර්ථික හා දේශපාලන ක්‍රමය වෙනස් කළයුතු බවය. ඒ තුළින් මෙතෙක් කරගෙන ආ ණය මත යැපීමේ ක්‍රමය වෙනස් විය යුතු අතර, ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්විය යුතු බවටද යෝජනා වී තිබේ. මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරඹා ඇති නමුත් විදේශ ණය පිළිබඳ තවම අතවත් තබා නැති සැටියකි. රටට විශාල ලෙස ණය ලබාදී ඇති චීනය වැනි රටවල් තවමත් මේ පිළිබඳ යහපත් ආකල්පයක් දක්වා නැත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් මේ වනවිට ව්‍යාකූල තත්ත්වයක් උද්ගතව ඇත. දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා දූෂණ විරෝධී පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති නමුත් ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති බවක් දක්නට නැත.

අයවැය හිඟය පාලනය කිරීම පිළිබඳවද මූල්‍ය අරමුදල විශේෂයෙන් යෝජනාකර ඇති අතර එහිදී රටේ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන අයුරු පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි කර ගතයුතු බවටද උපදෙස් දී තිබේ. දේශපාලනයෙන් හා විධායක අතපෙවීම්වලින් තොරව මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවිය යුතු අතර ඒ සඳහා මහ බැංකුව මුළුමනින්ම ස්වාධීන විය යුතු බවට උපදෙස් දී තිබේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමට පනතක් පාර්ලිමේන්තුවේ අනුමත කරවාගෙන ඇති නමුත් මේ වනවිට මහ බැංකුව ක්‍රියාකරගෙන යන අන්දම ගැන සැලකීමේදී අදෘශ්‍යමාන දේශපාලන හස්තයන් ඒ තුළ ක්‍රියාත්මක වන බව මහ බැංකු අධිපති විටින් විට කරන ප්‍රකාශ අනුව පෙනෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

රජය හුදෙක් ක්‍රියාත්මක වන්නේ ඊළඟ ණය වාරිකය ලබාගැනීමේ ක්‍රම සහ විධිවලට ප්‍රමුඛත්වය දීමට බව පෙනෙන්නට ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවලට ණය දීමෙන් බලාපොරොත්තු වන්නේ එම රටවල පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වයේ වෙනසක් කිරීමට නිසා දැනට රජය ගෙනයන ක්‍රියාමාර්ග සහ මූල්‍ය අරමුදලේ පරමාර්ථය අතර ගැටුමක් පවතින බව ඇතැමුන්ගේ අදහසය. මෙම වාතාවරණය අනුව දෙවැනි ණය වාරිකය බලාපොරොත්තු වන දිනයේ ලබාගැනීමට දුෂ්කරවනවාත් හැර ඉදිරි ණයවාරික ලබාගැනීම ගැටලු සහගත වනු ඇතැයි යන්න ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. 

මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙන ප්‍රධාන කාරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් හා කොන්දේසිවලට අප එකඟවන්නට යන්නේ රුපියල් බිලියන 2.9ක් වූ ණය මුදල ලබාගැනීමේ අපේක්ෂාවෙන් පමණක් නම් එයින් රටට හෝ ජනතාවට සිදුවන යහපතක් නොමැති බවය. මෙහිදී මූල්‍ය අරමුදලට එකඟ වී එම උපදෙස් පිළිපැදීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම ඒකායන අපේක්ෂාව විය යුතු බව ඔහු කියයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසිවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටේ ආර්ථික තත්ත්වය යහපත් කර අනාගතයේදී ණය මත යැපෙන තත්ත්වයක් ඇති නොකිරීම බවයි. ඒවා අනුගමනය කිරීමෙන් රටට යහපතක් මිස අයහපතක් සිදු නොවේ.

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික බලාපොරොත්තුව වන්නේ රටේ ආර්ථිකය යහපත් කිරීමයි. කොන්දේසි හෝ එකඟතාවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එයයි. ණය මුදල ලබාගෙන එම එකඟතාවලට අනුකූලව කටයුතු කර රටේ ආර්ථිකය යහපත් කරගත යුතු වෙනවා. එහෙම නැතිව මේ අඩු පොලියට දෙන ණය ලබාගෙන වෙනදා ණය ගත්තා වගේ එදිනෙදා අවශ්‍යතාවලට වැය කිරීම අරමුදලේ බලාපොරොත්තුව නොවෙයි. ණය යොදාගෙන ආර්ථිකය ගොඩනගා ගැනීමය. මෙම ණය මුදල එකවර නොගෙවා, ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු වාරික වශයෙන් ගෙවන්නේ ඒ නිසයි. නමුත් අපට එහෙම කටයුතු කිරීමේ සැලසුමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ණය ගත්තාට වඩා උනන්දුවක් දක්වන්න ඕනෑ එය වියදම් කරන අන්දම ගැනයි. මෙච්චර කල් අපට වැරදුණෙත් ණය අරගෙන නිසි ආයෝජනයක් නොකර එදිනෙදා වියදම්වලට වැය කිරීම නිසයි. එහිදී සිදුවූයේ ණය ගෙවන්න තවත් ණයක් ගන්න සිදුවීමයි. ඒ නිසා මේ පාරවත් පරෙස්සම් වූවොත් හොඳයි.''

මහාචාර්යවරයා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කෙරෙන්නේ ආර්ථික අර්බුද ඇති රටවලට සහන පොලියට ණය දී එම රටවලට උදව් කිරීමක් බවයි. එසේ ලබාදෙන ණයවලට ලැබෙන පොලිය අරමුදලේ ආදායම වන අතර විශාල මුදලක් ණයට දීම නිසා පොලී ප්‍රතිශතය අඩු වුවත් ලොකු ආදායමක් ලබාගැනීමට හැකිවන බව හෙතෙම පෙන්වා දෙයි.

''මෙහිදී ආණ්ඩුව ප්‍රායෝගික ලෙස කටයුතු කර නැහැ. මෙතැන සිදුව ඇත්තේ අරමුදල සමඟ වූ එකඟතා ඉටු කිරීම පමණයි. අමාරුවෙන් හෝ දෙවැනි වාරිකය ලබාගන්නට පුළුවන් වුණත් එතැනින් එහාට සිදුවන දෙයක් ගැන බලාපොරොත්තු තබාගත නොහැකියි. මෙරටට පැමිණෙන අයි.එම්.එෆ්. නියෝජිතයන් කොළඹ නැවතී සිට ඒ ප්‍රදේශවල සිදුවන කටයුතු තමයි සමීක්ෂණය කරන්නේ නගරයෙන් පිට දුර ප්‍රදේශවලට ගොස් නිරීක්ෂණය කරන හැටියක් දැකගන්න නැහැ. අපේ රටේ මුදල් අමාත්‍යංශයේ සහ අදාළ ආයතනවල නිලධාරීන් කඩදාසි හදන්නේ මූල්‍ය අරමුදලේ නිලධාරීන් සතුටු කිරීම සඳහායි. ඒවා බලලා තමයි තීරණ ගන්නේ. සත්‍ය තත්ත්වය බොහෝදුරට නිරීක්ෂණය කරනවාද යන්න සැකයි. මෙහිදී රටේ යථාර්ථය නිරෑපණය වන්නේ නැහැ. උසස් නිලධාරීන් සහ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා කිරීමෙන් සත්‍ය තත්ත්වය සොයාගන්න බැහැ. මෙයින් රටේ ආර්ථිකයේ දුෂ්කරතා සඳහා ප්‍රතිසංස්කරණ සිදු නොවන බව පැවසිය යුතුයි.''

මහාචාර්යවරයා තවදුරටත් සනාථ කරන්නේ විදේශ ණය ලබාගන්නවා මිස රටේ නිෂ්පාදනයෙන් ප්‍රාග්ධන අතිරික්තයක් බිහිකිරීමට කටයුතු සිදුනොවන බවකි. රටේ ප්‍රාග්ධන අතිරික්තයක් ඇති නම් ණය ගැනීමට අවශ්‍ය නොවෙයි. මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් විදේශ ආයතනවලින් ණය ලබාගැනීම පහසුවෙයි. එහෙත් අවශ්‍ය වන්නේ ණය ලබාගැනීම නොව නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමයි. කොහෙන් ණය ගත්තත්  ඒවා කවදා හෝ ගෙවිය යුතුයි. රජයේ අවධානය මේ පිළිබඳ යොමුකළ යුතු බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ ව්‍යවසායක ආයතන රජය යටතේ තබා ගන්නවාද පෞද්ගලික අංශයේ තබා ගන්නවාද යන්න පිළිබඳ ගැටලුවක් නොමැති බවයි. ''කාට අයිති වුණත් ඒවායින් ලාභ ලබාගැනීම තමා වැදගත්. යම් ආයතනයක් අලාභ ලබමින් රජයට බරක් ලෙස පවතිනවා නම්  ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට නොපමාව කටයුතු කළ යුතුයි. එහෙත් අලාභ ලබන ආයතන සමඟ ලාභ ලබන ආයතනද ප්‍රතිව්‍යුහගත කරන්නට යන්නේ ඇයිද යන්න ගැටලුවක්. ඇතැම් ආයතන ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජනය කිරීමට යාමේදී සේවක හා පරිපාලන ගැටලු හා නීති ප්‍රශ්න උද්ගත වී තිබෙන බව ඔහු කියයි. බ්‍රිතාන්‍යය ඉන්දියාව වැනි රටවල් පෞද්ගලීකරණය කිරීමට කලින් රට තුළ අවශ්‍ය නීතිමය වෙනස්වීම් සිදුකළා. එසේ නොකර හිටිඅඩියේ වෙනස්කම් කිරීමට යාමෙන් විවිධ ගැටලු ඇතිවුණා.''

I  යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02