2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

කැනඩාවේ මැතිසබේට ගිය ගැරි ආනන්දසංගරී!

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දමිළ දේශපාලනඥයකු වන වී. ආනන්දසංගරීගේ පුත්‍රයා වන ගැරි ආනන්දසංගරී කැනඩාවේ ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් සහිත පළමු කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්ව සිටී. එයට අමතරව ගැරී කැනඩාවේ දෙවැනි හින්දු කැබිනට් අමාත්‍යවරයා ද වෙයි. ඒ අනුව ගැරි, අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කරන ලද නව ප්‍රතිසංවිධානයකට අනුව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූ නව අමාත්‍යවරුන් හත්දෙනාගෙන් කෙනෙකි.

ගැරී පළමු දමිළ කැබිනට් අමාත්‍යවරයා වුවද, ඔහු පළමු ශ්‍රී ලාංකික දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොවේ. එම ගෞරවය 2011 දී හිමිවූයේ ශ්‍රී ලංකාවේ උපන් රතීකා සිත්සබේසන්ටය. ඇය 2015 දී කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් Scarborough -Rouge River ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූවාය. එසේම පළමු හින්දු කැබිනට් අමාත්‍යවරිය වන්නේ 2019 දී රාජ්‍ය සේවා සහ ප්‍රසම්පාදන ෆෙඩරල් අමාත්‍යවරිය ලෙස අගමැති ටෘඩෝ විසින් පත් කරන ලද අනිටා ඉන්දිරා ආනන්ද් ය. 

ගැරී ආනන්දසංගරී යනු හිටපු කිළිනොච්චි සහ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දමිළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) හිටපු මහ ලේකම් වීරසිංහම් ආනන්දසංගරීගේ දෙවැනි කසාදයේ බාල පුත්‍රයාය. ඔහුගේ පළමු බිරිඳගෙන් පුතෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටිති. ඇයගේ අභාවයෙන් පසු සංගරී ගැරීගේ මව යෝගම් සමඟ විවාහ විය. ගැරීට මුලින් නම තබා ඇත්තේ සත්‍යසංගරී යනුවෙනි. ඔහු එය පසුව ගැරී ලෙස කෙටි කළේය. 1973 යාපනයේ උපන් සත්‍යසංගරී ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අච්චුවේලි ප්‍රදේශයේය.

ඔහුගේ මාපියන් 1980 දී වෙන් වූ අතර ඔහු සහ ඔහුගේ මව අයර්ලන්තයට සංක්‍රමණය වූහ. 1983 ජූලි මාසයේදී ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබුණි. ඒ වන විට රට තුළ පැවැති තත්ත්වය අනුව සිය සැලසුම් වෙනස් කරමින්, ආනන්දසංගරී සහ ඔහුගේ මව 1983 අගෝස්තු 31 දින කැනඩාවට ගියහ. එතැන් සිට ආනන්දසංගරී තම පියාගෙන් ඈත්ව සිටින අතර 1983 සිට ඔහු මුණගැසී ඇත්තේ දෙවතාවක් පමණි. 

කැනඩාවේ නව ජීවිතයක් සොයා ගිය යෝගම් ‘තනිකඩ මවක්’ ලෙස තම පුතාව ඇතිදැඩි කිරීමට හා උගන්වා ගැනීමට මහත් සේ වෙහෙස මහන්සි වී වැඩ කළාය. ඒ කාලයේදී සත්‍යසංගරී, ගැරී බවට පරිවර්තනය වූ අතර ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තේය. උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු, ගැරී කැනඩාවේ අගනුවර වන ඔටාවා හි කාල්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඔහු කාල්ටන් වෙතින් 1996 හි B.A උපාධිය ලබා ගත්තේය. පසුව දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ද ලද ඔහු යෝර්ක් විශ්වවිද්‍යාලයේ නීති පීඨය වන ඔස්ගුඩ් හෝල් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු 2005 දී එල්එල්බී උපාධිය ලබා ගත්තේය. 1996 සහ 2006 අතර ආනන්දසංගරී ලියාපදිංචි දේපල තැරුව්කරුවෙක් ලෙස දේපල වෙළෙඳාම් කටයුතු කළේය. ඔහු විවාහක වන අතර බයිර්වායි සහ සහනා නමැති දරුවන් දෙදෙනෙක් සිටිති.

පසුව ගැරී ආනන්දසංගරී ව්‍යාපාර, දේපල වෙළෙඳාම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ටොරොන්ටෝ නීති ආයතනයක් වන ගැරී ආනන්දසංගරී සහ ඇසෝසියේට්ස් අරඹා එහි ප්‍රධාන නීතිඥයා ලෙස කටයුතු කළේය. ඔහු කැනඩාවේ ඉහළ නීති සංගමය, කැනේඩියානු නීතිඥ සංගමය, ඔන්ටාරියෝ නීතිඥ සංගමය සහ දකුණු ආසියානු නීතිඥ සංගමය යන ආයතනවල සාමාජිකයෙකි.

ආනන්දසංගරී විවිධ ප්‍රජා කණ්ඩායම්වල සේවය කළේය: කැනේඩියානු දමිළ වාණිජ මණ්ඩලය (සභාපති); කැනේඩියානු දමිළ කොංග්‍රසය (උපදේශක); කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය (සභාපති); ග්‍රේටර් ටොරොන්ටෝ එක්සත් මාර්ගය සඳහා නවක ප්‍රධාන (සාමාජික); ටොරොන්ටෝ වෙළෙඳ මණ්ඩලය (සාමාජික); Toronto City Summit හි නැගී එන නායකයන්ගේ ජාලය (සාමාජික); සහ තරුණ අභියෝග අරමුදල (මණ්ඩල සාමාජික). ඔහු කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය සඳහා වූ සියවස් විද්‍යාල මධ්‍යස්ථානයේ ද දේශන පැවැත්වීය. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී සිරියානු සරණාගතයන් පිළිගැනීම සහ කාල්ටන් විශ්වවිද්‍යාලය සහ ඔටාවා විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ වැඩසටහනක් හේතුවෙන් ආරක්ෂා වූ ඉරාන විද්‍යාඥයකු (ආචාර්ය හොසේන් රේසි) ගැන කතා කරමින් ගැරී ආනන්දසංගරී පාර්ලිමේන්තුවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

ඔහු දෙවැනි එළිසබෙත් රුජිනගේ ස්වර්ණ ජුබිලි පදක්කම සහ දෙවැනි එළිසබෙත් රුජින දියමන්ති ජුබිලි පදක්කම ලබා ඇත. ඔහු සිය සේවය සඳහා TREB සම්මානය සහ හෙන්රි මාෂල් ටෝරි සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.

තරුණ ගැරී වයස අවුරුදු දහයේදී දේශපාලනය සම්බන්ධ ඔහුගේ පළමු රසය ලබා ගත්තේ ඔහුගේ මව, සහ අනෙකුත් ශ්‍රී ලාංකික දෙමළ ජාතික හිතවත් අය සමඟ ඩබ්ලින් නගරයේ පැවැති උද්ඝෝෂණයකට සහභාගී වීමත් සමඟිනි. ඔහු 1983 ජූලි දෙමළ සංහාරය හෙළා දකිමින් පත්‍රිකා බෙදාහරිමින් සහ පුවරු රුගෙන ගියේය. එයින් ඇරුඹි ඔහුගේ දෙමළ හිතවාදී ගමන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව නැගූ  හඬක් බවට පත්වූ අතර ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර කිහිපයකටද සහභාගි විය. මේ හේතුවෙන් ඔහුට කොටි ත්‍රස්තවාදී ලේබලය ද වැදී තිබුණි.

I සුගත්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02