2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

බස්නාහිර බින්න බැහලා උතුර ඉලල්න දේශපාලකයෝ

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නියමිත බලය බෙදාහැරීම ගැන සාකච්ඡා කරන සර්ව පාක්ෂික සමුළුවක් පසුගියදා කැඳවා තිබුණ අතර නිරීක්ෂණ වාර්තා අනුව එය ස්ථිර නිගමනයකින් තොරව අවසන්ව ඇත. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් පළාත් සභා ක‍්‍රමය හඳුන්වා දෙන අතර එම සංශෝධනය කෙරෙහි විශාල විරෝධයක් රට තුළ තිබුණි. 1987 දී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුම පළාත් සභා ක‍්‍රමය නිර්මාණය කළේය. එවකට තියුණු අර්බුදයක් බවට පත්ව තිබුණ උතුරු නැගෙනහිර ප‍්‍රදේශය ත‍්‍රස්තවාදයෙන් ගිනියම් වී තිබුණු අතර කිසියම් රාමුවක් තුළ බලය බෙදාහැර ජනතාවගේ අවශ්‍යතා සාක්ෂාත් කරන ක‍්‍රමවේදයකින් තත්ත්වය පාලනය කළ හැකි වෙතැයි උපකල්පනය කෙරිණ.  

2009 වසරේදී ත‍්‍රස්තවාදය තුරන් කර රට තුළ සාමය ස්ථාපිත කරන ලද නමුත් සාමකාමී වාතාවරණය තුළ අභියෝග වෙනස් මුහුණුවරකින් මතු වී තිබේ. ඉඩම් හා පොලිස් බලය ලබාගැනීම ඇතුළු කරුණු කිහිපයක් ගැන රට තුළ විවාදයක් ඇත. බලය බෙදාහැරීම කෙසේ වෙතත් පළාත් සභා ක‍්‍රමය අකර්මණ්‍ය තත්ත්වයකය. මැතිවරණ පැවැත්වීම කල් දමා ඇති අතර පළාත් සභා ආණ්ඩුකාරවරයාගේ පාලනයට යටත්කර තිබේ. දරුණු ආර්ථික අර්බුදයක හෙයින් මැතිවරණ පැවැත්විය නොහැකි තත්ත්වයක පවතින අතර පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් ඇති කළ සංශෝධන අවසන් නොවීමද මහජන තීන්දුව ලබා ගැනීමට අවහිරයක් වී තිබේ. මෙම රාමුව තුළ මහජන අවශ්‍යතා සහ සංවර්ධනය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන වගකීමක් ආණ්ඩුවට ඇත.

♦ ඉඩම් හා පොලිස් බලතල

ශ‍්‍රී ලංකාවේ පරිපාලන ස්වභාවය අනුව රට තවත් පරිපාලන කොටස් නමයකට වෙන් කිරීම අනවශ්‍ය වියදමක් බව බහුතරයකගේ මතය වී තිබේ. මහජන නියෝජිතයන් දිස්ත‍්‍රික්කක මට්ටමින් පත්කරගන්නා අතර පළාත් පාලන ආයත 340ක් ද රටපුරා පවතී. ඒවායේ මහජන නියෝජිතයන් සංඛ්‍යාව අටදහස් පන්සියයකට ආසන්නය. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දෙසිය විසි පස්දෙනාට අමතරව තවත් පළාත් සභා මැති ඇමැතිවරු හාරසිය පනස් පස් දෙනෙකුද පත්කළ හැකිය. මිලියන විස්සකට මඳක් වැඩි ජනගහනයක් පාලනය කිරීම සඳහා ක‍්‍රමවේද තුනකින් මෙපමණ විශාල මහජන නියෝජනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් කරගත යුතුද යන්න සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. මුළු රටම ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පත් කරගන්නා විධායක ජනාධිපතිවරයකුද සිටිය දී වට හතරකින් අවස්ථානුකූලව ඡන්ද පවත්වන මෙම සිතියම, කුඩා රටකට පලක් නැති බව ප‍්‍රකාශ වේ.

කෙසේ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිල වැඩි පාලන ක‍්‍රමයකි. මහජන නියෝජනය සඳහා වන්දියක් ගෙවන්නට සිදුවේ. විවිධ මත සාකච්ඡා කරන අතර අවසාන නිගමනය සඳහා වැයකරන කාලය සංවර්ධන කටයුතුවලදී බාධාවකි. වේගයෙන් තීරණ ගැනීමට නොහැකි වී තිබේ. ප‍්‍රජාතන්ත්‍රවාදී ක‍්‍රමයට සහාය දෙන විශාල රාජ්‍ය යාන්ත‍්‍රණයක්ද ඇත. දිසාපති, උපදිසාපති ඇතුළු පරිපාලන අංශය හා රාජ්‍ය ආයතනවල නිලධාරී මණ්ඩලය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකි බරකි. අයවැය වාර්තා පෙන්වන පරිදි ජාතික ආදායමෙන් සියයට හැත්තෑවක් රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් සඳහා ගෙවන්නට සිදුවී තිබේ. ක‍්‍රමය වෙනස් කර අලුත් ව්‍යුහයක් සෑම නායකයෙක්ම යෝජනා කරයි. ඉතිහාසයේ පරිදි එක කණ්ඩායමක් කරන යෝජනාවකට අනෙක් කණ්ඩායම එකඟ නැත. බලය බෙදන යෝජනා ගැන සාකච්ඡා සඳහා කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව අතීරණයකින් අවසන්වීම තුළ මෙම මතබේදයද තිබේ.

දකුණේ දේශපාලන පක්ෂ ඉඩම් හා පොලිස්  බලතල පළාත් සභාවට පැවැරීම ගැන කැමැත්තක් නැත. දේශපාලනඥයන් රජයේ ඉඩම් හා පොලීසියේ කටයුතුවලට මැදිහත්වන ආකාරය නිරීක්ෂණය කළ පසු මධ්‍යම රජයට ඇති මෙම බලතල විමධ්‍යගත කළහොත් ඇතිවිය හැකි ව්‍යුහය ඉතාම සංකීර්ණ බවද සඳහන් කළ යුතුය.

♦ බලය වෙනුවට ජනතා සේවය

දේශපාලනඥයන් තමන්ගේ බලය ගැන විවාද කරන නමුත් ජනතාවට එදිනෙදා අවශ්‍යතා ගැන ඉලක්කයක් තිබේ. ආණ්ඩුවෙන් හා ආණ්ඩුවේ ආයතනවලින් ලැබෙන සේවා නිසි පරිදි ක‍්‍රියාත්මක විය යුතුය. විශාල රජයේ සේවක සංඛ්‍යාවක් සිටින නමුත් රජයේ ආයතනයකින් සේවයක් ලබාගැනීම පහසු නැත. ලිපිගොනු එහා මෙහා වෙයි. අදාළ නිලධාරීන් කාර්යාලයේ නැත. අලූත්ම රජයේ නිවේදනය අනුව ක්ෂේත‍්‍ර නිලධාරීන් රාජකාරි සඳහා පිටත්ව යන්නට කලින් තමන්ගේ කාර්යාලයට වාර්තා කළ යුතු බවට චක‍්‍රලේඛනයක් නිකත් වී තිබේ. සෑම රජයේ කාර්යාලයකට ඇඟිලි සලකුණු යන්ත‍්‍ර සවිකර පැමිණීම හා පිටවීම සටහන් කරන්නට දන්වා ඇත. මේවායෙන් සන්නිවේදනය වන අභ්‍යන්තරය වටහාගත යුතුය. රජයට සිය සේවක කාර්ය මණ්ඩලය හසුරුවා ගත නොහැකි වී තිබේ. මෙහි අනිවාර්ය ප‍්‍රතිඵලය ජනතාවට නිසි සේවයක් නොලැබීමය. 

රජයේ කාර්යාලයකට ලිපියක් යැවූ පසු උත්තරයක් නොලැබේ. සෑම විධායක නිලධාරියකුටම මහජන මුදලින් බිල් ගෙවන ස්ථාවර හා ජංගම දුරකතන සපයා ඇත. මෙම දුරකතනකට ඇමතුමක් ගත නොහැක. ජංගම දුරකතන අංකය ප‍්‍රසිද්ධ නොකෙරේ. රාජ්‍ය අංශයේ තොරතුරු දැනගැනීමේ සේවාවක් තිබේ. එම සේවාව යල්පැනගිය ආකෘතියකි. තොරතුරක වලංගු භාවයක් නැත. වෙබ්අඩවි යාවත්කාලීන වී නැත. අභ්‍යන්තරය ගැන දැක්විය හැකි සමීප තත්ත්වය අනුව රජයෙන් ලබාගත හැකි සේවය ගැන ජනතාව තෘප්තිමත් නැත.

දේශපාලනඥයන් වෙනස් මත දරන නමුත් ජනතාවට තමන්ගේ ගමේ තමන් වාසය කරන ස්ථානය අවටින් රජකාරි කරගැනීමේ පහසුවක් තිබිය යුතුය. අය කරන බදු සැලකූ පසු රජයෙන් ලබාගත හැකි සේවය සඳහා තවත් විශාල ධනයක් හා කාලයක් වැයකළ යුතු ඇයි? වර්තමානයේ ක‍්‍රමය විකෘති වී තිබේ. පළාත් ඡන්දයට තරග කරන නියෝජිතයෝ එය තමන්ගේ පළමු පියවර සේ සලකති. ගමේ අවශ්‍යතා සොයා බැලීම කෙසේ වෙතත් ඊළඟ ඉලක්කය, මහ මැතිවරණයකට තරග කිරීමය. සිස්ටම් වෙනස් කරන සේ බල කරන ලද මෙරට ජනතාව ක‍්‍රමයෙහි ඇති පරතරය දකී. දේශපාලන වෘත්තියට ඇතුළුවන එයින් යැපෙන පළාත් පාලන ක‍්‍රමය ජනතාවට එපා වී තිබේ. මහජනතාවට උචිත, ග‍්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් පාලන ක‍්‍රමයක්  රටට අවශ්‍ය කර ඇත. 

♦ තාක්ෂණය උපයෝගී කරගත් ව්‍යුහයක්

මහජනතාව නියෝජනය කරන ක‍්‍රමවේදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැදගත්ය. ඒ හා සමානව ජනතාවට සේවයක්ද සිදුවිය යුතුවේ. බලය බෙදාහරින ලෙස බල කරන කණ්ඩායම් පමණක් නොව එයට ඉඳුරාම විරුද්ධ පිරිසද කරන සේවය සුළු එකකි. සේවය ලබාගැනීමට පාක්ෂිකයන් විය යුතු බව මහජනතාව කල්පනා කරයි. දේශපාලනය නොකරන, දේශපාලන රුස්වීම්වලට සහභාගී නොවන සාමාන්‍ය ජනතාවට සමෘද්ධිය හෝ අලුතින් හඳුන්වා දී ඇති අස්වැසුම සහන හෝ නැත. සහන දියයුතු නැති පිරිසට පවා දේශපාලන බලයෙන් රජයේ ආධාර සැපයෙන ක‍්‍රමවේද සැකසේ. ආණ්ඩු වෙනස් වන පසු ඒවායෙන් යැපෙන කණ්ඩායම්ද වෙනස් වනන අතර මෙය ආර්ථිකයකට බරකි. 

ලෝකයේ අලුත් ක‍්‍රම අනුව තාක්ෂණය භාවිතා වෙමින් තිබේ. ස්මාට් ක‍්‍රමවේද ඇතිවේ. ජනතාවට ලැබිය යුතු සහන නිසි සේ බෙදා දෙන්නට ඉන්දියාව හඳුන්වා දී ඇති ආධාර් කාඩ් ක‍්‍රමය එයට හොඳ උදාහරණයකි. කාඩ්පත අනුව සහන මුදල ගිණුමකට ලැබේ. ශ‍්‍රී ලංකාවේ අසරණ මිනිසුන් සහන මුදල ලබාගැනීම සඳහා දිග පෝලිම්වල රඳවා තබනු දැකිය හැකිය. මෙවර සංගනනය කිරීම සඳහා යම් ප‍්‍රතිශතයකින් තාක්ෂණය භාවිතා කරන බව අනාවරණය වේ. ග‍්‍රාම නිලධාරීන්ට ටැබ් පරිගණක සපයා ඇත. රාජ්‍ය ආයතන පරිගණකගත කර තිබේ. සෑම ආයතනයකම අන්තර්ජාලය බහුලව භාවිතා කරයි. අද ලෝකයේ ප‍්‍රධාන නගර ස්මාට් ස්ථාන වශයෙන් සංවර්ධනය වේ. කාර්යාල නවීකරණය කරන අතර ජනතාවට එහි නොපැමිණ සේවා ලබාගත හැකි පරිදි පරිවර්තනය වෙමින් තිබේ. මහජනතාවගේ මැසිවිලි කෙලින්ම පාලකයන්ට යොමු කළ හැකිය. ඇතැම් රටවල දේශපාලනඥයන් මහජන මතය මැන බැලීම සඳහා සමීක්ෂණ පවත්වයි. ඊළඟ දිනයේ පාර්ලිමේන්තුවේ කතා කළ යුතු කරුණු ගැන තමන්ගේ ලිපිනයට අදහස් ඊ මේල් මගින් ගෙන්වා ගනී. ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට කාර්යාල හා පරිගණක මෙවලම් සපයන අතර ඇමැතිවරුන්ට පර් යේෂණ නිලධාරීයෙකුද සැපයේ. පාර්ලිමේන්තුවේදී කතා කරන අදහස් රටට ගැලපෙන්නේ නැත.

බලය ඉල්ලන දේශපාලනඥයන් බලය වෙනුවට දැනට ඇති පහසුකම්වලින් මහජනතාවට සැපයිය හැකි සේවාව ගැන අවධානය යොමුකළ යුතුව ඇත. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඉඩම් හා පොලිස් බලතල ඉල්ලන නමුත් ඒවා ඉල්ලන දේශපාලනඥයන් ජීවත්වෙන්නේ බස්නාහිර පළාතේ වන අතර මහජනතාවට මුණගැසිය නොහැක. 

♦ බලය ආපසු ගැනීමට මහ ආණ්ඩුවට ශක්තියක්

ඉන්දියාව ප‍්‍රාන්ත විසිඅටකින් සමන්විතය. ජම්මු කාශ්මීර් ප‍්‍රදේශයට විශේෂ වරප‍්‍රසාද ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණි. පකිස්තානය හා චීනය සමග පවතින මතබේද පදනම් කරගෙන 1947 සිට තිබුණ මෙම විශේෂ බලය ජම්මු කාශ්මීර ප‍්‍රාන්තයෙන් ආපසු ගැනීමට වත්මන් ඉන්දියන් ආණ්ඩුව ක‍්‍රියා කළේය. 2019 අගෝස්තු මාසයේ සිදුවූ මෙම බලය ආපසු ගැනීම විශාල කලබැගෑනියකට හේතුවනු ඇති බව විශ්වාස කළ නමුත් වසර හතරකට පසු පවා එවැනි තදබල හේතු ඇති වූයේ නැත. 

පළාත් සභා ක‍්‍රමය පිහිටුවුණු පසු උතුර හා නැගෙනහිර පළාත් තාවකාලිකව එක්කරන ලදී. පසුව අධිකරණ තීන්දුවකින් එය වෙනස් කළේය. පළාත් හෝ මහ ආණ්ඩුව හෝ  ඕනෑම ක‍්‍රමයකට හජනතාවට ප‍්‍රයෝජනවත්වන සේවයක් සිදුවිය යුතු අතර සංවර්ධන කටයුතු වේගවත් කළ යුතුව තිබේ. සංවර්ධනය සඳහා කරන යෝජනාවලින් සියයට හැත්තෑඅටක් අපතේ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂක දෙපාර්තමේන්තුව දක්වා ඇත. රට කරවිය යුතු වැය කරන ධනය ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි බව අවධාරණය කළ යුතුය. පළාත් වෙන් කරන්නට, වැඩිපුර බලය ආපසු ගන්නට ආණ්ඩුවලට හැකියාව ඇත. අසල්වැසි ඉන්දියාව හා ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ තිබේ. බලය බෙදන්නට හෝ ආපසු ගත නොහැකි බව තර්ක කරන්නට කලින් මහජන මුදල් නිසි පරිදි වැය කරන සංවර්ධනයක් රටට අවශ්‍යය. දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ බලතල ගැන තර්ක කිරීම වෙනුවට ක‍්‍රමය නිසි පරිදි ක‍්‍රියාවට නැංවීම පාලකයන්ගේ වගකීමකි.

I  සාරා කන්දෙගොඩ