2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

බිරියගේ අනියම් පෙමට ගිනි තැබූ සැමියා

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

''පෝය කියලා නෑ අනේ... හෙට රෑටත් වැඩ. හෙට හවස තමයි ගෙදර එන්න වෙන්නේ... මොනවා කරන්නද? වැඩට යන්නත් ඕනනේ..''

සිය සැමියා ඉදිරියේ මෙසේ කී බිරිය ඇසළ පෝය දවසේ ඇඟලුම්හලේ සේවයට ගියාය. රුකියාව පිළිබඳව අප්‍රසාදයෙන් කතා කළද පියරු, සුවඳ විලවුන් සමඟ නිය ආලේපය ගල්වාගෙන ගිය ඇගේ ගමන ආකර්ශනීයය. රුකියාවට පිටත්ව ගිය තරුණ බිරියට සැමියාගෙන් කිසිදු බාධාවක් නොවුණද ඇයට පිටත්ව යාමට තිබූ උනන්දුව පිළිබඳව ඔහු කල්පනා කළේය. එහිදී ඔහුට මතුව තිබුණේ සැකයකි.

ඇසළ පෝය දින රාත්‍රියේ බිරිය රැකියාවට යාම හා පසුගිය දින කිහිපයක බිරියගේ හැසිරීම පිළිබඳ සිතූ සැමියා පෝයට පසුදිනම පාන්දර බිරිය සේවය කරන ඇඟලුම්හල ආසන්නයට යා යුතු යැයි සිතුවේය. ඒ අනුව 2 වැනිදා පාන්දරම නිවෙසින් පිටත් වූ මොහු හොරණ සහ ඉංගිරියට ආසන්නයේ පිහිටි බිරිය සේවය කරන ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාව අසල රැඳී සිටියේය. ඒ අතරතුර අහළ පහළ පිහිටි අතුරු මාර්ගවල ගමන් කළේ බිරිය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. එහිදී තරමක පාළු ස්ථානයක නවත්වා තිබූ ත්‍රිරෝද රථයක් දුටු ඔහු එම ත්‍රිරෝද රථය දෙසට ගමන් කර තිබුණේ නිකමට මෙනි.

ත්‍රිරෝද රථය මාර්ගයට පසුපස හරවා නවතා තිබුණි. ළඟට ගොස් විපරම් කළේද අලස බවකිනි. ඔහු දුටුවේ ත්‍රිරෝද රියේ පසුපස අසුනේ සිටි යුවලකි. ඔවුහු පෙම් සුව විඳිමින් සිටියහ. තිගැස්සුණු ඔහුට යක්ෂාවේෂ වූයේ එහි පෙම් සුව විඳිමින් සිටියේ තම බිරිය බැවිනි. නොසිතුව මොහොතක තමා ඉදිරියට කඩාපාත් වූ සැමියාට පෙරාතුව, බිරිය සැමියා දුටු නිසා ඇය අනියම් සැමියා අතහැර පැන දුව ගියාය. එම ගමන නතර කර තිබුණේ ඇය සේවය කරන ප්‍රධාන පෙළේ ඇඟලුම්හලේ පිවිසුම් ගේට්ටුවද පසු කරමිනි. ඇය දෙස බලන්නට ඇගේ සැමියාට වෙලාවක් තිබුණේ නැත. ඔහු සිදු කළේ ත්‍රිරෝද රථයේ සිටි අනියම් සැමියා අල්ලාගෙන පහර දීමය. ප්‍රේම සාගරයක ගිලී උන් ඔහුට සිදුවූ දෙයක් නිච්චි නැත. ඇඟපත තැලෙන තෙක් ලැබුණු ගුටි පූජාව මැද ඔහු පලා ගොස් තිබුණේ යාන්තම් පණ කෙන්ද රැකගෙනය.

දැඩි කේන්තියකින් පසුවූ පෙර කී ඇඟලුම් සේවිකාවගේ සැමියාට බිරියගේ අනියම් සැමියාට පහර දුන්නා කියා කේන්තිය නිවුණේ නැත. ඒ නිසා නැවතී කේන්තිය නිවාගනු පිණිස ඔහු අනියම් පුරුෂයාට අයත් ත්‍රිරෝද රථයට ගිනි ඇවිලීය. වැඩි වෙලාවක් යන්නට පෙර කළු දුම් රොටු නංවමින් ත්‍රිරෝද රථය ගිනි ගත්තේ අහළ පහළ සියලුදෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරවමිනි. ගිනි ගැනීමට ලක්වූ ත්‍රිරෝද රථය මුළුමනින්ම විනාශ වී ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය වාර්තා කළේය.

මෙසේ අනියම් පුරුෂයකු සමඟ පෙම් සුව විඳීමට ගිය තරුණ කාන්තාවට පාසල් යන වයසේ කුඩා දැරියක සිටින අතර අනියම් සැමියාද විවාහක එක්දරු පියකු බව පැවසේ. ත්‍රිරෝද රථයට ගිනි තැබූ බව කියන පුද්ගලයා හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පනාවල මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ඩී.එල්. අබේසිරි මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරති.

වර්තමානය වන විට වාර්තා වන අනියම් සබඳතා නිසා බොහෝ විට පවුල් ආරවුල් සිදුවන බවත් බොහෝ පවුල් කැඩී බිඳී දික්කසාදය දක්වා ගොස් ඇති බවත් පෙනී යයි. මේ නිසා දරු දැරියන් රැසක් අසරණ බවට පත්ව ඇති බව වාර්තා වේ. පොලිසිය පවසන පරිදි ඉකුත් 2022 වසරේ අනියම් සබඳතා නිසා පවුල් ආරවුල් 9636 ක් වාර්තා වී තිබේ. මේ තත්ත්වය 2021 වසරට වඩා 4% ක වැඩිවීමක් බවද පොලිසිය පෙන්වා දෙයි. ඒ අනුව 2021 වසරේ එවැනි පැමිණිලි 9250 ක් වාර්තා වී තිබේ. මේ ආකාරයේ පවුල් ආරවුල් ආශ්‍රිත විවිධ පැමිණිලි 111709 ක් දිවයින පුරා පොලිස් ස්ථානවලට ලැබී ඇතැයිද පොලිස් දත්ත වාර්තා පෙන්වා දෙයි. මේ අයුරින් 2021 වසරේ පවුල් ආරවුල් සම්බන්ධ විවිධ පැමිණිලි 105469 ක් වාර්තා වී ඇත. ඒ අනුව පොලිසිය වාර්තා කරන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා පවුල් ආරවුල් ආශ්‍රිත විවිධ පැමිණිලි ඉකුත් 2021 හා 2022 දෙවසර තුළ ඉහළ ගොස් ඇති බවකි.

මෙවැනි අනියම් සබඳතා ඇතිවීමට බලපාන හේතු රැසක් මෙන්ම ඒ හේතුවෙන් ඇතිවන අහිතකර හා බරපතළ ප්‍රතිවිපාක රැසකි. ඒවා ගැටුම්, පහරදීම්, දික්කසාද වීම්, සියදිවි නසාගැනීම් හා මිනීමැරුම් දක්වා දුරදිග යා හැකිය. එබැවින් මේවාට යොමුවන අය වරක් නොව කිහිප වතාවක් සිතා බැලිය යුතුය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02