2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

’’smart’’ බස් කොන්දොස්තරලාගේ මාටියා ගැහිල්ල

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 98

මේ දිනවල අධිවේගී බස් රථවල මාටියා ගැහිල්ල ගැන කතාබහක් මතුව තිබේ. බස්වල කොන්දොස්තරවරුන්ගේ වංචා මගී ජනතාවට අමුත්තක් නොවේ. ශ්‍රී ලංගම බස්රථවල ටිකට්පත් නිකුත් කළත් අදටත් සාමාන්‍ය ගමන් මාර්ගවල පෞද්ගලික බස්වල ටිකට්පත් නිකුත් කරන්නේ කලාතුරකිනි. මහ පාරේ මගී පරීක්ෂකවරුන් සිටින්නේ නම්  පමණක් පෞද්ගලික බස් කොන්දොස්තරවරු කඩිනමින් ටිකට් කඩමින් යති. මේ අතර අධිවේගී මාර්ගවල ටිකට්පත් නිකුත් කරන්නේ ගමන ආරම්භයේදී නිසාත් අතරමගදී මගීන් නගින්නේ බහින්නේ නැති නිසාත් වංචා කිරීම දුෂ්කර යැයි අප සිතුවත් දැන් ඒකටත් ක්‍රම සහ විධි පැමිණ තිබේ. පසුගියදා ලංගම බස් රථ වංචාවක් ගැන ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති  බන්දුල ගුණවර්ධන දේශයට හෙළිදරව්වක් කළේය. 

ඇමැතිවරයා දේශයට සඳහන් කළේ කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් දාහත්දහස් පන්සීයක් සොරකම් කිරීමේ ජාවාරමක් අල්ලාගනු ලැබූ බවයි.  

එසේ වංචාවක් කර තිබුණේ ඇඹිලිපිටිය සිට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර බලා ධාවනය වූ ලංගම බස් රථ දෙකකි. මෑතකදී වංචා වැළැක්වීම සඳහා ගනු ලැබූ තීරණයක් මත කොන්දොස්තර බස් රථයේ ගමන් නොකරන අතර ඔහු එම බස් රථවලට මගීන් නංවාගෙන ටිකට්පත් නිකුත් කර අධිවේගී මාර්ග පිවිසුම තෙක් කොන්දොස්තර පැමිණ එතැනදී මුදල් සහ ටිකට් පොත් භාරදී සේවය නිම කිරීම සිදුවේ. නමුත් ලංගම විසින් නිකුත් කළ ටිකට්පත් වෙනුවට කොන්දොස්තර සිදුකර ඇත්තේ හොර ටිකට් පොතකින් ව්‍යාජ ටිකට්පත් නිකුත් කර එම මුදල් ලබාගැනීමයි. පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ    ඇඹිලිපිටිය මාකුඹුර බස් රථයේ මගීන් 24 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනකුට හොර ටිකට්පත් නිකුත් කර තිබෙන බවය. ඇමැතිවරයා සඳහන් කළේ වංචා කරන ලද මුදල රු. 17595/- ක් බවයි.

මෙලෙස අල්ලාගනු ලැබූ කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කර හොර ටිකට් ජාවාරම ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේය.
පරීක්ෂණ රහස් පොලීසියට

මෑතක සිට අධිවේගී මාර්ගයේ ටිකට් පත් වංචා ඉහළ ගොස් ඇති අතර සමහර නිලධාරීන්ද හවුල් කරගෙන කොන්දොස්තරවරු ෆේස්බුක් සහ වට්ස්ඇප් කණ්ඩායම් තනා ඒ ඔස්සේ රහසිගතව තොරතුරු හුවමාරු කර ගනිමින් වංචා කරන බව හෙළි වී ඇතැයි ලංගම ධාවන අංශය සඳහන් කළේය. ටිකට් පරීක්ෂකවරු පිටත්වන විටම අදාළ පණිවුඩය කොන්දොස්තරවරුන්ට ලැබෙන අතර එවිට ඔවුහු උපක්‍රමශීලීව මඟහරිති. මේ වනවිට අධිවේගයේ ටිකට් පොත්වලින් ටිකට් නිකුත් කිරීම නවත්වා ඇති අතර ටිකට් මැෂින් පමණක් භාවිත කිරීමට අවසර දී තිබේ. සියලුම මගීන්ට ගෙවන මුදලට ටිකට් පතක් ලබාගන්නා ලෙසද ලංගම ඉල්ලා සිටී.

ලංගම බස් රථ පමණක් නොව අධිවේගී මාර්ගවල පෞද්ගලික බස් රථ ද ගමන් කරන්නේ කොන්දොස්තරවරයකු නොමැතිවය. ටිකට්පත් නිකුත් කිරීම ද අනිවාර්ය වේ. එසේ වුවත් මාටියා ගැහිල්ල නම් සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දේශයට පැවසුවේය. ඔහු පැවසුවේ සමස්ත බස් කර්මාන්තයම වංචා දූෂණවලින් පිරී ඇති බවයි: 

‘‘අධිවේගී බස්වල විතරක් නොවේ. ලංකාවේ දුවන සියලුම බස්වල වංචා සිදුවෙනවා. නමුත් අධිවේගී බස්වල ටිකට්පත් මිල අධික නිසා එකක් දෙකක් හොරකම් කරගත්තත් ඇති. පෞද්ගලික බස් 200ක් පමණ මේ මාර්ගවල ධාවනය වෙනවා. ලංකාවේ පෞද්ගලික බස් රථවල සමස්ත ආදායමෙන් 35% ක් පමණ බස් හිමියන්ට අහිමි වෙනවා වංචා නිසා. අධිවේගී බස්වල කොන්දොස්තර රහිතව දිව්වත් අතරමග මගීන් නොගත්තත් මේ වංචා විවිධ ක්‍රමවලට සිදුවෙනවා. මේ නිසා අපි ඉදිරියේදී කාඩ් ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. එවිට මුදල් සංසරණයෙන් තොරව බස්වල ගමන් කිරීමට හැකි වෙනවා. හදිසියේ කාඩ් එක මගීන්ට නැතිවුණොත් මුදල් දැමීමට පෙට්ටියක් දැමීමට සැලසුම් කර තිබෙනවා.''

අධිවේගී මාර්ගවල ධාවනය වන ලංගම බස් රථ ප්‍රමාණය 70කි. බස් රථවල සිදුවන ටිකට්පත් වංචා අවම කිරීමට පසුගිය ජූනි 19දා සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ   කොන්දොස්තරවරයකු නොමැතිව ධාවනය කිරීම ආරම්භ කෙරුණි. එයට හේතු වුණේ එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර, ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථ මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් සහිතව බස් ධාවනය ආරම්භ කර තිබෙන අතර මේ වනවිට එම සැලසුම ක්‍රියාත්මකය. පසුව වාර්තා වුණේ කොන්දොස්තරවරුන් නොමැතිව ලංගම බස් ධාවනය කළ පසුගිය ජූනි 19දා පළමු දිනයේ ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවයි. ටික දිනක් ගතවන විට හොර ටිකට් පොත් මුද්‍රණය කර මගීන්ට නිකුත් කිරීමට කොන්දොස්තර මාෆියාව කටයුතු කර ඇති බව පසුගියදා අනාවරණය වුණු ටිකට් වංචා සිද්ධියෙන් පැහැදිලි වේ. 

පසුව ජූලි 01 වැනිදා සිට සියලුම අධිවේගී මාර්ගවල කොන්දොස්තරලා නැති ලංගම බස් රථ ධාවනය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය මගින් තීරණය කෙරුණි. මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම ලංගම බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීම ගමන ආරම්භයේදී පමණක් සිදු කෙරෙන්නේ වංචා අවම කිරීමේ අරමුණ ඇතිවය. 

නීතිමය ගැටලු ඇතත් මේ වනවිටත් අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස්රථ ද ධාවනය වන්නේ කොන්දොස්තරවරයකු රහිතවය. අතරමග නැවතුම් නොමැති නිසාවෙන් මෙම ක්‍රමය වාසිදායක බව බස් රථ හිමියෝ පවසති. මේ අතර ගැමුණු විජේරත්න පැවසුවේ කොන්දොස්තර රහිත මේ ක්‍රමය නීතිගත කිරීම සඳහා ප්‍රවාහන පනත සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ වනවිට ලංකාවේ පෞද්ගලික මගී බස් රථ 12000ක් පමණ ධාවනය වන අතර ලංගම බස් රථ ඇණිය 5400ක් පමණ වේ. 1958 ජනවාරි 1 වැනිදා ලංගමය ආරම්භ කළ දා පටන්ම එහි වංචා ක්‍රමයෙන් ඉහළ යාම දකින්න ලැබේ. 
පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථවල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීම ආරම්භ කෙරුණේ ද මගීන්ට පහසුවක් ලබාදීමට මෙන්ම ටිකට්පත් වංචා අවම කිරීමේ අරමුණ ඇතිවය. 
ඒ අතර පසුගිය 2018 දී පෞද්ගලික බස්රථවල මුදල් වංචා කිරීම වැළැක්වීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දුන්නද එය සාර්ථක වුණේ නැත.   

පරීක්ෂණ රහස් පොලීසියට
- ලංගම ඉහළ කළමනාකරණය

ලංගම සභාපති එම්.ඩී.එල්.කේ. ද අල්විස් සහ එහි ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේදී අපට පැවසුවේ ටිකට්පත් වංචා කරන සියලුම කොන්දොස්තරවරු ඇතුළු නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි. ඇඹිලිපිටියේ සිදුවීමට අමතරව අධිවේගී බස් සේවයෙන් එක් වංචාවක්ද ගාල්ල බස් රථයක ව්‍යාජ ටිකට් 51ක් ගැන වංචාවක්ද හෙළිදරව් වී තිබේ. ගාල්ලේ ටිකට් වංචාවට සම්බන්ධ තිදෙනෙක් මේ මස 21 දා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02