ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. දිනකට ආහාර වේල් තුනක් ගැනීම සාමාන්‍ය සිරිතයි. එහෙත් පසුගිය කාලයේ රටේ පැවැති ආර්ථික උද්ධමනය හේතුවෙන් බොහෝ පිරිසකට එක් ආහාර වේලක් වුව සපයා ගැනීමේ අසීරුතාවක් නිර්මාණය විය. එවන් වාතාවරණයක් තුළ කොළඹ නගරය තුළ සිටින ලක්ෂ හයක පිරිසක් සහ දිනපතා වෙනත් ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන ලක්ෂ පහකට අධික පිරිසක් විසින් දිනකට පරිභෝජනය කරනු ලබන ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ හරින බවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් විද්වතුන් 16ක් විසින් සකස් කළ වාර්තාවක් මගින් අනාවරණ කර තිබේ. ශ්‍රී ලංකාවේ ආහාර වර්ග හතක ගලායාම (Food Flow Analysis of Seven commodities in Sri Lanka) පිළිබඳ එම වාර්තාව අනුව දිනකට පරිහෝජනයට යොදාගන්නා ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ හරින බවත් එම අපතේ යන ආහාර කළමනාකරණය කිරීම මඟින් රටේ ආහාර හිඟයට විශාල පිටුබලයක් සිදුකරගත හැකි බවත් පෙන්වා දී තිබේ.
ආහාර හිඟකම මෙන්ම කිසියම් ආහාර ද්‍රව්‍යයක් කොළඹට ගෙන ඒම සඳහා වන දුර ප්‍රමාණයද ආහාර මිල ඉහළ යාම කෙරෙහි බලපාන බවට පෙන්වා දෙන මෙම වාර්තාව. විශේෂයෙන් සහල්, බඩඉරිඟු, අර්තාපල්, බෝංචි, කෙසෙල්, කුකුළු මස් හා මුහුදු මාළු සම්බන්ධව කළ අධ්‍යයනය අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යාම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන බවද පෙන්වා දී තිබේ. මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයකි. එය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ආහාර අපතේ යෑමේ අපිකේන්ද්‍රය වන්නේ වර්ග කිලෝමීටර 23ක් වන කොළඹ නගර සීමාව බවයි.
පසුගියදා එම වාර්තාව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදුන් අතර අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඉදිරියේ දී විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. විශේෂයෙන් සියලු අංශ විසින් දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වයක් පැමිණෙන බවට අනතුරු අඟවා තිබියදීත් එම පණිවුඩය ජනතාවට යොමු නොවීම සම්බන්ධව අවධානය යොමුකළ යුතුව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
ආහාර නාස්තිය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. මිනිසුන්ගේ පරිභෝජනය සඳහා ලොවපුරා නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පමණ අපතේ යන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් වරින්වර සිදුකරන ලද වාර්තා මගින් හෙළිදරව් වී තිබේ. මින් ඉහත කරන ලද සමීක්ෂණයකින්ද අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආහාර නාස්තිය ඉහළ අගයක පවතින බවටය. අප රටේ දිනකට පිසින ලද හා නොපිසින ලද ආහාර මෙට්‍රික් ටොන් 5000ක් අපතේ හරින බව පසුගිය කාලයේ අනාවරණ විය. එම ප්‍රමාණය වසරකට ටොන් බිලියන 1.3කි. මෙරට නිෂ්පාදනය කරන භෝගවලින් සියයට 40ක් අපතේ යන අතර පිසූ හා නොපිසූ ආහාර මෙට්‍රික් ටොන් 5000ක් පමණ දිනකට කසළ වශයෙන් බැහැර කෙරෙන බවත් මෙම තත්ත්වය රටට ඉතා විශාල ආර්ථික අලාභයක් බවත් වරක් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ආහාර පිසීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා පිසීමත්, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමත්, තමන්ට අනුභව කළහැකි ප්‍රමාණයට වැඩියෙන් බෙදාගැනීම නිසාත් ආහාර නාස්තියක් සිදුවේ. 2021 ලෝක ආහාර සංවිධානයේ වාර්තාවකට අනුව ලංකාවේ නිවෙස්වලින් වසරකට ආහාර මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් නාස්තිවන බව සඳහන්ය.
ආහාර ගැන වාර්තාව බාරදෙමින්
ලොව පුරා ආහාර අපතේ යාම නිසා සිදුවන ආර්ථික අලාබය ඩොලර් බිලියන 939ක් පමණ වේ. එහෙයින් බොහෝ රටවල් ආහාර නාස්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබේ. මේ වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 820ක් පමණ සාගින්නෙන් පෙළෙන බවට වාර්තා වේ. ශ්‍රී ලංකාවේ නිවාස 10කින් 3ක ජනතාව ආහාර අනාරක්ෂිතතාවට මුහුණදී සිටී. සංඛ්‍යාත්මක වශයෙන් එය මිලියන 6.3ක පමණ ප්‍රමාණයකි. මිලියන 6.7ක පිරිසකට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැත.
ලොව සියලුම ජනතාවට ඇති තරම් ආහාර දැනට නිපදවනු ලැබුවත් නිසි ලෙස ආහාර බෙදී නොයාම හේතුවෙන් විශාල පිරිසකට ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකාවේද 2030 වනවිට ආහාර නාස්තිය සියයට 50කින් අවම කිරීමේ ඉලක්කයක් තිබේ. ආහාර අපතේ යාමට නිසි ලෙස ආහාර සැකසුම් නොකිරීම, සතුන් විසින් සිදුකරන හානි සහ ගොවීන්ගෙන් නිසි ලෙස අස්වැන්න මිල දී නොගැනීම හා ඇතැම් අවිධිමත් ගබඩා කිරීම්ද බලපායි.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2019 වසරේ 74 වැනි සමුළුවේ දී සම්මත කරගත් පරිදි සෑම වසරකම සැප්තැම්බර් මස 29 වැනි දිනය ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් නම් කරනු ලැබ තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා