2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඩොලර් උල්පතක් අතේ තබාගෙනත් නිකම් ඉන්න ව්‍යාපාරිකයා

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 2935

ශ්‍රී ලංකාව තුළ පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් මෙරට ජීවත්වන තරුණ තරුණියන් පිරිසකට රැකියා අවස්ථා ලබාදෙමින් අපේ ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කරනා ශ්‍රී ලාංකිකයකු අද පසුවන්නේ දැඩි කලකිරීමෙනි. ඔහු නමින් එම්.බී. මිල්ටන්ය. ඔහු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කළේය. එහි මගීන් හත් දෙනකුට ගමන් කිරීමේ හැකියාව පවතී. නමුත් අද වනවිට එම නිෂ්පාදන ක්‍රියාවලියට අත්වී ඇති ඉරණම ඉතා කනගාටුදායකය.

''මෙවැනි ත්‍රීරෝද රථ අපේ කර්මාන්තශාලාවෙන් ඕනෑතරම් හදන්න පුළුවන්. හැබැයි මෙම ත්‍රීරෝද රථයට අවශ්‍ය බැටරි සහ යම් යම් කොටස් කිහිපයක් විදෙස් රටවලින් ගෙන්වීමට සිදුවෙනවා. මෙතෙක් හදපු වාහනවලට අවශ්‍ය දෑ මට ගෙන්වා ගැනීමට සිදුවුණේ මගේ අතේ තිබුණ මුදල් වගේම කෝටියක ණයක් ලබගෙනයි. ඒ නිසා ඉදිරියේ මේ රටට අවශ්‍ය ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කිහිපයක් ගෙන්වීමට ණයක් අවශ්‍ය වෙනවා. මෙම ණය මුදල ලබාගැනීමට බැංකු සියල්ලටම ගියත් 27%ක පොලියට තමයි ඔවුන් අපිට ණය දීමට කැමැති වුණේ. මුදල් ගෙවා පිටරටවලින් බඩු එද්දී මාස දෙක තුනක් ගතවෙනවා. ඒ කාලය තුළදීත් අපිට ඉතා විශාල පොලී මුදලක් ගෙවීමට සිදුවෙවා. ඒ නිසා රජයෙන් 8% අඩුවෙන් ලබාදෙන ණයක් අපිට මේ නිෂ්පාදන ක්‍රියාවලියට ලබාදෙන්නැයි අපි බොහෝ ඉල්ලිම් කළා. නමුත් අදටත් ඒකට විසඳුමක් ලැබුණේ නැහැ. මේ නිෂ්පාදනයෙන් පිටරට යන ඩොලර් නවත්වන්නට හැකියාව තිබෙනවා. අද වනවිට ලංකාවේ ත්‍රීරෝද රථ ලක්ෂ එකොළහකට වැඩියි. මේ ලක්ෂ එකොළහටම මට ත්‍රීරෝද අමතර කොටස් ලංකාවේම හදන්න, ලබාදෙන්නට හැකියාව තිබෙනවා.'' යැයි එම්.බී. මිල්ටන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව මිල්ටන් ඔහුට අවශ්‍ය ණය මුදල ලබාගැනීම සඳහා ලංකාවේ ඇති සියලුම බැංකු ආයතනවලට ගොස් තිබේ. නමුත් ඔහුට සහනදායී පිළිතුරක් ඒ කිසිදු ආයතනයකින් ලැබී නැත. ණය මුදල ඉල්ලා සිටින්නේ ඔහු සතුව පවතින සිව්මහල් ගොඩනැගිල්ල, නිවෙස, කර්මාන්ත ශාලාව ඇපයට තබමිනි. ඒ කිසිදු නිශ්චල දේපලක් මෙතෙක් ඔහු ඇපයට තබා නැත. ඒ නිසාම මේ නිරවුල් දේපල ඇපමත තබා කෝටි හතක ණය මුදලක් ලබාගැනීමට මිල්ටන් මහතා බලාපොරොත්තු වේ.
පසුගිය කාලවලදී මිල්ටන්ට කෙන්යාව, උගන්ඩාව වැනි රටවල්වලින් ත්‍රීරෝද රථ හාරසීයක ඇණවුමක් ලැබුණි. නමුත් අවශ්‍ය බැටරි ලබාගැනීමට නොහැකි වීමෙන් මිල්ටන්ට එම ඇණවුම ලබාදීමට නොහැකි විය. මාස තුනක් වැනි කාලයක් මෙරටින් ත්‍රීරෝද රථ ලැබේවි යැයි බලාපොරොත්තු වුණු එම රටවල් අවසානයේදී ඉන්දියාවෙන් ඒ අවශ්‍ය රථ මිලදී ගෙන තිබේ. ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වූ ඩොලර් ආදායමක් වැසී ගියේ ඒ අයුරිනි.

මිල්ටන්ට අප්‍රිකාවේ ටැන්සානියාවේ කර්මාන්ත ශාලාවක් තිබුණි. එරට සිටි විදේශිකයකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සමඟ හවුලේ පවත්වාගෙන ගිය මෙම කර්මාන්තශාලාවට මෙම රථ යැවීම මිල්ටන්ගේ මුල් අරමුණ විය. නමුත් අවසානයේදි ඒ හවුල්කරුවෝ මිල්ටන්ට විශාල අසාධාරණයක් කළහ. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට මේ ශ්‍රී ලාංකිකයාට සිදුවුණි. එයින් ඔහුට විශාල පාඩුවක් විඳ ගැනීමට සිදුවිය.

මිල්ටන් මගීන් හත් දෙනෙකු ගමන් කළ හැකි නව ත්‍රීරෝද රථය නිෂ්පාදනය කරන ලද්දේ අහම්බයෙනි. ඒ කොවිඩ් සමයේදීය. ඒ වනවිටත් මේ සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍ර සූත්‍ර මිල්ටන්ගේ කර්මාන්ත ශාලාවේ තිබුණි.

ඉලෙක්ට්‍රොනික් රථවාහන සෑදීමේ උනන්දුව මිල්ටන්ගේ හිතේ ඇතිවූයේ මීට වසර දහයකට පමණ පෙරදීය. ඒ උනන්දුව පසුගිය කොවිඩ් වසංගතය හා ඉන්ධන ගැටලුවක් සමඟ තව තවත් ඉක්මන් වුණි. මිල්ටන් තම කර්මාන්ත ශාලාවේදී තම සේවකයන්  එකවර රැකියාවට ගෙන ඒමට සහ ආපසු ගෙන යාමට ඉලෙක්ට්‍රොනික් නව ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කළේය. එහි සේවක සේවිකාවන් එක්වර හත් දෙනකුට ගමන් කිරීමේ හැකියාව තිබිණි. එමඟින් ඉන්ධන ගැටලුවට කදිම පිළිතුරක් සහ අඩුම වියදමකින් වැඩි ප්‍රවාහනයක් කිරීමේ හැකියාව ලැබුණි.

නිතර නිතර මෙම නව ත්‍රීරෝද රථය මාර්ගයේ දකිද්දී මහමඟ ගමන් කළ පිරිසට එය අපූරු දර්ශනයක් විය. එමඟින් මෙම ත්‍රීරෝද රථයට ඉල්ලුමක් ලැබුණි. ඒ ඉල්ලුමක් ජනතාවගේ ප්‍රසාදයත් සමඟ මිල්ටන්ට මෙම නව ත්‍රීරෝද රථය නිෂ්පාදනය කිරීමේ උනන්දුව වැඩිවිය. නමුත් එවැනි නව නිපැයුම් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යම් කොටසක් පිටරටින් ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් නොමැතිකම හේතුවෙන් මිල්ටන්ගේ බලාපොරොත්තුව මන්දගාමී වී ඇත. යම් බැංකු ආයතනයක් සාධාරණ පොලී මුදලකට ඒ අවශ්‍ය ණය මුදල ලබාදෙන්නේ නම් රටටම අවශ්‍ය ත්‍රීරෝද රථ හා ඉලෙක්ට්‍රොනික ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ හැකියාව ''මිල්ටන් මෝටර්ස්'' සතුව පවතින බව මිල්ටන් මහතා පවසයි. ඒ අවශ්‍ය දෑ ගෙන්වා ගැනීමට හැකිවන්නේ නම් ඕනෑම් රථයක් ඉලෙක්ට්‍රොනික රථයක් ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි. නමුත් ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ඒ සියලු ක්‍රියාවලියක් ප්‍රමාද වී ඇත. ඔහුගේ ඉතා වටිනා දේපළ ඇපයට තබා ගනිමින් අවශ්‍ය ණය මුදල කුමන ආයතනයකින් හෝ ඉක්මනින් ලැබේ යැයි ඔහු අපේක්ෂා කරයි.

මිල්ටන් දකුණේ මිනිසෙකි. ඔහු හක්මන රදාවල ගමේ ජීවත් වූවෙකි. භීෂණ සමයේදී මිල්ටන් මුලින්ම ගමෙන් කොළඹට ආවේ කිසිදු අරමුණක් නොමැතිවය. අඩුම තරමින් ඔහුට කොළඹ ඒමට අතේ මුදල් තිබුණේ නැත. ඒ වෙද්දී මිල්ටන් තම නිවසේ සුදු රට හාවුන් ඇති කළේය. ඒ එක් හාවකු රුපියල බැගින් හාවුන් හතළිස් පහම විකුණා ඒ රුපියල් හතළිස් පහත්, මට්ටම් ලීයත්, මේසන් හැන්දත් අතට ගෙන ඔහු සරමක්, ෂර්ට් එකක් ඇඳ කොළඹ පැමිණ තිබේ. ඔහු කොළඹ පැමිණ තම මහප්පාට මේසන් වැඩවලට අත් උදව් දුන්නේය. අතේ කරගැට ආවේය. දුක් වින්දේය. නමුත් මිල්ටන්ට අරමුණක් තිබුණි. නමුත් ඒ කිසිදු තැනක රථවාහන නිෂ්පාදනය සම්බන්ධයෙන් අරමුණක් තිබුණේ නැත.

කල්ගත වෙද්දි මිල්ටන් ඩේවිඩ් පීරිස් ආයතනයේ කම්කරුවකු ලෙසින් සේවයට බැඳුණි. ඔහු එහිදී බොහෝ අත්දැකීම් ලැබුවේය. බොහෝ දෑ ඉගෙන ගත්තේය. ඔය අතරේ මිල්ටන්ට එම ආයනයේ යම් ඉහළ තනතුරක්ද ලැබුණි. නමුත් ඒ තනතුර සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය විය. මිල්ටන් මාස දෙකක් ඉංග්‍රීසි ඉගෙන ගන්නට උත්සාහ දැරීය. නමුත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ඉංග්‍රීසි දැනුම නැතිවීම හේතුවෙන් මිල්ටන් එම ආයතනයෙන් ඉවත් විය. කාලයක් මිල්ටන් ත්‍රීරෝද රියදුරෙක් විය. ඒ තව කෙනෙකුට අයිතිව තිබූ ත්‍රීරෝද රථයකය. අද වනවිට මිල්ටන් කර්මාන්තශාලා හිමිකරුවෙකි. ඔහු යටතේ සේවකයන් පනස් දෙනකුට වැඩි පිරිසක් සේවය කරති. ඔවුහු ඉහළ වැටුප් ලබති. නමුත් තවමත් මිල්ටන්ට ඔහුගේ අතීතය හොඳට මතකය.
''මීට වසර හයකට පමණ පෙර අමෙරිකාවට මම ත්‍රිරෝද රථයක් යවන්නට උත්සාහ කළා. ඒ හැම කොටසක්ම අපේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළේ. නමුත් රේගුවෙන් ඒ වාහනය නැවැත්තුවා. ''ලංකාවේ ත්‍රීරෝද හදන්නේ කොහේද? කෑලි අටවලා රටවල්වලට යවනවා'' කියලයි ඒ අය කිව්වේ. මම මගේ වාහනය රේගුවේ තියල වැඩපළට ඇවිත් පැය අටක් ඇණේ ඉඳන් හදන හැටි වීඩියෝ කරලා ඒක විනාඩි දහයක වීඩියෝ එකක් විදිහට හදල ඒක රේගුවට පෙන්නුවා. ඒක දැකපු ඒ නිලධාරීන් පුදුම වුණා. අපේ රටට අපිව අගයක් නැහැ. මට වියට්නාමය, ඊජිප්තුව කතා කරලා ඒ අයට අවශ්‍ය වාහන ටික අපිට හදල දෙන්න කියල ඉල්ලුවා. ඒත් මට එහෙම වෙන රටකට මේක දෙන්න බැහැ. මම මේ රටට ආදරෙයි. මම හුස්ම ගන්නේ මේ රටේ. ඒ නිසා මේ ණය මුදල මට දුන්නොත් මට ඉතා අඩු මුදලට මේ රථ නිෂ්පාදනය කරන්න පුළුවන්.'' යැයි එම්.බී. මිල්ටන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02