රිය අනතුරු දවස ගාණේ වාර්තා වුණත් දුම්රිය අනතුරු වාර්තා වීම ඉතා අවමය. එවැන්නක් කලාතුරකින් වාර්තා වුවද ඉන් මගීන්ට සිදුවන අපහසුතා, තුවාල, ජීවිත හානි හා මූල්‍ය අලාභය ඉතා ප්රබලය. එවැනි බරපතළ අනතුරු කිහිපයක් ලංකාවේ දුම්රිය ඉතිහාසයේ කියැවේ. 1964 දී සිදුවූ විල්වත්ත දුම්රිය අනතුර මෙරට දුම්රිය ඉතිහාසය විශාල කැළඹීමක් සිදු කරන්නට සමත් වූවකි.
මෙසේ පීලි පැනීම නිසා අනතුරට ලක්ව තිබුණේ අංක 400 දරන 'තලෙයිමන්නාරම් එක්ස්ප්‍රස්' දුම්රියයි. 25 කට අධික මගී ජීවිත අහිමි කරමින් තවත් පුද්ගලයන් 88 දෙනකුට පමණ තුවාල සිදු කළ අනතුරට පත් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන මැදිරි, මගී ප්‍රවාහන මැදිරි ඇතුළු මැදිරි 16 කින් සමන්විත වූවකි. අනතුර නිසා දුම්රිය මඟ අඩි 1500 ක් පමණ දුරට විනාශ වී ඇති බව කියැවෙන අතර අනතුරේ වැරුද්ද පැටවී තිබුණේ දුම්රිය රියැදුරු වෙතය. බෑවුම සහිත මාර්ගයේ අධික වේගයෙන් නොසැලකිලිමත්ව දුම්රිය ධාවනය කිරීම යන චෝදනාව ඔහුට එරෙහිව ඔප්පු වී තිබිණ.
මේ අනතුරින් වසර හැටක් ගෙවී ගිය කාලසීමාවේදී අදාළ ප්‍රදේශයේදී දුම්රිය අනතුරු කිහිපයක් වාර්තා වී තිබූ අතර සිදුවීමට ගිය මාරක අනතුරක් දුම්රිය රියදුරුගේ දක්ෂතාවය නිසා වළක්වා ගත් බවද වාර්තා වෙයි. මේ ආකාරයේ ආසන්නතම දුම්රිය අනතුර විල්වත්ත දුම්රිය හරස් මග අසලින් වාර්තා වූයේ ඉකුත් 9 වැනිදා පෙරවරුවේය. පොහොර පටවන ලද අඩි 40 කන්ටේනර් රථයක් මෙහිදී අනතුරට පත්වූ අතර එය සම්පූර්ණයෙන්ම පොඩි පට්ටම් වී විනාශ වී ගොස් ඇතත් එහි රියැදුරු ජීවිත බේරාගෙන තිබූ බව පොලිසිය වාර්තා කළේය.
එප්පාවල සිට පොහොර තොගයක් පටවාගත් කන්ටේනර් රථය මීරිගම හා අඹේපුස්ස අතර විල්වත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය අසලට පැමිණ තිබුණේ අලුයම 5.30 ට පමණය. රථය එම ස්ථානයට එන අතරමගදී යම් කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි පැවසෙන අතර දුම්රිය හරස් මාර්ගය සහිත වංගුව පෙනි පෙනී කන්ටේනර් එන්ජිම අක්‍රිය වී ඇතැයි කියති. කෙසේ හෝ මාර්ගයට ඉඩ තබා රථය පසෙකට කොට නවත්වා ගන්නට රියැදුරු මහතා ක්‍රියා කර තිබුණි. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට බොහෝ වෙලාවක් උත්සාහ දැරූ රියැදුරු මහතා ආපදාවට ලක්වූ කන්ටේනරය පිළිබඳව දුම්රිය ගේට්ටුවේ ක්‍රියාකරුට දන්වා ඇත. ඒ අනුව දුම්රිය ධාවනය නොවන මොහොතක් දැනගෙන කන්ටේනර් රථය දුම්රිය හරස් මග ඔස්සේ ධාවනය කිරීමට උත්සාහ කර ඇතැයි පැවසේ. ඒ මොහොතේම අදාළ කන්ටේනර් රථයට ඉදිරියෙන් මීරිගම දෙස සිට පැමිණ තිබුණේ තවත් එවැනිම කන්ටේනර් රථයකි. මේ නිසා අපහසුවෙන් ඉදිරියට ගත් කන්ටේනර් රථයට මග ඇහිරී ඇති නිසා සිදුවූයේ නැවත වරක් එම රථය පසුපසට ධාවනය කිරීමටය. මෙහිදී යළිත් වරක් කන්ටේනර් රථයේ කාර්මික දෝෂය මතුව එන්ජිම අක්‍රිය වී තිබුණේ නොසිතූ ලෙසිනි. මෙසේ රථය නතර වී ඇත්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම හරස් වී අවහිර වන ලෙසය.
මේ සමඟම දුම්රිය හරස් මග පිහිටි ආලෝක හා විදුලි සීනුව සහිත දුම්රිය සංඥා ක්‍රියාත්මක වූයේ තව මොහොතකින් දුම්රියක් පැමිණෙන බව තහවුරු කරමිනි. හදිසියේ ගත යුතු වෙනත් පියවරක් නොවූයෙන් දුම්රිය ගේට්ටුවේ ක්‍රියාකරු අනතුරුදායක බව දැක්වීම සඳහා දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දෙසට දිව ගියේය. නමුත් ඔහුට හෝ දුම්රිය රියැදුරුට අවස්ථාවක් නොවීය. වේගයෙන් පැමිණි දුම්රිය මග හරස් වූ කන්ටේනරයේ ගැටුණේ විශාල ශබ්දයක් නංවමිනි. එසැණින් ප්‍රදේශය පුරා මහා දුමාරයක් නැගුණි. මේ අවස්ථාව වන විට වාසනාවකට මෙන් කන්ටේනරයේ රියැදුරු ඔහුගේ අසුනෙන් බිමට පැන සිටි බැවින් දිවි බේරාගැනීමට සමත්ව තිබුණි.
දුම්රිය කන්ටේනරයේ ගැටීමත් සමඟ මාර්ගයේ අනෙක් පස නවත්වා තිබූ කන්ටේනරයේ ඉදිරිපසද ගැටී විදුලි කණු, ආරක්ෂක වැට හා දුම්රිය ගේට්ටුවද ගලවාගෙන කන්ටේනර් රථය බොහෝ දුරකට තල්ලු කරගෙන ගොස් නතර විය. මීටර් 100 ක් පමණ දුරට ඇදී ගිය කන්ටේනර් රථය හේතුවෙන් ඉහළ පහළ දුම්රිය මාර්ග දෙකම ඇහිරී ගියේය. කන්ටේනරයේ ඉදිරිපස ටයරය සහිත ඇක්සලය දුම්රිය එන්ජිම තුළ සිරවීම නිසා දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව තිබුණි. මෙසේ අනතුරට ලක්වූයේ පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවනය වූ කාර්යාල ප්‍රවාහන දුම්රියකි.
සිද්ධිය හේතුවෙන් වූ ගැටීම හා කලබලය නිසා දුම්රිය මගීන් කිහිප දෙනකුට සුළු තුවාල සිදුවූ අතර ඔවුහු බාහිර වශයෙන් ප්‍රතිකාර ලබා ගත්හ. අනතුර නිසා පස්යාල - මීරිගම මාර්ගය පැය 3 කට අධික වෙලාවක් ඇණහිට තිබුණු අතර පොලිසිය මැදිහත්ව විකල්ප මාර්ග ඔස්සේ යාමට අවස්ථාව සැලසීය. අසල්වාසීන්ගේද සහායෙන් විසිරී තිබූ පොහොර මලු ඉවත් කර තිබූ අතර දැඩි පරිශ්‍රමයක් යොදවා සිරවී තිබූ කන්ටේනර් පෙට්ටියේ කොටස් ඉවත් කර දුම්රිය ධාවනයට සුදුසු ලෙස මාර්ගය යථාවත් කෙරිණ.
අනතුර නිසා දුම්රිය එන්ජිමට දැඩි අලාභ හානි සිදුවූ බවත් එහි අලාභය කෝටි ගණනක් වන බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. මේ අතර දුම්රිය මැදිරි දෙකකට දැඩි හානි සිදුවූ අතර සිල්පර කොටස් රුසක් හානියට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය. දොඹකර දෙකක සහාය යොදාගෙන අවශ්‍ය කටයුතු සිදු කළ පසුව සිල්පර කොටස් නැවත සවි කිරීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය නැවත ධාවන කටයුතු සඳහා විවෘත කර තිබිණි.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියැදුරු හා දුම්රිය ගේට්ටු මුරකරුගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබිණි. අනතුර පිළිබඳව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි හා ලිපිගොනු පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කරන ලෙසට මීරිගම පොලිසිය වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී තිබිණි.
I සමන්ත ප්‍රදීප් විල්තෙර