විශාල වශයෙන් විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් ජනතාව හිරිහැරයට පත්ව සිටියදී ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා මෙන් ජල බිලද ඉහළ නැංවීය. පසුගිය මැයි මස 02දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවූ ජල බිලේ ප්‍රතිශතය 50%ක් වන බව මණ්ඩලය ප්‍රකාශ කළද ජනමාධ්‍ය වාර්තා කළේ ජල බිල්පත 65% කට වැඩියෙන් ඉහළ ගිය බවය. ඇතැම් ජනමාධ්‍ය වැඩි කළ බිල්පතේ ප්‍රමාණය 200% ක් තරම් වන බවද නිවේදනය කර ඇත. කෙසේ වුවද ජල බිල්පතේ ඉහළ යාම වැඩිපුරම බලපා ඇත්තේ සමාජයේ මධ්‍යම පන්තියට බව කිව යුතුය. ජල බිල්පත ඉහළ දැමීමට සමගාමීව එදිනම සිට මළාපවහන ගාස්තුද 200% කට වැඩියෙන් ඉහළ නංවා තිබේ. රටේ ජනගහනයෙන් 60% කට වැඩි පිරිසක් නළ ජලය භාවිත කරන අතර ඔවුන් සඳහා වෙනත් විකල්පයක් නොමැති නිසා මිල කොතරම් ඉහළ ගියද ජල පාරිභෝජනය අත්‍යවශ්‍ය වී තිබේ. සීමාව ඉක්මවා පාරිභෝජනය අඩු කිරීම අපහසුය. කෙසේ වුවද ජල බිල වැඩි කිරීම පිළිබඳ ජනතාව මැසිවිලි නගද්දී ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර පවසන්නේ ජල බිල සඳහා මිල සූත්‍රයක් තැනීමට අමාත්‍යංශය බලාපොරොත්තු වන බවයි. එහෙත් මෙම මිල සූත්‍රය කවදා තනාවිදැයි විශ්වාසයක් නැත. එසේම එවැනි මිල සූත්‍රයක් තනා ජල මිල අඩු කරන්නට යනවා යැයි පැවසීම විහිළුවක් බව වැඩි දෙනාගේ මතයයි.
ඒ අතරම පසුගිය 31 දින සිට ඉන්ධන මිල හිටිඅඩියේ ඉහළ ගියේය. ඉන්ධන මිල සුළු වශයෙන් පහළ දමා මාසයක් පමණ ගතවෙද්දී යළි මිල ඉහළ නැංවීම නිසා ජනතාවගේ සියලු බලාපොරොත්තු සුන්ව ගියේය. මගී ප්‍රවාහන ගාස්තු ඉහළ ගියද මිල පහළ දැමූ විට වුවද එය පහළ ගියේ නැත. බස් හිමියෝ විවිධ කරුණු දක්වමින් මිල පහළ දැමීම ප්‍රමාද කළහ. දැන් යළිත් මිල ඉහළ ගොස් ඇති නිසා යළි මිල අඩු කිරීමක් ගැන කතා කරන කෙනකු ඇතිවිය නොහැක. සාමාන්‍ය මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 20/- කින් ඉහළ නැංවීම නිසා සාමාන්‍ය ජනතාව යළිත් විශාල ලෙස හිරිහැරයට ලක්ව තිබේ.
විදුලිය, ජලය සහ ඉන්ධන ජනතාවගේ ජීවිත සඳහා දැඩි ලෙස සම්බන්ධ වී ඇති වර්ග තුනකි. මේවායේ මිල ඉහළ යාම සාමාන්‍ය ජනතාව භාවිත කරන සියලුම ද්‍රව්‍යවල මිල වැඩිවීමට හේතු වේ. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කර සිටියේ සියලුම ආපනශාලා ආහාර ද්‍රව්‍ය මිල ජූලි 3දා සිටම ඉහළ දැමීමට සිදුවූ බවය. ජලයේ මිල ඉහළ යාම ආපනශාලා ව්‍යාපාරවලට දැඩි සේ බලපාන අතර වැඩිවන ජල ගාස්තුව පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට සිදුවන බවට අනතුරු හැඟවීය.
එසේම ඉතාම විශාල ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීම නිසාද ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් තිබේ. පානීය ජල බෝතලයේ මිල පවා රුපියල් 5 - 10 අතර ඉහළ ගියේය. මේ වනවිට ධීවර කර්මාන්තය 70% කින් පමණ කඩා වැටී ඇති බව ධීවර සංගම් ප්‍රකාශ කරයි. ඉන්ධනවලින් ගමන් කරන ධීවර යාත්‍රාවක දින 30 ක ගමනකට ඩීසල් ලීටර් 4000 ක් වැයවෙයි. ඒ නිසා ඩීසල් මිල ඉහළ යාම නිසා මත්ස්‍ය නිෂ්පාදනවල මිල සැලකිය යුතු ලෙස ඉහළ නැග ඇත. තලපත් කිලෝව රුපියල් 2700/- ඉක්මවා ඉහළ ගොස් ඇති අතර කෙලවල්ලා කිලෝවක මිලද රුපියල් 2500/- ට වැඩි වී තිබේ. සාලයා කිලෝව රුපියල් 700/- දක්වා වැඩි වී ඇති අතර සෙසු සියලුම කූරි මාළු එයට සමාන්තරව මිල ඉහළ දමා ඇත. ඒ නිසා මත්ස්‍ය ආහාරයක් ගැනීම ඉතාම දුෂ්කර බවට පත්ව තිබේ.
බිත්තර ආනයනය කරන බව පැවසුවද රුපියල් 50/- ඉක්මවා ඇති බිත්තර ගෙඩියක මිල තවම සාධාරණ ලෙස පහළ වැටී නැත. ජනතාවට සිදුව ඇත්තේ රජය පවසන මිලට වඩා වැඩියෙන් බිත්තර මිලට ගැනීමටය. කුකුළු ගොවි සංගම් නියෝජිතයන් පිටරට බිත්තරවලට සමානුපාතිකව බිත්තර මිල පහළ දමන බව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පැවසුවද එය යථාර්ථයක් වී නැති බව පෙනේ. ලක් සතොස ආයතනයක කළමනාකරුවකු ලියුම්කරු සමඟ පැවසුවේ ආයතනයට ලැබුණු බිත්තර පැය කිහිපයක් තුළ විකිණී අවසන් වන බවය. ඇතැම් අය බිත්තර විශාල තොග රුපියල් 30/- බැගින් ලබාගන්නා නිසා වහ වහා සියල්ල විකිණී අවසන් වන බව පැවසූ හෙතෙම තවදුරටත් පැහැදිලි කළේ බිත්තර සීමා කර අලෙවි කිරීමට තමන්ට නොහැකි බවකි.
කුකුළු මස් කිලෝවක මිල මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර පැවතියේ රුපියල් 650 – 700 පමණ පරාසයකය. එහෙත් පසුගිය සමයේ කුකුළු මස් කිලෝව රුපියල් 1600/- ඉක්මවා ඉහළ ගැන තිබුණු අතර මේ වනවිට රුපියල් 1400/- මට්ටමේ පවතී. ගොවියන් පවසන්නේ කුකුළු ආහාර හා රසායනිකවල මිල ඉහළ ගොස් ඇති නිසාද ව්‍යාපාර බදු හේතුවෙන්ද මෙයට වඩා අඩුවෙන් අලෙවි කළ නොහැකි බවය. කරවල මිල ඉහළ ගියේ පසුගිය සමයේ කරවල ආනයනය තහනම් කර තිබුණු නිසාය. එහෙත් මේ වනවිට කරවල පමණක් නොව බොහෝ ආහාර ආනයනවල මිල සීමා නිදහස් කර තිබේ. එහෙත් ඒවායේ මිල අඩුවීමක් සිදුව ඇති බවක් දක්නට නැත. ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 25/- ක බද්දක් පැනවූයේ දේශීය ගොවියා නගා සිටුවීමට බව පවසමිනි. ඒ හේතුව නිසා දේශීය ගොවියාට අර්තාපල් මිල ඉහළ නැංවීමට අවස්ථාව ලැබුණු අතර ආනයනික අර්තාපල් කිලෝවක මිලද මේ වනවිට රුපියල් 200/- ඉක්මවා ගොස් ඇත.
තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කළේ බොහෝ දෙනකු පිටි ආනයනය කිරීමෙන් වෙළෙඳපොළ මිල ඉහළ යනු ඇත යන අපේක්ෂාවෙනි. එහෙත් තවමත් පිටි මිල තීරණය කිරීමේ බලය ඇත්තේ ප්‍රිමා සහ සෙරන්ඩිබ් යන ආයතන දෙකටය. පිටි කිලෝවක මිල රුපියල් 10/- කින් පහළ යාම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළ යාවි යැයි අපේක්ෂා කළද මේ දක්වාම ඒවායේ මිලේ අඩුවීමක් දක්නට නැත. මෙම නිෂ්පාදනවල බර සහ ප්‍රමිතිය පිළිබඳ විවිධ ගැටලු පවතී. පාරිභෝගික සේවා අධිකාරිය පවසනුයේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පාලනය කිරීම ප්‍රායෝගිකව අපහසු බවය. එයට හේතුව බේකරි නිෂ්පාදන විවිධ නම්වලින් හඳුන්වා විවිධ මිලට අලෙවි කිරීම බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි. මේ නිසා බේකරි හිමියන් පාරිභෝගිකයන්ට සුද්දයක් දෙන අන්දම දෙස බලා සිටීමට බලධරයන්ට සිදුව තිබේ.
ජනතාවගේ ආදායම්වල මූර්ත අගය හෙවත් මිලදී ගැනීමේ වටිනාකම පහළ බැසීම සහ ආදායම් මට්ටම පහළ බැසීමත්, සුළු ආදායම්වලින් පවා බදු කපා ගැනීමත් නිසා ආහාර ද්‍රව්‍යවල අද පවතින මිල ජනතාවට දරාගැනීමට අපහසු වී තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවක සඳහන් වී ඇති පරිදි ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ මිල මට්ටම 87% කින් ඉහළ ගොස් ඇත. කොළඹ නාගරික සීමාවේ පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල මට්ටම 136% කින් වැඩි වී ඇති බවද එම වාර්තාවේ සඳහන්ය. ආදායම පහළ යාම සහ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නිසා ජනතාවගේ එදිනෙදා ආහාරවේල පවා සීමා කිරීමට සිදුව ඇති බව දිවයින පුරා ලැබෙන පුවත් වාර්තාවලින් සනාථ වෙයි.
I යසවර්ධන රුද්රිගූ