නාමල් රාජපක්ෂගේ විදුලි බිල සතියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණි. මේ තරමක් පැරණි මාතෘකාවක් වුවත් හිටි හැටියේම යළිත් කරළියට පැමිණියේය. නාමල්ගෙ ලයිට් බිල ඇත්තක්ද? නැත්තක්ද? ගෙව්වාද නොගෙව්වාද? ඇත්තටම නාමල් නඩු යයිද? මෙවන් වූ ප්‍රශ්න සිය ගණනක් ඉදිරිපත්ව තිබුණි. එමනිසාම අපි මේ පිළිබඳව සොයා බැලීමක් සිදු කළෙමු.
ජාතික ජනබලවේගයේ විධායක සභික නලීන් හේවගේ මෙම සංවාදය නිර්මාණය කිරීමේ පුරෝගාමියා විය. ඔහු මීට මාස කිහිපයකට ඉහතදී රෑපවාහිනී දේශපාලන සංවාදයකදී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය සඳහා විදුලිය ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න කර තිබුණි. එහිදී අදාළව චෝදනා නාමල් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම සිදුවීමෙන් මාස කිහිපයකට පසුව නැවතත් නාමල්ගේ මගුල් ගෙදර විදුලි බිලේ කතාව කරළියට රුගෙන එන්නේද නලීන් හේවගේ විසිනි.
''ෆේස්බුක් එකට ගියාම තියෙනවා 12 වැනිදා තමයි එයාගේ වෙඩින් එක තිබුණේ. ඒකට කියලා නමින් ඉල්ලා නැහැ. ඕක සතියක් විතර කළානේ එහේ. එයාගේ වෙඩින් එකේ ෆොටෝස් තියෙනවා ඒ දවස්වල ෆේස්බුක් එකේ දාලා.
මම ඕක ගැන මීට මාස 06 කට ඉහතදී පැවති රෑපවාහිනී වැඩසටහනකදී සඳහන් කළා. ඒ වෙලාවේ නාමල් මන්ත්‍රීතුමා සජීවී වැඩසටහනට සම්බන්ධ වෙලා ඒක ප්‍රතික්ෂේප කළා. ඊටපස්සේ තමයි මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ගැන තොරතුරු ඉල්ලා සිටියේ.''
ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළා යැයි කියැවෙන ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටියේ නිවසේ පැවැත්වෙන උත්සවයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වන බව දන්වා ඊට ආරක්‍ෂිත පහන් සවි කිරීම සහ විදුලි සැපයුම ලබාදීමට පියවර ගන්නා ලෙස මණ්ඩලය වෙත ඉල්ලීමක් ලැබී ඇතැයි එම ලිපියේ දැක්වෙයි.
එසේම එම කාලවකවානුව සඳහා විදුලි ජනන යන්ත්‍ර ලබාදීම සහ විදුලි ආරක්‍ෂිත පහන් සවිකර නැවත ගලවා ඉවත්කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් විසි අට ලක්ෂ අසූ දෙදහස් දෙසීය හතළිස් හයයි ශත පනස් හතක (26,82,246.57) මුදලක් දැරීමට සිදුවූ බව විදුලිබල මණ්ඩලයේ ලිපියේ සඳහන් වේ. තවද ඇස්තමේන්තුගත මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත්, එම මුදල මෙතෙක් ගෙවා නොමැති බවද මෙහි සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙම ලිපිය නිකුත් වීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ තමන්ට හෝ තම පියාට විදුලි බිලක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක් කර නොමැති බවයි.
''ඔව්. මම බැලුවා. අපිට එහෙම බිලක් එවලා නැහැ CEB එකෙන්. මම මගේ ලේකම්වරයා හරහා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දීමක් කළා එහෙම බිලක් තියෙනවාද? කාගේ නමටද තියන්නේ? කවදද අපිට බිල එව්වේ කියලා කියන්න කියලා.''
''මටවත්, තාත්තිගේ නමටවත් අද වෙනකම් එහෙම බිලක් ඇවිල්ලා නැහැ. මොකක්ද ඔය ට්‍රාන්ස්ෆෝමර් එකක් ගැන නේ කියන්නේ. එහෙම එකක් හයි කරලත් නැහැ. අපේ එඩ්‍රස් එකට හයි කළා නම් බිලක් එවන්න එපැයි.''
මේ අනුව නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් විදුලිබල මණ්ඩලය වෙත යැවූ ලිපියද මේ වනවිටත් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
මේ අතර අදාළ විදුලි සම්බන්ධතාවය ලබාගැනීම සඳහා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලැබූ ඩී.වී. චානක විසින් එවක විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රවී කරුණානායක වෙත යොමුකර ඇති බව කියැවෙන ලිපියක්ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් හුවමාරු වෙමින් තිබේ.
කෙසේ වෙතත් වර්තමානයේ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසින් කටයුතු කරන්නේද ඩී.වී. චානක මහතාය. එනිසාම මේ හා සම්බන්ධ විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින් මෙම චෝදනාවට පිළිතුරු බැඳිය නොහැකි බව ඔහු පවසා තිබුණි. මෙවන් වටපිටාවක් හමුවේ මෙම ගැටලුව පිළිබඳ සංවාදය තව තවත් බරපතල වේ. මෙම බිල්පත නිකුත් වී ඇත්තේ කා නමටද? කුමක් වෙනුවෙන්ද? ගෙවීම් පැහැර හැරියේ කවුද යන්න තහවුරු කරගැනීමද තවදුරටත් පහසු නොවේ. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ පක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය දිගින් දිගටම අවධාරණය කළ යුතුය.
මේ අතර තමන් විදුලිබල මණ්ඩලයට යොමුකළ ලිපියට තවමත් ප්‍රතිචාර ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා වනවිට සඳහන් කර තිබුණි. මෙම පිළිබඳ පැහැදිලි කිරීමක් ඉතා කඩිනමින් සිදුකරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළ බවක්ද ඉකුත්දා මාධ්‍ය වාර්තා කළේය.
''පැහැදිලිවම ආරක්ෂක අංශ විසින් ඉල්ලීමක් කරලා තියෙනවා ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන්න කියලා. නැතුව මඟුල් ගෙදරට විදුලිය දෙන්න කියලා ඉල්ලීමක් කරල නෑ. එහෙම බිලක් තියෙනවා නම් චානක ඇමතිතුමාට එවන්න ඕනෑ. එතුමාටත් එවල නෑ. ඉල්ලීමක් කරපු කෙනාට එවලාත් නැත්නම්, බැඳපු කෙනාට එවලාත් නැත්නම්, ඉඩමේ අයිති කෙනාටත් එවලා නැත්නම් කොහෙටද මේ බිල ගියේ. අපිට සැකයක් තියෙනවා එක්කෝ යම්කිසි තැනක හිතාමතා වරද්දලා කරලා තියෙනවා. නැත්නම් වැරදීමකින් වැරදිලා තියෙනවා.''
ඒ අනුව තමන්ගේ යැයි කියන හිඟ විදුලි බිල සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර දියත් කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කියා සිටියේය. කවරක් වෙතත් මෙය හා සම්බන්ධ විධිමත් පැහැදිලි කිරීම සිදුකළ යුත්තේ ලංකා විදුලිබල මණ්ඩලය විසිනි. එම පැහැදිලි කිරීම අනුව වරද කාගේද යන්න මහජනයාට අවබෝධ කරගත හැකිවනු ඇත.
අගහිඟකම්වලින් පීඩිතව සිටින ජනතාවගේ රුපියල් දෙතුන් දහසේ හිඟයට විදුලිය විසන්ධි කර යන විදුලිබල මණ්ඩලය මෙවන් බිලක් වී නම් එය සඟවාගෙන සිටියේ ඇයි? එසේම මෙවන් බිලක් පැමිණි පසු සිය දේශපාලන හයිකාරකම් පෙන්වා යමෙක් එය නොගෙවා සිටින්නේ ඇයි? දේශපාලන මඩ ගැසීමේ අරමුණින් යුතුව මෙම සියල්ල යමෙක් ගෙතුණු කතාවක් නම් ඒ ඇයි?
තවදුරටත් මේ ප්‍රශ්නවලට පිළිතුරු අප සතුව නොවේ. අවසානයේ මේ සියලු ගැටලු නිරාකරණය කරගත හැක්කේ විමර්ශනයකින් පමණි. ඒ අනුව අප සියලුදෙනා ඉල්ලා සිටින්නේද විනිවිද පෙනෙන අපක්ෂපාතී විමර්ශනයකි. කෙසේ වෙතත් නාමල් මෙම බිල ගෙවා නැතිනම් කඩිනමින් එය ගෙවිය යුතුමය.
I චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර : BBC සිංහල