2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ලියාපදිංචිය නැත්නම් රට යන්න බෑ...

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

ඉන්දිරා පතිනායක (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විදේශ සේවා නියුක්ති කාර්යාංශය)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ රාජ්‍ය ආයතනයක්. ගොඩක් රාජ්‍ය ආයතනවලට වෙලා තියෙන දේ තමයි මහජනතාව එක්ක සමීප නෑ කියන එක. ඇත්තටම කාර්යාංශය සහ ජනතාව අතර විශේෂ සම්බන්ධයක් ගොඩනැගෙන්නේ කොහොමද?

අපි ඒ නිසා තමයි කොළඹ තියෙන ප්‍රධාන කාර්යාලයට සීමා නොකර පළාත් මට්ටමිනුත් දිස්ත්‍රික් මට්‍ටමිනුත් පුළුල් කරලා තියෙන්නේ. අපේ සේවාවන් විමධ්‍යගත කරලා තියෙන්නේ. අපේ පුහුණු ආයතන පවා එහෙම විමධ්‍යගත කරලා තියෙන්නේ. ඒ වගේම විගමනික පවුල්වලට සුබසාධනය සලසන්නත් අපි ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරමින් ඉන්නේ. අපේ ප්‍රාදේශීය මට්ටමින් වැඩ කටයුතු කරන අය පළාත්වල අය සමඟ එකතුවෙලා මේ සුබසාධන කටයුතු කරනවා. ඒ වගේම රට රැකියාවලට යන තරැණ තරැණියන්ගේ ආරක්ෂාව ගැන අපි උපරිමයෙන් අවධානය යොමුකරලා තියෙන්නේ. ඒ වගේම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිවලට රට යන්න ආසා නිසාම අහුවෙනවා. ඉතින් අපි කාර්යාංශය හැටියට ඒ සම්බන්ධයෙනුත් මැදිහත් වීමක් වෙනවා. ඉතින් අපි හැමවෙලේම ඒවා ගැන දැනුවත් කරනවා. ඒ වගේම ඕනෑම වෙලාවක ඒ අයගේ පවුල්වල අයටත් අපිට පැමිණිලි කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ.

ඒ කියන්නේ රට යන අය වගේම, ඒ අයගේ පවුල්වල අයටත් ඔබලගේ ආයතනයේ ඉඩ තියෙනවා?

ඔව්. මේ වර්ෂය හඳුන්වලා දීලා තියෙනවා විගමනිකයන් සඳහා සුබසාධන වර්ෂයක් හැටියට. ඒ නිසා සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා වගේම අපි හඳුන්වලා දීලත් තියෙනවා. ඉස්සර නම් පැමිණිල්ලක් දාන්න වැඩ කරන කෙනා එක්කෝ තානාපති කාර්යාලයට යන්න ඕන. නැත්නම් නෑදෑයෝ නම් ප්‍රධාන කාර්යාලයට එන්න ඕන. ඒත් දැන් ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකින් තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්.

එහෙම නැතුව බැරිද?

පුළුවන්. මේ වෙද්දි රැකියාවේ නිරත වෙන කෙනාටත්, ඒ අයගේ පවුලේ අයටත් ඔන්ලයින් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔවුන්ට අවශ්‍ය සහාය කාර්යාංශය මගින් ලබාගන්න පුළුවන්. මේ සියල්ල අපි ජනතාවට සමීප කරන්නයි කටයුතු ලෑස්ති කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන විවාහක කෙනෙක් නම් ඒ අයගේ දරැවන්ට ශිෂ්‍යත්ව දෙනවා, අධ්‍යාපනය සඳහා පහසුකම් ලබා දෙනවා. ඒ සියල්ලම ඉෂ්ඨ කරනවා.

ඔබ කිව්වා රට යන කෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කරනවා කියලා. ඒ කොහොම කිව්වත් තවම ව්‍යාජ රැකියා නියෝජිත ආයතන රාශියක් රට තුළ ක්‍රියාත්මක වෙනවනේ?

ඇත්‍තටම ඒකට අපි කරන්න ඕන නිරන්තර දැනුවත් කිරීම. අපි කාර්යාංශයක් හැටියට ඒ වගකීම අරගෙන තියෙනවා නිරන්තරයෙන්ම. අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක බොහෝ දෙනෙක් උත්සාහ ගන්නේ රටින් පිට වෙන්න. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ ව්‍යාජ තැන්වලට ජනතාව ගොඩක් අහුවෙනවා. ඒ නිසා ජනතාවට නිවැරදි මඟපෙන්වන්නෙක් අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා අපි පැය 24 සේවාව ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 1989 අපි විශේෂ අංකයකුත්, ඊට අමතර වෙබ්අඩවියෙනුත් අවශ්‍ය තොරතුරැ ලබාගන්න පුළුවන්.

රට රැකියාවට යන කෙනාගේ වගකීම ගන්නේ කොහොමද?

යම්කිසි කෙනෙක් රට රැකියාවකට යනවනේ. වීසා එක විතරක් නෙමෙයි, ගුවන් ටිකට්පතකුත් ඕනනේ. එහෙම යන කෙනෙක් වුණත් අපේ කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න ඕන. අන්න ඒ අවසරය පවා මේ වෙද්දි අපි ඔන්ලයින් ඔස්සේ ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ සියල්ල හරහා අපි උත්සාහ කරන්නේ මහජනතාවට සමීප ආයතනයක් කරන්න. විශේෂයෙන් අපි රැකියා වර්ග දෙකකට කඩලා තියෙන්නේ. එකක් ගෘහාශ්‍රිත රැකියා, අනෙක ගෘහාශ්‍රිත නොවන රැකියා කියලා.

ගොඩක් අය යන්නේ ගෘහාශ්‍රිතව, ඒ වගේම වැඩි ප්‍රශ්න තියෙන්නෙත් එයාලට?

ඔව්. අපි ඒ සඳහා යම් සීමාවන් වගයක් දාලා තියෙන්නේ. විශේෂයෙන් යන රටවල්, වයස් සීමාවල්, විශේෂ පුහුණු, මේ සියල්ල අපි දාලා තියෙන්නේ ඒ වගේ ගෘහාශ්‍රිතව යන අයට. ඒ මොනවත් නිසා නෙමෙයි. ඒ අයගෙම ආරක්ෂාවට. විශේෂයෙන් යම් ගැටලුවක් වුණොත් ඒ ගැටලුව නිරාකරණය කරන්න හාම්පුතා ඒ රටේ තියෙන තානාපති කාර්යාලයේ ගිණුමකට මුදල් තැන්පත් කරන්න ඕන ඩොලර් 1000 කට වැඩිය. ඒත් මේ ගැන නොදන්න අය නීතිමය රාමුවෙන් පිට පැනලා යන්න උත්සාහ කරනවා.

එහෙම යන්න පුළුවන්ද?

ඔව් සමහර අය විසිට් වීසාවලින් යනවා. ඒක ඉතාම බරපතළ අවදානමක්. ඒත් රැකියාව සඳහාම යන කෙනෙක් නම් ගුවන් තොටුපළේදී අපේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනවා. එහෙම කරලා ඒ අයට ඒ මොහොතේ සිදුකරගන්න අවශ්‍ය දේවලුත්, නීතිවිරෝධී නම් නැවත හරවලත් යවනවා.

මොනවද ඒ මොහොතේ ගන්න පුළුවන් පියවර එහෙම යන කෙනෙක්ට?

ඔහු හෝ ඇය සුදුසුකම් සපුරලා නම්, අපගේ අවසරය විතරක් නැත්නම් ඒ මොහොතෙම අදාළ ගාස්තු ගෙවලා අපිට සම්බන්ධ වෙන්න පුළුවන් අපි නිලධාරීන් ඉන්න නිසා. ඒත් හිතන්න, අවශ්‍ය වයස නැත්නම්, පුහුණු සහතිකයක් නැත්නම් ඒ වගේ දේවල් නැත්නම් නැවත හරවා එවනවා. මොකද අපි හැම මොහොතේම සේවකයගේ ආරක්ෂාව බලන්නේ.

ඒ කියන්නේ කාර්යාංශයේ අවසරයක් නැත්නම් රට රැකියාවකට යන්න බැරිද?

ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් අනිවාර්යයි, ලියාපදිංචිය කියන එක සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන. එහෙම නැතුව යන්න බෑ. රැකියා වීසා එකක් තියෙන කිසිම කෙනෙක්ට බෑ. ඒ නිසයි අපේ කණ්ඩායමක් ගුවන් තොටුපළේ ඉන්නේ. ඒවා පරීක්ෂා කරන්නයි ඉන්නේ.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02