2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ලෙයට ලෙය ගන්න පුතා වෙනුවට තාත්තා මරයි

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 305

පස් චමින්දව ජූඩ් ප්‍රියන්‍තලගේ උවමනාවට එහා යමින් ඝාතනය කිරීම නිසා පද්මසිරි හිටියේ මහා පොරක් මෙනි. එහෙත් යතුරුපැදියේ සිදුවීමෙන් පසුව මාකිලංගමුවේ සංජීව සියල්ල දැන ගත්තේය. එනම් ආයුධත් යතුරුපැදියත් ලබා දුන්නේ පද්මසිරි බවය. තමාගේ ආදායමට එල්ල කළ මරු පහරක් හේතුවෙන් සංජීව සිය අණ ක්‍රියාත්මක කළේ පද්මසිරිගේ පවුලේ කැමැති අයකුගෙන් වාඩුව ගන්නා ආකාරයටය. ඒ අනුව සංජීව තම ගෝලයන් දෙදෙනකු හට වාඩුව ගැනීමේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේය. සැබැවින්ම පාතාලය එවැනි කොන්ත්‍රාත් ලබාදෙන්නේ මැරුණු අය සම්බන්ධයෙන් ඇතිවන අනුකම්පාව නිසා නොව තමන්ගේ තත්ත්වය ගැන සිතාය. ඒ මරණය තමන්ගේ ආත්මගරුත්වයට එල්ල කළ පහරක් ලෙස ඔවුන් සිතන බැවිනි. එනිසාම කෙසේ හෝ ලෙයට ලෙයින් ගැනීම පාතාලයේ න්‍යාය බව කිව යුතුය. ඒ අනුව සංජීවද ලෙයට ලෙය ගැනීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේය. ඒ චතුරක සහ ලක්මාල්ටය. ඒ අනුව චතුරක සහ ලක්මාල් ඉලක්ක කළේ එකවරම පිය පුතු දෙපළ පරළොව යැවීමටය. ඒ නෙවිල් සහ පද්මේය.

සූදානම් කරගත් පරිදි එක්තරා දිනක රාත්‍රියේ චතුරක සහ ලක්මාල් ආයුධ රුගෙන පද්මේ සොයාගෙන ගියහ. පද්මේගේ නිවෙසත්, නෙවිල්ගේ නිවෙසත් එකම ඉඩමේ පිහිටා තිබුණේ වෙන වෙනමය. නෙවිල් තම පුත්‍රයා වන පද්මසිරි විසින් පස් චමින්ද ඝාතනය කළ බව දැන සිටියේ නැත. එහෙත්  පද්මේගේ සමහර නොමනා හැසිරීම් නිසා ඔහු හිටියේ කලකිරීමෙනි. එදා මාරයා සොයාගෙන ආවේ පද්මේ සහ නෙවිල් දෙදෙනාමය. යතුරුපැදියකින් දෙදෙනකු තමන්ගේ වත්තට ඇතුළු වීමත් සමඟ එය දුටු පද්මේට කුමක් සිදුවන්නේද යන්න අවබෝධ විය. මේ නිසාම පද්මේ සියල්ල අකුලාගෙන දොර මුල්ලක සැඟවී සිටියේය. පද්මේ නිවෙසේ නැති බව දැනගත් වෙඩික්කරුවෝ පසුව නෙවිල්ගේ නිවෙසේ අඩ නින්දක හාන්සි පුටුවක නිදාගෙන සිටි නෙවිල්ට එකට දිගට වෙඩි තබා ඝාතනය කළහ. ඒ ලෙයට ලෙයක් ගැනීමේ පරමාර්ථයෙනි.

1975 සිට කිසිදු වරදක් නොකර ඉතාම යහපත්ව සිටි නෙවිල්ට තම පුත්‍රයාගේ වරද හේතුවෙන් සිය ජීවිතය බිලි දෙන්නට සිදුවිය. එහෙත් මාර පොරක් ලෙස දැඟලූ පද්මසිරි ගෙයි මුල්ලක සැඟවී ජීවිතය බේරගත්තේය. පද්මසිරි සැඟවුණේ කිසිවක් නොදන්නා පොඩි එකකු ලෙසිනි.

කෙසේවෙතත් නෙවිල්ගේ ඝාතනය වෙනත් පැත්තකට යැවීම සඳහා පද්මසිරි කතාවක් මැව්වේය. එනම් ගම්පහ ඔස්මන්‍ට මීට පෙර දිනක (2018) සංජීවගේ ගෝලයන් විසින් වෙඩි තැබීමේ සිදු කළ දින ඔස්මන් බැලීමට තමන් ගොස් සිටි නිසා මෙලෙස පලිගත් බවට ඔහු ප්‍රචාරයක් ගෙන ගියේය. එහෙත් එය අමූලික බොරුවක් විය. නමුත් ප්‍රදේශවාසීන්ද සිතුවේ එය සැබෑවක් බවය. එසේම සංජීව සිතුවේද පද්මසිරි සහ ගම්පහ ඔස්මන් අතර සම්බන්ධයක් ඇති බවය. එහෙත් ගම්පහ ඔස්මන් ඇසුරු කළේ මීට වසර ගණනාවකට පෙර පද්මසිරිගේ පියාය. ඒ නෙවිල් යහපත් පුද්ගලයකු වීම හේතුවෙනි. නමුත් පද්මසිරිගේ නොමනා වැඩ නිසා නෙවිල් සමඟ ගනුදෙනුව පවා ඔස්මන් අත්හැර දැමුවේය. නෙවිල්ද මගහැරියේය. ඒ ලැජ්ජාව හේතුවෙනි. පද්මසිරි වැනි පුතකුගේ පියා කීමට නොහැකි බැවිනි.

නෙවිල්ගේ ඝාතනය සම්බන්ධයෙන් පද්මසිරි අතේ බොරුවක් ගෙතුවත් පද්මසිරිව ආරක්ෂාව පතා පොලීසියට රුගෙන ආ අවස්ථාවේ පොලීසිය සියල්ල පද්මසිරිගෙන් දැනගෙන  තිබිණි. එනම් නෙවිල්ට ප්‍රහාරයක් එල්ල වීමට හේතුව වූයේ සැබැවින්ම පස් චමින්ද ඝාතනය කිරීමේ ප්‍රතිප්‍රහාරය බවය. මේ නිසාම පද්මසිරි ගොඩනැගු සියලු බොරු කුඩුපට්ටම් වී ගියේය. අවසානයේ පද්මසිරිව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබීය.

එලෙස බන්ධනාගාර ගතවූ පද්මසිරි දෙවැනි අදියරට බන්ධනාගාරයේ සිට පිඹුරුපත් අඳින්නට සූදානම් විය. ඒ බන්ධනාගාරයේ එකට සිටි ජූඩ් සහ චූලා සමඟය. පද්මසිරිට අවශ්‍ය වුණේ ලංකාවෙන් එළියට ගොස් සංජීවට වැඩක් දෙන්නටය. ඒ අනුව පද්මසිරි බන්ධනාගාරයෙන් එළියට ආ සැණින් තමන්ගේ දෙවැනි නැවතුම්පළ ලෙස තෝරාගෙන සිටියේ ඩුබායි රාජ්‍යයි. ඒ සියලු දෙනාගේ ආරක්ෂක ගුහාව වීම හේතුවෙනි.

මේ අතර එක් දිනක් පද්මසිරිගේ පරම හතුරකු වූ පස් පොඩ්ඩා ආයුධ සමඟ කොටුවිය. මෙය පද්මසිරිට සතුටුදායක පුවතක් විය. එහෙත් පද්මේට අවශ්‍ය වුණේ පරණ කෝන්තරය පිරිමැසීමටත්, පස් අයිතිය ලබාගැනීමටත් කෙසේ හෝ පස් පොඩ්ඩා වෙඩි තබා ඝාතනය කිරීමටත්ය. මේ අරමුණ නිතර පද්මසිරිගේ හිතේ රුඳී තිබිණි.

මේ අතර සංජීවට අවශ්‍ය වූයේ පොඩි කොල්ලකු වැනි පද්මසිරිට දෙකක් තුනක් ඇන පැත්තකට කරන්නටය. එසේ පැත්තකට කර ගම්පහ ඔස්මන්ට වෙඩි තබා තමන් හීන දකින ගම්පහ රාජ්‍ය, තමන් පාලනයට ගෙන කප්පම්, මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරන්නටය. එහෙත් සංජීවට සිදුවුණේ අහක යන පද්මසිරි සමඟ පැටලීමටය. කෙසේවෙතත් සංජීව දැන සිටි එක් කාරණයක් වූයේ නයි පැටියා පැටියා වුවත් විස නිසා කෙසේ හෝ පද්මේ මේ කතාවෙන් සදාකල් ඉවත් කරන්නටය. ඒ නිසාම සංජීව ඉතාම අවබෝධයෙන් තම අරමුණ හිසේ තබාගෙන කල් ගෙවීය. සංජීව පස් පොඩ්ඩා සමඟ එක්ව පස් ව්‍යාපාරය සුපුරුදු පරිදි කරගෙන ගියේය. පොඩ්ඩාද කරගන්නට දෙයක් නොමැති වීමෙන් සංජීවට අවනත විය.
ලබන සතියේ...

I පද්මසිරි ඩුබායිවලට - පස් පොඩ්ඩාට මරණ වරෙන්තුව