අට මසක් තිස්සේ කිරි සිනා බලන්නට පෙරුම් පිරූ ඇය ආදරණීය අම්මා කෙනෙකි. මාස ගණනාවකට පෙර සිටම කිරි සිහිනයක එල්බ උන් ඈ සියලු අපහසුතා වේදනාවන් උහුලා ගනිමින් ආදරණීය බලාපොරොත්තුවක සිටියාය. ඒත් ඇය සිත් කළ අදහස වියැකී තිබුණේ පෙරුම්පිරූ සිහිනය දෑස මානයේම බොඳ කරවමිනි.
කොහේදෝ සිට කුසට පැමිණි දරු පැටියා මෙලොව එළිය දුටු මොහොතේම පත්ව තිබුණේ මහා අභාග්‍යයකටය. හිත් පාරනා මේ කඳුළු කතාව කිරි සිහින දුටු මවට නපුරු සිහිනයක් වැනිය.
අසරණ රෝගීන් නිකරුණේ මරණයට පත්වීම, රෝහල් අඩුපාඩු, රෝහල් කාර්ය මණ්ඩල දුර්වලතා පමණක් නොව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම වැරදි අඩුපාඩු දුර්වලතා ගැන කියැවෙන සමයක මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙනි. රෝහල් බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා දරු ප්‍රසූතිය අවස්ථාවේ බිළිඳකු බිමට වැටීමෙන් පසුව ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මිය යාම ඒ අවාසනාවන්ත පුවතයි.
නොවිය යුත්තක් වූ මෙකී අවාසනාවන්ත මොහොතට මුහුණ දී තිබුණේ ටී.ඒ. තක්ෂිලා උදයංගනී නැමැති කාන්තාවකි. ඇය රඹෑව කල්ලංචිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. නොබෝ දිනකින් දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටි තක්ෂිලා සුසිනිඳු රෙදි ගෙන කොට්ට උර සහ ඇඳ ඇතිරිලි සූදානම් කරමින් සිටියාය. ඒ පවුලට එන අලුත් දරු පැටියාගේ සුව පහසුව උදෙසාය.
මෙසේ කල් ගෙවමින් සිටි තක්ෂිලාගේ උදරයට යම් වෙනසක් දැනෙමින් තිබියදී ඇය ඒ බව සැමියාට දන්වා රෝහල් ගතවීමට තීරණය කළාය. ඒ අනුව ඔහු බිරියගේ තත්ත්වය හා පහළ වූ ලක්ෂණ අනුව කඩිනමින් ඇය කල්ලංචිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළේය. ඒ පසුගිය 10 වැනිදාය. ඒ වන විටත් හදිසි තත්ත්වයක පසුවූ ගැබිනි මාතාව කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබුණි. ඒ සඳහා ගිලන් රථයක් යෙදවීමට කටයුතු කෙරිණ. අනුරාධපුර රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට මිනිත්තු තිහක පමණ කාලයක් රුඳී සිටි පසුව තක්ෂිලා උදයංගනී නැමැති ගැබිනි මාතාව 64 වාට්ටුවට ඇතුළත් කළ බව පැවසේ.
මෙම අවස්ථාවේ ගැබිනි මාතාවගේ වේදනාව වැඩිවීම නිසා ඇය සූතිකාගාරයට යොමුකර ඇත. අනතුරුව සිදුවූ දෑ පිළිබඳව තක්ෂිලා උදයංගනී මහත්මිය මෙසේ කීවාය.
''රෝහලට ආපු ගමන් අමාරුව වැඩි නිසා ඕ.පී.ඩී. එකෙන්ම මාව ට්‍රොලියක දාගෙන ආවා. එතැන හිටපු මිඩ් වයිෆ් මිස්ලා කිව්වා අම්මාට අමාරුයි, බබා හම්බවෙන්න ළඟයි කියලා. පස්සේ ට්‍රොලියෙන් මාව ඇඳට දැම්මා. එතැන මිස්ලා කීවා අම්මෙ.. බබා එන්න ළඟයි, ඔයා කකුල් දෙක අල්ලා ගන්න කියලා. මට අමාරු නිසා ඉක්මනටම බබාව හම්බවුණා. බබා හම්බවෙලා වැටුණෙ බිමට. මිස්ලා ළඟට හිටියට ඒ අයට අල්ලාගන්න බැරි වුණා. ඒ වෙලාවේ ඉඳලා බබා දැඩි සත්කාර ඒකකයේ හිටියේ. 13 වැනිදා බබා නැතිවුණා කියලා දැනගත්තේ. ඩොක්ටර්ස්ලාගෙන් මේ ගැන ඇහුවාම කියන්නේ බබා වර්ධනය වෙලා මදි කියලා. බබා බිමට වැටුණු එක ගැන මුකුත් කියන්නේ නෑ.''
සිදුවීමෙන් කම්පනයට පත්වී සිටින තක්ෂිලා මහත්මියගේ සැමියා වන මාරසිංහ දිසානායක මහතා මෙසේ පැවසීය.
''මගේ නෝනාට බබා හම්බවෙන්න අමාරුවෙලා කල්ලංචිය රෝහලට ඇතුළත් කළා. අමාරුව වැඩි නිසා ගිලන් රථයකින් අනුරාධපුර රෝහලට මාරු කර යැව්වා. පැය බාගයකින් විතර ලේබර් රූම් එකට ගත්තා. ඒ වෙලාවේ බිරිඳට දරුවා ප්‍රසූත වෙලා බබා අල්ලාගන්න කාටවත් බැරිවෙලා දරුවා බිමට වැටිලා. ඔළුව වැදිලා තියෙන්නේ. නර්ස් කෙනෙක් බබාව අරගෙන දුවලා තියෙනවා. අම්මට පෙන්නලත් නෑ. වාට්ටුවේ හිටපු දැකපු අයත් කියන්නේ දරුවා අල්ලගන්න බැරිව බිම වැටුණා කියලා. දැන් මගේ දරුවා දවස් තුනකට පස්සෙ නැතිවෙලා. මගේ දරුවාට පාංශුකූල දෙන්නවත් රෝහල් බලධාරීන් අවස්ථාව දුන්නේ නෑ. රෝහල් අධ්‍යක්ෂ ළඟට ගිහින් කීවත් අවසරයක් ලැබුණෙ නෑ. මට සාධාරණයක් ඉටුකර දෙන්න. තවත් කෙනකුට මේ වගේ දෙයක් වෙන් තියන්න එපා.''
අනුරාධපුර රෝහලේ දරු ප්‍රසූතිකාගාරයේදී උපන් දරුවා බිමට වැටී මිය යාමට හේතුව කාර්ය මණ්ඩලයේ අපරීක්ෂාව බවට මවුපියෝ චෝදනා කරති. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා මෙසේ පැවසීය.
''මේ දරු ප්‍රසූතිය සිදුවෙලා තිබෙන්නේ පසුගිය 10 වැනිදා උදේ. 6.59 ට විතර. දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේ 14 වැනිදා. එදා තමයි සිද්ධිය වාර්තා වුණේ. එම අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය නිසි පරිදි කටයුතු කර තිබෙනවා. මෙය විරල අවස්ථාවක් වගේම අවාසනාවන්තව සිදුවුණු දරු ප්‍රසූතියක්. සාමාන්‍ය ප්‍රසූතියක් නම් මව ප්‍රසූතාගාරයට යවලා මිනිත්තු 20ක්වත් ගත වෙනවා. එය දුෂ්කර ක්‍රියාවක් නිසා යම් කාලයක් ගතවෙනවා. නමුත් සමහර අවස්ථා තිබෙනවා දරුවා එකවරම එළියට එනවා. ඒක කාටවත් කියන්න හිතන්න බෑ. එවැනි විටෙක හදිසියේ ප්‍රසූත වෙද්දි දරුවා අල්ලාගන්න යද්දි යම් යම් දුෂ්කරතා ඇතිවෙනවා. ළඟම තිබුණු ප්‍රසූතිකාගාරයට තමයි මව යොමු කරලා තිබුණේ. දරුවා ප්‍රසූත වෙන්න තිබුණු කාලයට වඩා අඩු කාලයකින් තමයි ප්‍රසූතිය ආරම්භ වී තිබෙන්නේ. අඩු බර දරුවෙක් විදිහට සති 32 කින් තමයි දරුවාගේ උපත සිදුව තිබුණේ. මේ අවස්ථාවේ කාර්ය මණ්ඩලය සූදානම් වෙද්දි ඔළුව හිරවෙලා තිබිලා ගර්භාෂයේ තිබුණු පීඩනයත් එක්ක එකවර ඔළුව නිදහස් වෙලා පෙකනි වැල දරුවගේ සිට අඩියක පමණ දුරින් කැඩිලා තිබෙනවා. එතනදි දරුවා ඇඳ දිගේ රූටා වැටී තිබෙනවා. කාර්ය මණ්ඩලය දරුවා අල්ලාගන්න පරිශ්‍රමයක් යොදා තිබෙනවා. මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සනාථ වෙයි. දරුවා ප්‍රසූත වෙනකොට අධික තෙරපුමකින් නිදහස් වෙනකොට අධි පීඩනයක සිට අඩු පීඩනයකට යද්දි හිස තුළ තිබෙන වාහිනී කැඩිලා රුධිර වහනය වීමක් වෙන්න පුළුවන්. සහ වැටීමකදිත් එහෙම වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියකට පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් හා පුහුණුව ලත් හෙද නිලධාරිනියක් යොමු කරනවා. මෙය හදිසි අවස්ථාවක් නිසා නිලධාරින් තුන් දෙනෙක් යොමුවෙලා තිබෙනවා. මම මේක දකින්නේ හදිසි අවස්ථාවක සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීමක් විදිහටයි. කාර්ය මණ්ඩලයේ පිරිස ප්‍රසූතිය සඳහා සම්බන්ධ වී තිබෙනවා.''
මේ සම්බන්ධයෙන් රෝහල පාර්ශ්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
I සමන්ත ප්‍රදීප් විල්තෙර