2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

රෝද පුටුවෙන් ක්‍රිකට් ගහන දිරිය කණ්ඩායමේ නේපාල සිහිනය

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 162

මේ ක්‍රිකට් වසන්ත සමයයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කණ්ඩායම් කිහිපයකට වෙන්ව එක් කුසලානයකට තරග වදිති. ක්‍රිකට් ලෝලීහු ඔවුන් වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නගති. මේ අතර තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් මෑතකදී නේපාලයේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් කුසලානයක් වෙනුවෙන් පුහුණුවීම්වල නිරත වෙති. ඔවුන්ගේ මේ නිහඬ හැකියාවන් දිරිගන්වන්නට සිටින්නේ ඉතා සීමිත පිරිසක් පමණි. ක්‍රීඩාවේ ඉහළ නිලතල දරන ඇතැම් නිලධාරීහු පවා මේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳ නොදනිති. නමුත් මොවුහු නේපාලයේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් කුසලානය දිනා ලක් මාතාවට ආඩම්බරයක් වීමට දිවා රූ නොතකා වෙහෙස මහන්සි වෙති.

''ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය (Sri Lanka wheel-chair Cricket Association) ආරම්භ කරන ලද්දේ 2022 වසරේ ඔක්තෝබර් පළවැනිදාය.'' ඊට පෙර ආබාධිත අපි නිතර නිතර මුණගැහිලා තියෙනවා. මේ හැමෝම විවිධ අනතුරු හා විවිධ රෝගාබාධ හේතුවෙන් රෝද පුටුවට පමණක් සීමාවුණු අයයි. මමත් ඒ වගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝද පුටුවට සීමාවුණු කෙනෙක්. මම මේ දරුවන්ගේ ජීවිතය නගා සිටුවීමට විවිධ අවස්ථාවල කතා කරලා තියෙනවා. පුනරුත්ථාපන කඳවුරු අතරේදී ළමයින් විවිධ ක්‍රීඩා කළා. අපේ ලංකාවේ වීල් චෙයාර් (රෝද පුටු) ක්‍රිකට් කණ්ඩායමක් තිබුණේ නැහැ. හැබැයි ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංගලාදේශය වැනි ආසියා රටවල් කිහිපයකම කණ්ඩායම් තිබුණා. පිරිමි ළමයින් ක්‍රිකට් ගහන්න ආසා වුණත් එවැනි කණ්ඩායමක් නැති අඩුව දැනුණු තරුණ දරුවන් කිහිප දෙනෙක් ''මිස් අපි ක්‍රිකට් කණ්ඩායමක් පටන් ගමුද?'' කියලා ඇහුවා.'' යැයි ''ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට්'' සංගමයේ සභාපති අනුපමා ඈන් පෙරේරා මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

එවැනි යෝජනාවක් අතරතුර ආසියානු තරගාවලිය වෙනුවෙන් ලංකාවේ ආබාධිත ක්‍රිකට් කණ්ඩායමකට පකිස්ථානයෙන් ආරාධනාවක් ලැබුණි. ඒ ගිය වසරේදීය. ඒ අනුව අනුපමා ඈන් පෙරේරා මහත්මියගේ මැදිහත්වීමෙන් ආබාධිත තරුණයන්ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය ආරම්භ විය. ඔවුන්ගේ ආරම්භය ඉතා දුෂ්කර විය. කුඩා කාමරයක් කුලියට ගෙන ඔවුහු කාර්යාලයක් පිහිටුවා ගත්හ. ඒ අනුව පුනරුත්ථාපන කඳවුරුවලට පැමිණි ආබාධිත තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෝ තම රෝද පුටු ආධාරයෙන් අසල තිබූ ක්‍රීඩංගණයට ගොස් දිනපතා පුහුණුවීම්වල නිරත වූහ.

සංගමය ආරම්භ කළද මෙම ආබාධිත තරුණ ක්‍රීඩකයන්ට ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමටවත් මුදලක් තිබුණේ නැත. සංගමය ආරම්භ කළ අවධියේදී එවැනි ආබාධිත තරුණයන් දසදෙනෙක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කරමින් සංගමයට එකතු වී සිටියහ. අවුරුදු විස්සත් අවුරුදු හතළිහත් අතර වයස් සීමාවේ පසුවන තරුණයෝ ඒ සඳහා එක්ව සිටියහ. ඒ අතරේ හමුදාවේ සේවය කරමින් හිඳ පූර්ණකාලීනව ආබාධිත වූ මෙන්ම රිය අනතුරු හේතුවෙන් ආබාධිත වුණු තරුණයෝ වූහ. සිටගැනීමට දෙපයේ වාරු නොමැති වුවද මේ තරුණ හිත්වල අප්‍රමාණ හිතේ හයියක් තිබුණි. නමුත් ඔවුන්ගේ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය මුදල් සංගමය සතුව නොතිබුණි. මුදල් නොමැතිකම හේතුවෙන් මේ තරුණ හිත්වල ජවය දියාරු කර දමන්නට අනුපමා ඈන්ට හිත දුන්නේ නැත. ඇය තම එකම වත්කම වූ මාකොළ ඉඩම සමඟ තිබූ කුඩා නිවෙස විකිණුවාය. එයින් ලැබුණු මුදල ඇය සංගමයට යෙදෙව්වාය. ඇය ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගත්තාය. ක්‍රීඩකයන්ගේ අඩුපාඩු සොයා බැලුවාය. එම මූලික ක්‍රීඩා උපකරණවලින් ආබාධිත තරුණ ක්‍රීඩකයෝ දිවා රෑ නොතකා තම පුහුණුවීම්වල නිරත වූහ. මොවුන්ගේ ක්‍රීඩා විලාශයන් හා හැකියාවන් දුටු ඇතැම්හු තමන් සතුව පැවැති ක්‍රීඩා උපකරණ මොවුන්ට ලබාදීමට පවා කාරුණික වූහ. එයින් මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තව තවත් දිරිමත් වූහ.

තරුණයන් දස දෙනකුගෙන් ආරම්භ කළ රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ක්‍රීඩකයන් පහළොස් දෙනකුගෙන් සමන්විතය. සංගමය ආරම්භ කිරීමත් සමඟ ඔවුහු ලංකාවේ දසත විසිරී සිටින ක්‍රිකට්වලට කැමැති ආබාධිත තරුණයන්ට ආරාධනා කළහ. ඒ අනුව නිවෙස්වලට පමණක්, තම රෝද පුටුවට පමණක් සීමාවුණු ආබාධිත තරුණයන් තිස් දෙනකුට වැඩි පිරිසක් සඳහා ජාතික කණ්ඩායම් තේරීම් තරගාවලියක් පසුගිය වසරේදී සිදු කෙරිණි. එයින් හොඳම විසි හතර දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබීය. පුහුණුවීම් අවසානයේදී පහළොස් දෙනකුගෙන් යුත් ආබාධිත ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනිණි.

''මේ ක්‍රීඩාව වෙනුවෙන් මගේ ගෙදර විකිණූ නිසා අදටත් මට ඉන්න සිදුවෙලා තියෙන්නේ කුලී නිවෙසකයි. මේ ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් රටේ විවිධ පළාත්වලින් තේරිලා ඉන්නවා. ඒ දරුවන් මම මගේ රාගම කුලී නිවෙසේ නතර කරගෙනයි පුහුණුවීම්වලට යොදවන්නේ. ඒක මට අභියෝගයක්. හැබැයි ඒ සඳහා මගේ යාළුවෝ මට උදව් කළා. ඉඩ පහසුකම් නැති නිසාම ඒ දරුවෝ බිම නිදාගන්නෙ. ඒක හරි අසීරු දෙයක්. ඒත් මට පුළුවන් උපරිම විදිහට මම ඒ දරුවන්ට උදව් කරනවා. මේ දරුවෝ ආබාධිත දරුවන් වුණාට ඒ හැමෝටම තම තමන්ගේ කටයුතු තනියම කරගන්න පුළුවන්. මගේ වම් පැත්තම ආබාධිතයි. ඒ නිසා අපිට උයන්න එළවළු පවා කපලා දෙන්නෙත් ඒ දරුවෝ. මගේ කුසින් දරුවන් දෙදෙනකු මේ ලෝකයට බිහි කළාට මට දැන් මේ කණ්ඩායමේ පහළොස් දෙනාත් මගේ දරුවෝ වගේ.'' යැයි අනුපමා ඈන් පෙරේරා වැඩිදුරටත් පැවසුවාය.

වර්තමානය වනවිට රජය විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු බොහෝ ක්‍රීඩා කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබා දෙයි. ඒ සඳහා අනුග්‍රාහකයෝද බොහෝ වෙති. ඇතැම් කණ්ඩායම්වල දක්ෂතාවයක් නොමැති වුවද ක්‍රීඩාවේ නිරතවෙන ඇතැමුන්ට තිබෙන සැලකිලි සහ විවිධ බලපෑම් හේතුවෙන් විශාල මුදල්වලින් යුත් චෙක්පත් ලියැවෙයි එහෙත් මෙම ආබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් තවමත් අදාළ නිලධාරීන් හා බලධාරීන්ගේ ඇස යොමු වී නැත.

''මම යන්න පුළුවන් හැම තැනකටම මගේ රෝද පුටුවෙන් ඒ නිලධාරින් හමුවෙන්න ගියා. ඒ හැම ගමනකටම මට උදව්වට රන්දික මධුශංක දරුවා හිටියා. ඒ වගේම මේ කණ්ඩායමේ පුහුණුකරු වන මංජු ශ්‍රී රාජපක්ෂ සර් මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ දෙන්නම කිසිදු මුදලක් නොගෙන මේ කටයුතුවලට උදව් කරනවා. රන්දික මගේ රෝද පුටුව තල්ලු කරමින් ඒ අදාළ නිලධාරීන් හමුවට ගියා. අපි ක්‍රීඩා අමාත්‍යංශයට කිහිප වරක්ම ගියා. ''එක රුපියලක්වත් නැහැ මිස් දෙන්න. මිස් මේ බැරි කාලයක පටන් අරගෙන තියෙන්නේ. ඔයාට කරන්න අමාරු වැඩක් මේ පටන් අරගෙන තියෙන්නේ.'' කියලයි ඒ අය කිව්වේ. ඒ වචනය නිසාම මම තවත් ශක්තිමත් වුණා. සමහර දවස්වලට අපිට කෑම බීම හොයාගන්නවත් බැරි තත්ත්වයට පත්වෙනවා. හැබැයි මේ දරුවන්ගේ හිත් ආබාධිත නැහැ කියලා දවසක ඒ නිලධාරින්ට තේරේවි. මේ සමහර ළමයින් ලොතරුයි විකුණලයි ජීවත් වෙන්නෙ. ලංකාවේ ආබාධිත මිනිසුන්ට මේ රට සලකන්නේ නැහැ. රජයේ මාධ්‍ය ආයතනවලට ගියත් අදටත් අපේ කණ්ඩායමට අවස්ථාවක් නැහැ. ක්‍රිකට් මණ්ඩලයෙන් අපේ දරුවන්ට උදව් කළා. ක්‍රිකට් උපකරණ ලබා දුන්නා. නමුත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිදු උදව්වක් මේ දරුවන් වෙනුවෙන් මෙතෙක් කරලා නැහැ.'' අනුපමා ඈන් පෙරේරා සඳහන් කරයි.
මෙම ක්‍රිකට් කණ්ඩායමට ලබන මාසයේ නේපාලයේ පවතින තරගාවලියට යාමට තවමත් ඇත්තේ අවිනිශ්චිතභාවයකි. ඔවුහු දිවා රූ නොබලා පුහුණුවීම්වල නිරත වෙති. දෙපාවල වාරුව නැති වුවද ඒ කණ්ඩායම් හැඟීම හරි පොහොසත්ය. ඒ හිත් ශක්තිමත්ය. ඔවුන්ට යෝධ හෙවණැල්ලක් සේ අනුපමා ඈන් පෙරේරා සිටින්නීය. ප්‍රවීණ පුහුණුකරුවෙක්ද සිටියි. නමුත් තවමත් ඔවුන්ට ගුවන් ටිකට්පත් සඳහා මුදල් නොමැත. ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලතල දරන නිලධාරින් ඉදිරිපත් වී මොවුන් වෙනුවෙන් ආධාර ලබා දුන්නොත් ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් අපූරු ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වනු ඇත.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02