රාමේෂ්වරම් සිට සැතපුම් දහයක් පමණ ඊසාන දිග මුහුදේ පිහිටි කුඩා දූපතක් සඳහා විශාල වටිනාකමක් ඇත. ඉන්දියාව වර්ග සැතපුම් මිලියන 3.2ක් විශාල රටකි. ලෝකයේ වැඩිම ජනගහනය ජීවත්වේ. ශ‍්‍රී ලංකාව මෙන් සියයට 4,960ක ප‍්‍රතිශතයකින් දැවැන්තයකු බව සඳහන් කළ යුතුය. දළ වශයෙන් ශ‍්‍රී ලංකාවට වඩා පනස් ගුණයක් බව දැක්විය හැකිය. ඉන්දීය පාර්ලිමේන්තුවේදී භාරතීය ජනතා පක්ෂයට විරුද්ධව පැවැති විශ්වාස භංග යෝජනාව අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාව දෙකඩ කිරීම සම්බන්ධයෙන් කොංග‍්‍රසයට දොස් පැවරූ අතර 1974දී කච්චතිව් දූපත ශ‍්‍රී ලංකාවට ලබාදුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බවද පැවසීය. මෙම ප‍්‍රවෘත්තිය ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය අවධානයට පත් වූ අතර පසුව කච්චතිව් දූපත ශ‍්‍රී ලංකාවට අයත් බව ඉන්දිය අගමැතිවරයා වහාම නිවේදනය කර තිබිණි.
ඉන්දු ශ‍්‍රී ලංකා භූ දේශපාලනය තුළ කච්චතිව් වටිනාකමක් ඇති ස්ථානයකි. ඉන්දියාවට සමීප සාගර කලාපය තුළ සිය අණසක පතුරවන ඉන්දියාව කලාපයේ රටවල සමඟ ගනුදෙනු කිරීමේදී ආරක්ෂාව පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වේ. ශ‍්‍රී ලංකාවේ භූමියක් වෙනත් බලවත් රාජ්‍යයක් විසින් භාවිතා කිරීමේදී ඉන්දියාවට අභියෝගයක්වීම වැළැක්වීම අරමුණු කරගෙන වෙසෙසින් ක‍්‍රියාකරන තත්ත්වයක්ද දැකගත හැකිය. ආරක්ෂාව එක පැත්තකින් අරමුණු කරන ඉන්දීය ආණ්ඩුව තිබියදී ඉන්දීය දේශපාලනයේ දී ඡන්ද වකවානු සමීප වනවිට ශ‍්‍රී ලංකාව, පකිස්තානය, චීනය සමග මතබේද ඇතිකරගෙන ස්වදේශිකත්වය නංවන්නට යුහුසුළු වන බවද සලකා බැලිය යුතු කරුණකි.
• අයිතිය ගැන නැගෙන ප‍්‍රතිරාව
1974දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ ශ‍්‍රී ලංකාවේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය අතර පැවැති සාකච්ඡා වට ගණනාවකට පසු අත්සන් කරන ලද ඉන්දු-ශ‍්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ කච්චතිව් ශ‍්‍රී ලංකාවට අයත් දූපතක් ලෙස පිළිගෙන ඇත. අගමැතිවරියන් දෙදෙනා අතර තිබුණ අනොන්‍ය සබඳතා අයිතිවාසිකම් බෙදාහදා ගැනීමේදී මහත් වටිනාකමක් විය. විදේශ අමාත්‍යංශයේ ප‍්‍රථම නීති උපදේශක වශයෙන් කටයුතු කළ වසරකට පමණ කලින් ජීවිතයෙන් සමුගත් දේශමාන්‍ය පින්ටෝ මොරගොඩ මහතා කච්චතිව් දූපත අත්පත් කරගැනීමේ ක‍්‍රියාවලියේ නෛතික කටයුතු හසුරුවා ඇති බව ඉතිහාසය දක්වයි. විවිධ උපාය අනුගමනය කරන දේශපාලනඥයන් ගේ ග‍්‍රහණයෙන් ගැලවී කුඩා නමුත් ශ‍්‍රී ලංකාවට ආසන්න මේ දූපත ඉන්දියාවට අත තැබීම වළක්වන රෙගුලාසි සම්මත කරගැනීමට සමත්වීම විශේෂත්වයකි. දැනට සැතපුම් අසූ ගණනක් ශ්‍රී ලංකාවට දුරින් සිටින ඉන්දියාවේ හැසිරීම සැතපුම් දහයක් දක්වා සමීපවීම විශාල පීඩනයකට හේතුවක් විය හැකිව තිබුණි.
කෙසේ වෙතත් 2013 මැයි 3 වැනි දින තමිල්නාඩු ආණ්ඩුව ඒකමතික යෝජනාවක් සම්මත කළේය. ඉන්දීය රජය 1974දී ශ‍්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව්හි පාලනය යළි භාර ගැනීමට ඉන්දීය රජය වහා පියවර ගත යුතු බව එමගින් ඉල්ලා සිටියේය. ශ‍්‍රී ලංකා නාවික හමුදාව ශ‍්‍රී ලංකා මුහුදු තීරය ආක‍්‍රමණය කරන තමිල්නාඩු ධීවරයන්ට බාධාකිරීම සහ අත්අඩංගුවට ගැනීම් මෙම ඉල්ලීමට පසුබිම වශයෙන් දැක්විය හැක.
දෙමළ භාෂාව කතාකරන ජනකොටස බහුල තමිල්නාඩුව ශ‍්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජන කොටස් වෙනුවෙන් පෙනී සිටීමෙන්ද සිය ජනප‍්‍රියත්වය අපේක්ෂා කරයි. ජයලලිතා ජයරාම් මහ ඇමැතිනිය පමණක් නොව කේ. කරුණානිධි මහ ඇමැතිවරයාද මෙම වාසිය සඳහා පෙනී සිටියහ. විපක්ෂයට ගිය පසු අවුලුවන කච්චතිව් යෝජනාව බලයට පත් වූ පසු අමතක කෙරේ. විපක්ෂයේ සිටි ජයලලිතා මහත්මියගේ යෝජනා අනුව එවකට තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍යවරයා වූ කරුණානිධි මෙම ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන යා යුතුව තිබූ නමුත්, ඔහු එසේ නොකළේය. 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙස ඉල්ලා 2008දී ජයලලිතා ජයරාම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ඉල්ලීම අනුමත කළේ නැත.
• කෙටි ඉතිහාසයක නොදන්නා කරුණු
අක්කර 285.2ක භුමියක් සහිත කච්චතිව් පානීය ජල බිඳුවක්වත් රහිත කුඩා දූපතකි. ධීවර කටයුතුවලට යන එන ඉන්දීය හා ශ‍්‍රී ලංකා ධීවරයෝ දූපතට නිතර පැමිණි අතර, ඔවුන් එය තම දැල් වියළීම සහ නිසි පරිදි සකස් කිරීම සඳහා භාවිත කර ඇත. ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප වූ කතෝලික දේවස්ථානයක්ද මෙහි ඇත. සෑම වසරකම මාර්තු මස අවසානයේදී සතියක් පුරා පැවැත්වෙන උත්සවය සඳහා දෙරටේ වන්දනාකරුවෝ දූපතට පැමිණෙති.
ඉන්දියාවේ ප‍්‍රාන්ත ප‍්‍රභූවරයකු වූ රාම්නාද් රාජා මෙම දූපත අයත් කරගෙන සිටි බව අතීතය දක්වයි. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු මහාරාජාවරුන්ගේ බලය ශේෂ වූ අතර ඔහුගේ දේපොළ හා නිල සටහන් මදුරාසි ආණ්ඩුව අත්පත් කරගත් බව වාර්තා දක්වයි. ශ‍්‍රී ලංකාවේ හිටපු විදේශ සහ ආරක්ෂක ලේකම් ඩබ්ලිව්.ටී. ජයසිංහ විසින් ‘ශ‍්‍රී ලංකාවේ කච්චතිව් සහ සමුද්‍ර සීමාව‘ යනුවෙන් කෘතියක් සම්පාදනය කර ඇති අතර එහි තවත් කරුණු සඳහන් වේ. යටත් විජිත පාලයෙන් මිදී නිදහසින් පසු පෝක් බොක්කේ සමුද්‍ර මායිම් සීමා නිර්ණය ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව භාර ගැනීමත් සමග දූපත කෙරෙහි නැති වටිනාකමක් නිර්මාණය විය. දිවයින ප‍්‍රසිද්ධියට පත් විය. අතීතයේ සිට ලංකාවේ ශක්තිමත් රාජ්‍ය පාලනයක් තිබුණ අතර දුපත මුහුදු කටයුතු සඳහා ප‍්‍රයෝජනයට ලත් බව දක්වයි.
කච්චතිව් ප‍්‍රදේශය ශ‍්‍රී ලංකාවට පැවරීම අගමැතිවරුන් දෙදෙනකුගේ දේශපාලන තීන්දුවකි. දූපතක අයිතිය නිරකරණය කරගැනීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වූ අතර ඉන්දියාව එය වළක්වමින්, දූපත ශ‍්‍රී ලංකාවට පවරන ලද මතභේදාත්මක ප‍්‍රදේශයක් යන ස්ථාවරය අනුගමනය කරන වචන භාවිත කර ඇත. 1974 අත්සන් කරන ලද ගිවිසුම මගින් කච්චතිව් ශ‍්‍රී ලංකාවට පවරා දෙන අතර, කච්චතිව් සහ ඒ අවට ප‍්‍රදේශවල මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ට ඇති පාරම්පරික ධීවර අයිතියද ආරක්ෂා කර දී තිබේ. 1976දී මන්නාරම් බොක්ක සහ බෙංගාල බොක්ක සීමා කිරීමේ සමුද්‍ර මායිම් ගිවිසුම අත්සන් කරන විට මෙම සාම්ප‍්‍රදායික අයිතීන්ද ශ‍්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති බව පෙනේ.
• පොදු අරමුණක් සඳහා කැපවූ දූපතක්
පසුගිය දශක තුනක කාලය තුළ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ ශ‍්‍රී ලංකා පැත්තේ සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වී ඇත. ත‍්‍රස්තවාදී කලබල කාලයේ මගහැරීම් කෙසේ වෙතත් තමිල්නාඩුවේ ධීවරයන්, ශ‍්‍රී ලංකා දෙමළ ධීවරයන් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාව අතර මුහුදු සීමා ආරක්ෂා කර ගැනීමේ සිද්ධි විශාල ප‍්‍රමාණයකි. අනවසර ඇතුළුවීම් වැළැක්වීම සඳහා කළ වෙඩි තැබීම්වලින් ඉන්දීය ධීවරයන් 400කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය දේශපාලනඥයෝ දක්වති. ශ‍්‍රී ලංකාව මෙම දත්ත කිසිසේත් අනුමත කරන්නේ නැත. දෙරට අතර සාකච්ඡා පවත්වන විශේෂ කමිටුවක් වාර්ෂිකව මුණගැසී දේශසීමා ආක‍්‍රමණය ගැන උපදෙස් සම්මත කරගෙන තිබේ. ධීවරයන් නිදහස් කරන අතර බෝට්ටු, දැල් ආම්පන්න හා මසුන් ශ‍්‍රී ලංකාව රාජසන්තක කරයි. ඉන්දීය ධීවරයෝ ශ‍්‍රී ලංකා මුහුදු සීමාව ආක‍්‍රමණය කරන අතර ඉතා ගැඹුරට ගොස් අනවසර දැල් භාවිත කරති. ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රා සාගර පැවැත්මට මහත් විනාශයක් කරන බව පිළිගෙන තිබේ. කච්චතිව්හි හිමිකාරීත්වය යළි ඉන්දියාවට ගැනීම ධීවර ප‍්‍රශ්න තවත් උත්සන්න කිරීමක් බව ශ‍්‍රී ලංකාව පමණක් නොව ඉන්දීය මධ්‍යම රජය පිළිගෙන ඇති කරුණකි.
ඉන්දියානු සාගරයේ ඉන්දීය හා ශ‍්‍රී ලංකාව අතර කලාපයය අයිති කරගත යුතු තැනක් නොව ආරක්ෂා කරගත යුතු පොදු උරුමයක් ලෙස විද්‍යාර්ථිහු දක්වති. විශේෂයෙන් ඉන්දියානු උපදේශකයන්ට අනුව මෙම ප‍්‍රදේශයට චීන ආයෝජන හෝ
පර් යේෂණ අංශ පැමිණියහොත් එය ඉන්දියාවට තර්ජනයකි. චීනයේ සූක්ෂම පර්යේෂණ නෞකා ශ‍්‍රී ලංකා මුහුදු ප‍්‍රදේශයට ඇතුළුවීම ඉන්දියාව නොඉවසන කාරණයකි.
නොබෝදා ඉන්දියාවේ සංචාරය අතරතුර ශ‍්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර පොදු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කළේය. මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරන අතර ත‍්‍රිකුණාමලය දියුණු කිරීමද එයට ඇතුළත්ය. දෙරට අතර විදුලිය, ඛණිජ තෙල් සැපයුම් යා කෙරෙන ක‍්‍රමවේදයක්ද අවසානයේදී ගොඩබිමින් එකතුවන පාලමක්ද ඉදිකරන්නට යෝජනා කර ඇත. කච්චතිව් දූපත ධීවර පර් යේෂණ අංශයක් කළ හැක. පාත්ෆයින්ඩර් පදනම මෙම යෝජනාව පසුගිය ආණ්ඩුවලට ඉදිරිපත් කර තිබේ. ඉන්දියන් සාගර කලාපයේ ධීවර සම්පත් ආරක්ෂා කරන මුහුදු කලාපයේ ජෛව විවිධත්වය සුරකින පර් යේෂණ සඳහානවීන පහසුකම් සහිත සංකීර්ණයක් මෙහි ඉදිකළ හැක. එය රටවල් දෙකට පමණක් නොව ඉන්දියන් සාගරයට යොමු වූ අනෙක් රටවලට හා අවසානයේදී මුළු ලෝක ප‍්‍රජවටම යහපතක් වනු ඇත. ශ‍්‍රී ලංකාවේ සාගර විශ්ව විද්‍යාලය, ආරක්ෂක අමාත්‍යංශය හා සෙසු විද්‍යාඥයන් මෙම අරමුණ කෙරෙහි අවධානය යොමු කිරීම කච්චතිව් අයිතිය තවත් වටයකින්, ශ‍්‍රී ලංකාවට නැවත පැවැරිය නොහැකි සාධකයක් බවට පත් කරනු ඇත.
I සාරා කන්දෙගොඩ