2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

පොල් තෙල් කියලා කන්නේ වස විස?

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 146

ආහාර සකස් කර ගැනීම සඳහා මෙරට පාවිච්චි කරන ප්‍රධානතම තෙල් වර්ගය වන්නේ පොල් තෙල්ය. ආහාර රසවත් වන්නේ පොල්තෙල් පාවිච්චි කර සකස් කිරීමෙන් නිසා එවැනි ආහාරවලට විශාල ඉල්ලුමක් ඇත. ඒ නිසා රටේ අවිධිමත් ලෙස සකස් කළ විෂ ද්‍රව්‍ය අඩංගු පොල්තෙල්ද, පොල්තෙල්වලට ආදේශ වශයෙන් පාව්චිචි කරන පාම්තෙල් වැනි විවිධ තෙල් වර්ගද බහුලව පාවිච්චි කෙරේ. ආහාර සඳහා පමණක් නොව අද දක්වාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීද ප්‍රතිකාර සඳහා පොල්තෙල් භාවිත කෙරේ.

රටේ ජනතාවගේ වාර්ෂික පොල්තෙල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 150,000 පමණ වන අතර එයින් මෙරට නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 100,000 පමණ වේ. ඉතිරි පොල්තෙල් ආනයනය කෙරේ. එහෙත් රටේ නිෂ්පාදනය කරන පොල්තෙල්වල මෙන්ම ආනයනය කරන තෙල්වලද ''ඇපල ටොක්සින්'' වැනි පිළිකා කාරක මෙන්ම විවිධ විෂ රසායන අඩංගු බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

පොල්තෙල්වල ඇති යහපත් සංඝටක පිළිබඳ සොයා බලන විට එහි ලෝරික් අම්ලය (Lowric Acid) බහුලව අඩංගු වන අතර එය ශරීරයේ ප්‍රතිසංස්කරණ සහ ක්ෂණික ජීර්ණයට විශාල ලෙස උපයෝගී වෙයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වය මෙන්ම රුධිරයේ අඩංගු හිතකර කොලොස්ටෙරොල් මට්ටම ඉහළ නැංවීමද පොල්තෙල්වලින් සිදුවන බව කියති. තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වය මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනයටද පොල්තෙල් සමත් වේ. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය මැනැවින් පවත්වා ගැනීම හා දරා ගැනීමේ ශක්තිය වැඩි කිරීමට මෙන්ම මේදයේ දියවන විටමින් වර්ග අවශෝෂණය කිරීමටද පොල්තෙල් උපකාර වෙයි.

ජනතාව අතීතයේ සිටම පොල්තෙල් පාවිච්චි කිරීමට පෙළඹී සිට ඇති අතර, පොල්තෙල් නිෂ්පාදනය කළේ පොල් මද වියළාගෙන කොප්පරා බවට පත්කර ඒවා සෙක්කුවක් මගින් අඹරාගෙනය. පොල් මද වියළා ගැනීමේදී පරිසරයට විවෘත වන නිසා විවිධ විෂබීජ එතුළ ඇතිවේ. මැස්සක තබා දුම් ගැසීමේදී ''හයිඩ්‍රොකාබන්'' වැනි ශරීරයට අහිතකර විවිධ වායුවර්ග ඇතිවී සුදු පැහැති කොප්පරා දුඹුරු පාට වී දූෂණයට පාත්‍රවේ.

මේ පිළිබඳ අදහස් දක්වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ පොල්තෙල්වලට පාම්තෙල් මිශ්‍ර කිරීම දීර්ඝ කාලයක සිට කරගෙන එන්නක් බවයි. මෙමගින් පොල්තෙල්වලට විෂකාරක එකතුවීම බහුලව සිදුවෙයි.

''පොල්තෙල් මෝල් හිමියා වැඩිපුර ලාභ ලබාගැනීම සඳහා තමයි පාම්තෙල් කලවම් කරන්නේ. මෙම පොල්තෙල් මෝල් හිමියාගෙන් ලබාගන්නා තොග වෙළෙන්දා ලාභය වැඩිකර ගැනීමට එයට පාම්තෙල් කලවම් කරනවා. ඊළඟට සිල්ලර වෙළෙන්දාද යළිත් පාම්තෙල් එකතු කරනවා. මේ ආකාරයෙන් තුන් පොළකදී පාම්තෙල් එකතු වන නිසා පාරිභෝගිකයා ළඟට යනවිට පොල්තෙල් පාම් තෙල් බවට හැරිලා අවසන්. පසුගිය දිනවල රජය ආනයන පොල්තෙල්වලට රුපියල් 25 බදු ගැහිල්ලත් සමඟ මෙම පාම්තෙල් එකතු කිරීම තවත් ඉහළ ගියා.

ලංකාවේ තවත් බහුලව සිදුවන අනෙක් වරද වන්නේ වරක් පාවිච්චි කළ පොල්තෙල් යළි යළිත් පාවිච්චි කිරීමයි. එතැනදී තෙලට එකතුවන විෂ රසායන වැඩි වෙනවා. අපි මේ පිළිබඳ සමීක්ෂණයක් කළ අතර එහිදී අනාවරණය වූයේ ඉහළ පෙළේ හෝටල් සහ බේකරි තුළ වරක් බදින ලද පොල්තෙල් යළි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදුවන බවයි. මෙම පොල්තෙල් විශාල වශයෙන් වඩේ තැනීමට හා තෙල් කෑම තැනීමට කුඩා වෙළෙඳුන් පාවිච්චි කරනවා. මෙම පොල්තෙල්වල විශාල ලෙස පිළිකා කාරක ඇතිකරන ඇපල ටොක්සින් අඩංගු වෙනවා.

මෙම සමීක්ෂණයේදී අප සොයාගත් දෙයක් වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය සහිතව අලෙවි කරන පොල්තෙල්වල පවා විෂ රසායන අඩංගු බවයි. මේවායේ Toxin, Peroxide, Poly Aromatic Hydro Carbon වැනි රසායන ඇති අතර ඒවායේ පිළිකා කාරක අඩංගු වෙනවා. ඒ නිසා SLS තිබුණා යැයි පිළිගන්න බැහැ.

පොල්තෙල්වල විෂ රසකාරක සහ රසායන අඩංගු බවට අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර:

''ඇපල ටොක්සින් යනු බැඳෙන පුස්වර්ගයක් නිසා ඇතිවන විසක්. මෙම විවිධ රෝගාබාධ ඇතිවන භයානක විෂ ද්‍රව්‍යයක් බව කිව යුතුයි. කොප්පරා හා ධාන්‍ය වර්ගවල තෙතමනය ඇතිවූ පසු මෙම ධූලකය ඇතිවෙනවා. මෙය ශරීරයට විශාල ලෙස හානිවන අතර, මෙලතියන් - ඩී.ඩී.ටී.වලට සමාන විෂ ශරීරය තුළ ගබඩාවෙලා අක්මාව, වකුගඩු ආදී අභ්‍යන්තර කොටස්වලට අවශෝෂණය වෙලා විශාල විපත් සිදුවෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ පිළිකා නිර්මාණය වීමයි. පිළිකා ඇතිවන්න අවුරුදු ගණන් යන නිසා ඒ බව දැනගන්න දිගු කාලයක් ගත වෙනවා. ගර්භණී මවකට මෙම විෂ ඇතිවුවහොත් කළලයට හානි වෙනවා.

ඇපල ටොක්සින් අඩංගු ආහාර කුකුළන් වගේ සතුන්ට දුන් විට කුකුළු මස් සහ බිත්තර තුළින් මිනිස් සිරුරට එනවා. එයින් ඇතිවන විෂ සිරුරට දරාගන්න අපහසු තරම්. මෙය ස්ථීරවම පිළිකා කාරකයක් වන බව කිවයුතුයි. මෙම පිළිකාකාරකය පොල්තෙල් සහ ධාන්‍ය වර්ගවල බහුලව තිබෙනවා. සාමාන්‍යයෙන් කොප්පරා හදන්නේ පොල් අව්වේ දමා වේළලායි. මේවායේ කළුපාට පුස් ඇතිවෙනවා. මෙම කළු පුස් ඇති කොප්පරාවලින් පොල්තෙල් ගත් විට අනිවාර්යයෙන්ම ඒවා පොල්තෙල්වලට එනවා.

මෙම විස කාරකය රත්කළ විට නැතිවන්නේ නැහැ. කෑම හදන සාමාන්‍ය උෂ්ණත්වයේදී එලෙසම පවතිනවා. එහෙම මැරෙනවා නම් සෙ.ග්‍රේ. අංශක 180-200 විතර මට්ටමකට රත්කළ යුතු වෙනවා. ආහාරයට ගන්නා කෑම නිෂ්පාදනයේදී ඒ තරම් ඉහළ උෂ්ණත්වයකට රත් නොවන නිසා විෂ අංශු එලෙසම පවතිනවා. ඒ නිසා සිරුරට එකතුවන ප්‍රවනතාව වැඩියි.

ආනයනය කරන පොල්තෙල් ක්‍රම තුනකට භාවිත වෙනවා. සාමාන්‍ය ආහාර සැකසීමේදී හා පිරිපහදු ආහාරවලට යොදා ගන්නවා. ඒ වගේම සබන් ආදී කාර්මික නිෂ්පාදනවලටද පාවිච්චි කෙරෙනවා. ආහාරවලට ගෙනෙන පොල්තෙල් රසායනාගාර පරීක්ෂණවලට ලක් කරනවා. එහෙම වුණත් කාර්මික නිෂ්පාදන සඳහා ආනයනය කරන තෙල් එලෙස පරීක්ෂා කෙරෙන්නේ නැහැ. අප සිතන විදියට පොල්තෙල්වල මිල මෙතරම් අඩුවෙලා තියෙන්නේ කාර්මික නිෂ්පාදනවලට ගෙන්වන පොල්තෙල්වලින් ආහාරයට ගන්නා පොල්තෙල් හදන නිසයි. තෙල් බෝතලයක් තනන්න පොල් ගෙඩි 3- 4 ½ක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් අද පොල් මිලේ හැටියට මෙහෙම පොල්තෙල් හදලා අඩුමිලට දෙන්න පුළුවන්ද?

වත්තල එක්තරා ආයතනයක පොල්තෙල් කන්ටේනර් 10-12ක පමණ පරණ පොල්තෙල් තිබුණා. ඒවා එවැනි කර්මාන්ත තෙල් බවට සැකයක් ඇති වුණත් පරීක්ෂා කරන්න බැහැ. අපේ කුඩා රසායනාගාරවල එම පහසුකම් නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට අවිධිමත් විදියට පොල්තෙල් හෝ වෙනත් තෙල් ගෙනැල්ලා ආහාර සඳහා යොදාගන්න් පුළුවන්. මේ දිනවල ප්‍රයිඩ් රයිස් තෙල් කියලා වෙනම තෙල් වර්ගයක් වෙළෙඳ පොළේ අලෙවි වෙනවා. ඒවා මස් වගේ දේවල් බැඳලා එකතු කරන තෙල්. රසවත් වුණාට රෝග කාරකයි.

පිටරටින් ගෙන්වන පස් විශේෂයක් දාලා රත්කරන විට පොල්තෙල් පැහැදිලි වෙනවා. කිලෝවට ග්‍රෑම් 80ක් දාලා රත්කළ විට කළුපාට තෙල් සුදු වෙනවා. ඒවා වෙළෙඳපොළට දානවා සුදු පොල්තෙල් යනුවෙන්. නියම පොල්තෙල් සුදු විය නොහැකියි. රන්වන් පාට විය යුතුයි. සුදු පොල්තෙල් කියන ඒවායේ පෝෂණය අඩුයි. සුවඳ සහ රසය අවමයි. මේවා සෞඛ්‍යයට හිතකර නැහැ. තායිලන්තය වැනි රටවල තෙල්වල ඇපල ටොක්සින් පරීක්ෂා කරන ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටේ එහෙම නැහැ. ඒ තාක්ෂණය අපටත් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලුවත් අපට එය ලැබී නැහැ. එහෙම පරීක්ෂා කළ හැකිනම් අපට මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි යවන සාම්පල් නිසි ලෙස පරීක්ෂා කළ නොහැකි නිසා හොඳය කියලා වාර්තා කරනවා. ඉතින් අපේ මහන්සිය අපතේ යනවා. මෙය විශාල අපරාධයක් බව පැවසිය යුතුයි.''

I යසවර්ධන රුද්රිගු