2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

වෘත්තීය සුදුසුකම් තමන්ම හදාගන්න ඕනෑ

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

- එම්.ආර්.සී. බණ්ඩාර ඒකනායක වැඩ බලන සාමාන්‍යාධිකාරී විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Qවිදේශ රැකියා කාර්යාංශය වෙත මේ වෙද්දී රැකියා කොයි තරම් ප්‍රමාණයක් තියෙනවද?

අපේ ආයතනය වෙත ඍජුවම රැකියා ලැබෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ දෙකයි. එකක් කොරියාව සඳහා ලැබෙන ඊ-9 කාණ්ඩයේ රැකියා කෝටාව. ඒ රටේ ඉන්නවා 25000ක් විතර අපේ අය. අන්න ඒ අය වෙනුවෙන් තමයි ඒ රැකියා කාණ්ඩය තියෙන්නේ. ඊටපස්සේ අපිට තියෙනවා ජපන් රැකියා. ඒක අපිට විතරක්ම නෙවෙයි, ලියාපදිංචි රැකියා නියෝජිත ආයතනවල අයටත් ජපානයට යැවීමේ හැකියාව තියෙනවා.

Qකොරියාවේ තවත් රැකියා කාණ්ඩ තියෙනවා නේද?

ඔව් තියෙනවා. ඊ-7 කියලා රැකියා කාණ්ඩයක්. ඒකෙ තියෙන්නේ පෑස්සුම්කරැවන් සහ නැව් අලුත්වැඩියාව සම්බන්ධයෙන් රැකියා අවස්ථා. ඒ අවස්ථාව පෞද්ගලික රැකියා ඒජන්සිකරැවන්ටත් තියෙනවා. කොහොම වුණත් ඊ-9 කොරියානු රැකියා එක තමයි අපිට ගොඩක්ම තියෙන්නේ. ඒ වගේම ජපානය වෙනුවෙන් යවන්න තියෙන්නෙත් එක කම්පැනියකට. ඊට අමතරව ද්විපාර්ශ්වික වශයෙන් අපිට රැකියා අවස්ථා ලැබිලා නෑ දැනට. ගොඩක් තියෙන්නේ පෞද්ගලික අංශයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතන.

Qපෞද්ගලික අංශයේ විදේශ රැකියා ආයතන සඳහා ලැබෙන රැකියා ඇබෑර්තු තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබලාගේ අවධානය මොන වගේද?

අපි විශාල මැදිහත්වීමක් සිද්ධ කරනවා. රැකියා කෝටා එක හම්බවුණු ගමන් රැකියා සම්බන්ධයෙන් ලියාපදිංචියක් අපේ කාර්යාංශයෙන් සිද්ධ කරන්න ඕනෙ. එතනදී අපි සොයා බැලීමක් කරනවා මේ හැමදේම ගැන. ඒ කියන්නේ රැකියාවක් කරන්න පුළුවන්ද බැරිද කියලා ඒ ආයතනවල. ගොඩක් වෙලාවට එකම ආයතනයෙන් රැකියා ආයතන දෙක තුනකට දෙනවා එකම කෝටා එක. කට්ටිය ඉක්මනින් හොයාගන්න.

Qඅපි දන්නවා රැකියා ඒජන්සි තියෙනවා, ඔබලගේ ලියාපදිංචි වුණු ඒවා පවා. ඒත් හැමදේම ඇත්තත් නෙවෙයි. එහෙම රැකියා අවස්ථාවක් හොයාගන්න ඔබලගෙන් බැරිද?

පුළුවන්. අපේ වෙබ්අඩවියේ තියෙනවා කොටුවක් 'හොට් ජොබ්ස්' කියලා. ඒකේ තියෙනවා මේ මොහොතේ අවශ්‍ය රැකියා කියලා එක කාණ්ඩයක්. ඒකත් අපි කාණ්ඩ 10කට බෙදලා තියෙන්නේ ඒ ඒ වෘත්තීය වෙනුවෙන්. ඒ හැම එකේම ඒ ඒ පෞද්ගලික රැකියා ඒජන්සිවල අපෙන් අවසරයෙන් අරගෙන පළ කරපු දැන්වීම් පළ කරලා තියෙනවා. ඒ වගේම ඒ ඒ රැකියා සම්බන්ධයෙන් සියලු විස්තර තියෙනවා. රැකියා වෙළෙඳපොළේ තත්ත්වය ආදිය සියල්ල විස්තර කරලා තියෙනවා. මේ හැමදේම කාණ්ඩ කරලා තියෙනවා.

Qලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මොන රැකියාවලටද? 

හෝටල් සහ සත්කාර සේවාවලට.

Qවැඩිම ඉල්ලුම තියෙන රටවල් මොනවද?

මැදපෙරදිග කලාපයට. වැඩියෙන්ම මේ අවුරුද්දේ ගිහින් තියෙන්නේ කුවේට්වලට. ගෘහස්ත අංශයේ රැකියා තමා වැඩියෙන්ම. ඊට අමතරව වෘත්තීයවේදීන් ඉන්නවා.

Qයුරෝපයට ඉල්ලුම මොන වගේද රැකියාවලටද?

කලාපයක් වශයෙන් ගත්තම මේ අවුරුද්දේ අප්‍රිකානු රටවලට ලියාපදිංචි වීම 1269 යි, ආසියානු කලාපය සඳහා 22038 යි, ඇමෙරිකාවට 3 යි, යුරෝපයට 4460 යි, යුරෝපා යුනියන් එකේ රටවලට 12549 යි, සෞදි රටවලට 143296 යි, උතුරැ ඇමෙරිකාවට 476 යි.

Qවිදේශ රැකියාවලට ලොකු ඉල්ලුමක් තියෙනවද අනෙක් රටවල්වලින්?

ඔව්. ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි හදාගන්න ඕන වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම්. එහෙම නැතිව නිකම් යන්න දැන් අමාරැයි. ඒ නිසා තමන් නියැලෙන රස්සාවට වෘත්තීය සුදුසුකම් තමන් හදාගන්න ඕන.