2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

අතුරුදන් වූ විද්වත් වාර්තාව!

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 129

වසර 74කට ආසන්න ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසය තුළ අමුතු සිදුවීම් රැසක් පෙළ ගැසෙමින් තිබේ. මේ අමුතු සිදුවීම් හේතුවෙන් රටේ ජනතාව තුළ සෞඛ්‍ය සේවාව ගැන වූ විශ්වාසය බිඳ වැටී ගොසිනි. දැන් මිනිස්සු රෝහල් ගතවීමට බියය. දොස්තර හමුවීමට බියය. ලබාදෙන බෙහෙත් බොන්නට බියය. ඒ මදිවාට රෝහල්ගතව මියගියහොත් ලැබෙන්නට හැකි “අසාත්මිකයෙකි”යන මරණ සහතිකය ගැන මේ හැමටම වඩා බියය.

තවදුරටත් තමන්ට ලබාදෙන ඖෂධ පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නැත. එන්නත් සම්බන්ධයෙන් නම් පැතිර ඇත්තේ මර බියකි. ශෛල්‍යකර්ම සඳහා නිර්දේශිත රෝගීන්ද දැන් ඒවා මඟහැර මරු සමග තනි සටනක යෙදෙති. රෝගීන් එසේ සෞඛ්‍ය සේවාව වෙතින් ඈත්ව යද්දී රටේ වෛද්‍ය වෘත්තිකයන් සහ හෙද වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය තුළද සිය සේවාව පිළිබඳව වූ ආත්ම විශ්වාසය බිඳී ගොසිනි. බොහෝ වෘත්තිකයෝ විවිධ හේතු මත මෙරට හැර දා යති. ඒ තුළ ව්‍යාජ වෘත්තිකයෝ රජ වෙති. මේ හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව දැන් සහමුළින්ම කම්මුතු වෙමින් තිබේ.

මේ අලකලංචිය සම්බන්ධ හේතු සොයා යන්නෙකුට පසුගිය සමයේ සිදු වූ අමුතු සිදුවීම් අතර සැකසහිත පෙළගැස්මක් දකින්නට හැකිය. කොවිඩ් වසංගතයට මුවා වී පැමිණි ආර්ථික අර්බුදය රටේ සෞඛ්‍ය සේවාවට කෙළින්ම බලපෑම් කළේය .විවිධ හේතු මත ඇද වැටුණු ආර්ථික බංකොලොත්භාවය මුවහත්කර බෙහෙත් මිලට ගැනීමේ ආරක්ෂිත පිරුවටය සිදුරුකර දැමීය. වංචා, දූෂණ, කොමිස් හුවමාරු මෙන්ම අසංවිධිත අන්තනෝමතික පරිපාලන කටයුතු හේතුවෙන් රටේ බෙහෙත් හිඟයකට අවශ්‍ය පරිසරය උදාවිණි. රජයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් ඉදිරියේදී එළැඹිය හැකි අලකලංචි එකින් එක ගැන අනාවැකි කියූහ. බෙහෙත් හිඟය මෙන්ම එය දඩමීමා කර ගනිමින් සිදුවිය හැකි හදිසි අනාරක්ෂිත මිලදී ගැනීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීමේ අනතුර මෙන්ම ඒ හේතුවෙන් රට තුළට තත්ත්වයෙන් බාල ප්‍රමිතියෙන් තොර ඖෂධ ඇතුළුවීමට ඇති හැකියාව ගැන බොහෝ අනතුරු ඇඟවීම් නිකුත් විය. නමුත් මේ සියල්ලම නෑසූ කන්වැ උන් බලධාරීහු දැන් රට තුළට ඒ අනතුර කැඳවාගෙන විත් හමාරය.

මේ අනතුරුදායක ඖෂධ රටතුළට ඇතුළු වීමේ පළ විපාකය හොඳින්ම කැපී පෙනුණේ රටේ 74 වසරක සෞඛ්‍ය සේවා ඉතිහාසය තුළ වාර්තා නොවූ ආකාරයට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට ගිය රෝගීන් යම් යම්  ඖෂධ ලබා ගත් පසු හදිසි සංකූලතාවන්ට ලක්ව මිය යාමත් සමගිනි. ඖෂධ සහ එන්නත් වෙත සැකය එල්ලවන මරණ 15කට ආසන්න ප්‍රමාණයක් ඉතා කෙටිකලක් තුළ වාර්තා විය. හදිසි අවශ්‍යතා සඳහා රටට ඖෂධ ගෙන්වීමට ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වගන්තිය දඩමීමා කර ගනිමින් ආරක්ෂණ විධිවිධාන සහ පූර්ව පරීක්ෂාවන් අතහැර දමා මේ රට තුළට සාමාන්‍ය මුදලටත් වඩා තුන් ගුණයක් ගෙවමින් ඇතැම් ඖෂධ ගෙන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් පෙන්වා දුන්නේ මේ අතරය. ඖෂධ ලබා ගැනීමට නුසුදුසු ලෙස අසාදු ලේඛන ගතකර තිබූ සමහර සමාගම් මගින් බෙහෙත් මිලදී ගැනීමට කටයුතු කර තිබූ බවටද කරුණු වාර්තා විය. තවත් ඉතිහාසගත වන අමුතු සංසිද්ධියක් වූයේ මේ රට සෞඛ්‍ය ඇමැතිවරයෙක් පළමු වතාවට සිය සාක්කුවේ මුදලින් පිටරට ගොස් සිය මිතුරෙකුටද ණය වී මෙරට ජනතාවට ලැබෙන ඖෂධ ගැන තරු 5 හෝටලයක සිට සොයාබැලීමට තරම් සංවේදි වීමය. නමුත් මේ සිද්ධි දාමය අතර රට තුළ අස්වාභාවික ලෙස රෝහල් ගත මරණ රැල්ලක් පැතිර ගියේය. තතුදත් විද්වතුනට අනුව මේ මරණ රැල්ල අස්වාභාවිකය.

මේ පිළිබඳව නැගුණු සමාජ අපවාදය සහ ජනඝෝෂාව මැද සෞඛ්‍ය ආමාත්‍යාංශය කරුණු සෙවිම සඳහා කමිටු 2ක් පත්කළේය. ඉන් එකක් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හත් දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුවකි. රටේ නමක් දිනාගත් විද්වතුන් පිරිසකගේ එකතුවෙන්  යුතු මේ කමිටුවට සීමිත කාලයක් තුළ තමන්ට ලබාදුන් විෂයය රාමුවක් තුළ ක්‍රියාත්මක වෙමින් මරණ රැල්ලට මූලික වූ ප්‍රධාන හේතුව නොව මේ ඇතැම් මරණකරුවන් ඖෂධ අසාත්මිකතාවට ලක්ව ඇත්දැයි සොයන්නට නියමවිය. අන්තිමේ රටම බලා සිටි මේ කමිටු වාර්තාව එළියට ආවේය. නමුත් එයින් විස්තර වූයේ තමන් වෙත විස්තර ලද මරණ 15න් කමිටුව සොයා බැලු මරණ 6කින් 5ක් ආසාත්මිකතා ලක්ෂණ සඳහා වූ හේතු සාධක සපුරා ඇති බවත් ඉන් 4ක් සඳහා  සැක සහිත ඖෂධවර්ග බොහෝ දුරට හේතුවිය හැකි බවටත්ය. මේ අතරින් දෙකක් කෙළින්ම ප්‍රතිජීවක ඖෂධ 2ක (ceftriaxone / co-amoxiclav) අසාත්මිකතාව හේතුවෙන් සිදුව ඇති  බව වාර්තාව කියයි.

නමුත් මේ කමිටුවේ  සම්පූර්ණ වාර්තාව ඖෂධ සහ රෝහල් භීතිකාවෙන් පෙළෙන මහජනතාව දැනුම්වත් කිරීම සඳහා  එළියට ආවේ නැත. එළියට ආ කොටස් කිහිපයේ ඉතිරි අනෙකුත් මරණ 9ක් සඳහා වූ හේතූකාරක ගැන සඳහන්වද නැත. ඒ වෙනුවට කමිටු නිගමන සහ දැනටමත් රෝහල් තුළ  ක්‍රියාත්මක සෞඛ්‍ය  නිර්දේශ  කිහිපයක් නැවත මතක් කරදීම පමණක් සිදුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෘත්තීය සහ සිවිල් සංවිධාන පෙන්වා දී ඇත. ඒ අනුව සම්පූර්ණ කමිටු වාර්තාව මරණ 9ක් සඳහා වූ හේතූකාරක සඟවාගනිමින් ආමාත්‍යාංශය තුළ අතුරුදන්ව ගොසිනි. ඒ අතුරුදන් වූ කොටසේ තිබුණේ කුමක්ද? ඒවා අතුරුදන් කිරීමට තරම් ඒ තුළ අන්තර්ගතව ඇති අතිශය පෞද්ගලික රහස්‍ය කරුණු මොනවාද?

මේ කමිටුව මගින් ඖෂධයන්ගේ ප්‍රමිතිය - ගුණාත්මකභාවය ගැන සෙවීමක් සිදුවූයේ  නැත. මහාචාර්ය චන්දිම ජීවන්දර  කියනා ආකාරයට ඔවුන්ට අයත්ව තිබුණේ මරණයට පත්වු අය ඖෂධ ආසාත්මිකතා ලක්ෂණයන්ට ගොදුරුව ඇතිදැයි සොයා බැලීමය. මරණයට හේතුකාරකය කුමක්දැයි සොයනු වෙනුවට ආසාත්මික ලක්ෂණ තිබේදැයි සෙවීම අමුතු කරුණකි. ඒ නිසාම එය පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් ලෙස ඇතැම්හු අර්ථ දක්වති.

මේ ඖෂධයන් ඒවායේ ගුණාත්මකභාවය ප්‍රමිතිගතව සපුරා ඇතිද? මේවා එකම කාලයක ගෙන්වු ඒවාද? විශේෂයෙන්ම “හදිසි මිලදි ගැනිම්” ලේබලය යටතේ 109 වගන්තියට මුවා වී ගෙන්වූ ඒවාද? ඒවා අසාදු ලේඛනගත සමාගම්වලින් ලබාගත්තාද? මේ කිසිවකට   පිළිතුරු නැත.

රට තුළ රොහල් පද්ධතියේ ඖෂධ ආසාත්මිකතා වාර්තා වීම හෝ ඒ හේතුවෙන් හටගත් මරණ හෝ වාර්තාවීම අසන්නට - දකින්නට දුර්ලබ කාරණාවක් නොවන බව අසාත්මිකතා පිළිබඳ වෛද්‍ය මහාචාර්ය චන්දිම ජීවන්දර අප කළ විමසීමකදී පැහැදිලි කර දුන්නේය. ඒ තත්ත්වය සැබෑ වුවද එකම ඖෂධයක් හේතුවෙන් දිගින් දිගටම මරණ කිහිපයක් සිදුවුවා නම් එය සැකසහිත බවත් එය වහා පරීක්ෂාවට ලක්විය යුතු නොවේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රශ්න කරයි.

මේ කමිටු වාර්තාව අවධාරණය කර තිබූ තවත් වැදගත් කරුණක් වන්නේ එය සම්පාදනය කරන අවස්ථාව වනවිට අදාළ සැකසහිත ඖෂධ සම්බන්ධ විස්තීර්ණ තත්ත්ව පරීක්ෂණ වාර්තාවන් තමන්ට ලැබී නොතිබුණු බවයි.

ආසාත්මිකතා ඇති වූවා නම් ඒ සඳහා අදාළ ඖෂධයේ බලපෑමක් හෝ ඖෂධය සමග ඇති යම් සංයෝගයක - අපද්‍රව්‍යයක බලපෑමක් සිදුවීමට හැකිය යන සැකය මතුවීම සාධාරණය. ඉතින් ඒ ගැන සෙවීමට මූලිකත්වය දෙනවා වෙනුවට, අසාත්මිකතා බලපෑම  ගැන පමණක් සොයන්නට රටේ පිළිගත් විද්වතුන් පිරිසක් යොදාගත්තේ කුමකටද? මේ ජනතාව තුළින් නැගෙන ප්‍රශ්නය. 

මේ ප්‍රශ්නකාරී ඖෂධ සාම්පලයන්හි  ගුණාත්මක - තත්ත්ව පරීක්ෂාවට ලබාදුන් බව මේ වනවිට ප්‍රකාශ වී ඇත. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඇති    පරීක්ෂණාගාරයකටය.

එසේම මේ තත්ත්ව පරීක්ෂාව අන්තර්ජාතික පිළිගත් මට්ටමකින් සිදුකිරීමට මෙරට විද්‍යාගාරයකට හැකිද? එසේනම් අශ්වයා පලාගිය පසු ඉස්තාලය වසන්නට නොසිට  මේ ඖෂධ රට තුළට ගන්නට පෙර පරීක්ෂා නොකළේද? එසේ නම් ඒ මන්ද? මේවාද ජනතාව නගන ප්‍රශ්නය.

මේ සියල්ල අතර ජනතාව තුළ මතුව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ අදාළ ඖෂධයන්හි බලපෑම මේ මරණ සඳහා හේතුවූවා නම්  සහ ඒ ඖෂධ තත්ත්වයෙන් බාල ඒවානම් මේ මරණ හේතුවෙන් අදාළ වින්දිතයන්ට හෝ සමීපතමයන්ට හෝ ඒ සඳහා වන්දියක් ලබාදෙනවාද? ඒ වන්දි ලබාගන්නේ අදාළ සමාගම් වලින්ද? රජයෙන්ද? යන්නය.

I සුගත් පී. කුලතුංගආරච්චි