2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

දඩමස් ඇතුළේ වස!

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 94

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන කතාව බොහොම පැරණිය. එක අදහසකින් ගමන ගියත් හාත්පස වෙනස් තවත් අරමුණක් ඉටු කරගෙන ගමන නිමවීම ගැන මින් කියැවේ. පින් සිත් ඇතිව වන්දනා ගමනක ගියත් පින්කම් අතරමැද දඩමස් සොයාගෙන කෑම දඹුලු ගිහින් තලගොයි මරාගෙන කෑමට වඩාත් සමීපය.

වන්දනා ගමන්වලට වඩා අද විනෝද ගමන් බහුලය. රහමෙර පානය අතරමැද කටගැස්මට දඩමස් සොයන උදවිය කොතෙකුත්ය. පාසල් නිවාඩුවත් සමඟ මේ දිනවල විනෝද ගමන් හා සංචාර අධික බව දකින්නට ලැබේ. දරු පවුල් පිටින් දුර පළාත්හි ඇවිදින්නට යන අයට දඩමස්, බැදපු වැව් මාළු හෝ බාබකිව් කටට වෙනස් රසයකි.

මේ කතාව විනෝද ගමන් අතරතුර රසවිඳින කෑම බීමද බරපතළ අවදානම් එකකි. දැනට පවතින වියළි කාලගුණය දිවයින පුරාම පවතී. එබැවින් වතුර සොයමින් බොහෝ වන සතුන් ගම්වදින බව කියැවේ. එම තත්ත්වය හමුවේ ඇතැම් නොමිනිස්සු වස විස මිශ්‍ර කර සතුන් දඩයම් කිරීමට පෙළඹී සිටිති. මේ නිසා දඩමස් ලෙස අලෙවි කරන ඇතැම් මස් වර්ග අනුභවය දැඩි අවදානම් සහගත බවත් ඒ පිළිබඳ මනා සැලකිල්ලක් දැක්විය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ වියළි කාලගුණය යටතේ ඇතැම් පිරිස් විසින් වතුර සොයා ගම්වදින වන සතුන්ට වස මිශ්‍ර ජලය හා ආහාර සපයා සතුන් දඩයම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවකි. එබැවින් දඩමස් ආහාරයට ගැනීම දැඩි අවදානමක පවතින බවද ඔහු පෙන්වා දෙයි.

මේ දිනවලදී පාසල් නිවාඩු සමය යෙදී තිබේ. ඒ හේතුවෙන් දේශීය සංචාරකයන්ගේ විනෝද සංචාර ඉහළ ගොස් ඇත. මෙවැනි පිරිස් ඉලක්ක කොට වස විස යොදා මරණ සතුන් දඩමස් බව කියා අලෙවි කිරීම බරපතළ ගැටලුවකි. මේ තත්ත්වය අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, මඩකලපුව හා පුත්තලම වැනි සංචාරක ආකර්ශනය ඇති ප්‍රදේශ ආශ්‍රිතවත් දකුණු පළාතේ මාතර හම්බන්තොට, කතරගම, සෙල්ලකතරගම, තිස්සමහාරාමය, සූරියවැව, බෙලිඅත්ත වැනි ප්‍රදේශවල බහුලව වාර්තා වන බවත් පැවසේ.

වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශවල මුවමස්, ගෝන මස්, වල්ඌරු මස් හා තලගොයි මස්වලට වැඩි ඉල්ලුමක් ඇත්තේ සංචාරක පිරිස් වෙතිනි. ඔවුන්ට දඩමස් අලෙවි කිරීම සඳහා විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් පුරුදු වී සිටිති. බුන්දල, යාල, උඩවලව හා ලුණුගම්වෙහෙර ප්‍රදේශවලද මේ බව දකින්නට හැකිය. වතුර සොයමින් ගම් වදින සතුන් දඩයම් කිරීමේ පහසුව තකා දිය කඩිති හා වතුර වළවල්වලට වස මිශ්‍ර කිරීමට ඇතැම් දඩයම්කරුවෝ පුරුදු වී සිටිති. වෙඩි තැබීම, තුවක්කු බැඳීම හා මදු ගසා සතුන් දඩයම් කිරීමට වඩා වස ලබාදීම නිසා සතුන් දඩයම පහසු වී ඇති බව කියැවේ. මෙවැනි මස් අනුභව කිරීම නිසා ක්ෂණික මරණය මෙන්ම විවිධ සෞඛ්‍ය ගැටලු මතුවීමට ඉඩ ඇති නිසා සැක සහිත මස් අනුභව නොකරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳ ප්‍රදේශ රුසකින් තොරතුරු වාර්තා වී තිබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ක්‍රියාවන්හි නිරත පිරිස් සොයා එම දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ. එවැනි සැක කටයුතු සිදුවීම් ඇත්නම් වහාම 1992 හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ පැවසීය.

''වියළි කාලගුණය නිසා විල්පත්තුව, යාල, උඩවලව වගේ සංරක්ෂිත අභයභූමි හා වනාන්තරවල සතුන්ට බීම සඳහා ජලය හිඟ වී තිබෙනවා. ජලය රුඳිලා තිබෙන්නේ කුඩා හා සීමිත ස්ථානවල පමණයි. ඒ වගේ තැන්වලට වස මිශ්‍ර කරලා සහ කැලෑ ගිනි තියලා සතුන් දඩයම් කරන බව වාර්තා වෙනවා. එවැනි මස් දඩමස් කියලා සංචාරකයන්ට විකිණීම කරනවා. මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, මඩකළපුව ප්‍රදේශවල ඇවිදින සංචාරකයන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. වස මිශ්‍ර මස් අනුභවය නිසා ක්ෂණිකව මරණයට පත්වීම වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ශාරීරික ආබාධ හෝ දීර්ඝකාලීන රෝගී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නොදන්නා තැන්වලට ගිහින් දඩමස් ආහාරයට ගැනීම අනතුරුදායකයි. ඒවායෙන් වළකින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.''

I සමන්ත ප්‍රදීප් විල්තෙර