ඉන්දියාව ලොකු ලූනු හෙවත් බීලූනු සඳහා බද්දක් පැනවීම හේතුවෙන් පසුගිය සතියේ සිට මෙරට වෙළෙඳපොළේ ලොකු ලූනුවල මිල ඉහළ ගියේය. වෙළෙඳුන් පවසන්නේ මේ හේතුවෙන් ලොකු ලූනු මිලදී ගැනීමට එන පාරිභෝගිකයින්ගේ විශාල අඩුවක් සිදුව ඇති බවය.
ඉන්දියාවෙන් අලුතින් බද්දක් පැනවූ නිසා බොම්බයි ලූනු (ලොකු ලූනු) වල මිල ඉහළ ගියා. පසුගිය සතිවලට වඩා මේ බද්ද නිසා බොම්බයි ලූනු කිලෝ එකක මිල රුපියල් හතළිහක් විතර වැඩිවෙලා තියෙනවා. ඒ අනුව අපි බොම්බයි ලූනු තොග මිල විදිහට කිලෝවක් රුපියල් එකසිය හැත්තෑවක් පමණ වෙනවා. ඒ මිල අපි දෙන්නේ ලූනු මිටියක් ගනිද්දියි. (ලූනු මිටියක් යනු ලූනු කිලෝ විසිපහක් ඇති විශාල ගෝනියකි.) මෙතන අපි ලූනු අලෙවි කරන්නේ තොග වෙළෙඳුන්ට පමණයි. මෙතනට ලූනු ගන්න ආපු තොග වෙළෙඳුන්ගෙන් අඩුවක් මේ සතියේ අපිට දකින්නට ලැබෙනවා. ලූනු මිල ඉහළ යාමත් සමඟ අපෙන් වෙදනාට ලූනු මිටි තුනක් ගත්තු වෙළෙඳුන් අද එක ලූනු මිටියක් අරගෙන යන තත්ත්වයට මේ බද්ද නිසා පත්වෙලා තියෙනවා.'' යැයි පෑලියගොඩ මැනිං එළවළු සංකීර්ණයේ ව්‍යාපාරික ධර්මලිංගම් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මෙලෙස ලොකු ලූනුවල මිල බද්ද හේතුවෙන් ඉහළ ගියද රතු ලූනු සහ සුදු ලූනුවල මිල ගණන් ඉහළ නොගිය බව ඔවුහු පවසති. ඒ අනුව පෑලියගොඩ එළවළු වෙළෙඳ සංකීර්ණයේ රතු ලූනු කිලෝ එකක මිල රුපියල් තුන්සීයක් වන අතර සුදු ලූනු කිලෝ එකක මිල රුපියල් දෙසීය අනූවත් රුපියල් තුන්සිය විස්සත් අතර මිලකට අලෙවි වේ. කෙසේ වුවද පෑලියගොඩ මැනිං එළවළු පොළෙහි ලොකු ලූනු මිල එලෙස වුවද සාමාන්‍ය වෙළෙඳසලකින් ලොකු ලූනු එම මිලකට කෙසේවත් ගත නොහැකිය. පෑලියගොඩ එළවළුසලෙහි මෙම මිල සටහන් වන්නේ තොග වෙළෙඳුන්ට පමණි. ඒ අනුව එයින් එම මිල තොග වශයෙන් මිලදී ගන්නා තොග වෙළෙන්දෝ එයට වඩා මිලකට තවත් අතරමැදි වෙළෙඳුන්ට වෙළඳාම් කරති. එලෙස අතරමැදි වෙළෙඳුන් කීප දෙනකු අතර හුවමාරු වන ලොකු ලූනු පාරිභෝගිකයන්ට අවසානයේදී මිලදී ගැනීමට සිදුවන්නේ ඉතා විශාල මිලකටය. ඒ අනුව මේ වනවිට ඇතැම් වෙළෙඳසල්වල ලොකු ලූනු මිල සටහන් වනු ලබන්නේ කිලෝවක් රුපියල් දෙසීය අසූවත් තුන්සිය විස්සත් අතර මිලකටය. සමහරු ඊටත් වැඩි මුදලකට විකුණති.
''අපි මේ දවස්වල ලොකු ලූනු කිලෝවක් රුපියල් එකසිය අසූවකට තමයි දෙන්නේ. ඉස්සර වගේ දැන් වෙළෙඳාම් නැහැ. මිනිස්සු මේ රටේ ප්‍රශ්නත් එක්ක, හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට සල්ලි නැහැ. ඉතින් මිනිස්සුන්ට සල්ලි නැතිව අපි කොහොමද මේවා විකුණාගන්නේ. අපෙන් තොග මිලට බඩු ගන්න ඉස්සර තොග වෙළෙඳුන් ගොඩාක් දවසකට ආවා. සමහර වෙලාවට අපිට තේ උගුරක් බොන්න බැරි තරමට වෙළෙඳාම් තිබුණා. ඒ තරමටම අපි බිසී වුණා. දැන් එහෙම නැහැ. විශ්වාස කරනවාද...? සමහරදාට අපි පොඩ්ඩක් නිදාගන්නවා. ඒ තරමටම වෙළෙඳාම් අඩුයි. අපිට දැන් අපි ගැනම දුකයි... අපි ලූනු වගේම අලත් වෙළෙඳාම් කරනවා. අල නම් එහෙම ලොකු වැඩිවීමක් වුණේ නැහැ. අල කිලෝවක් රුපියල් එකසිය හැත්තෑවට අපි විකුණනවා. මේ එක අල ගෝනියක කිලෝ පහළොවක් තිබෙනවා. ලොකු ලූනු ගෝනියක කිලෝ විසි පහක් තියෙනවා. පුත්තලමේ රතු ලූනු තමයි අපි විකුණන්නේ. ඒ කිලෝවක් රුපියල් දෙසීය අසූවටයි. දැන්නම් බිස්නස් හරි අඩුයි. මොනවා කරන්නද? මේක අපේ බිස්නස් එකනේ.'' යැයි පෑලියගොඩ මැනිං එළවළු සංකීර්ණයේ ව්‍යාපාරික ශ්‍රීදරන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ අනුව සෑම වෙළෙන්දකුම පවසන්නේ මේ පවතින තත්ත්වය හමුවේ තමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින පසුබෑමට ලක්වන බවය. ඇතැම් තොග වෙළෙඳුන් මේ ව්‍යාපාර කටයුතුවලින් ඈත්ව ඇති බවද ඔවුන් පවසන අතර තොග වෙළෙඳාම් කටයුතු සඳහා ගනු ලබන ඇතැම් ණය නැවත ගෙවා ගැනීමට තරම් හොඳ ආදායම් තත්ත්වයක් නොමැතිකම හේතුවෙන් ඇතැම් වෙළෙන්දෝ මානසිකව දුර්වලව ඇති බවද ඔවුහු පවසති.
''ඉන්දියාවේ බද්දක් නිසා ලංකාවේ ලූනු මිල ඉහළ ගිහින් කියනවා. කිලෝවක් රුපියල් එකසිය විස්සට එකසිය තිහට තිබුණ ලූනු අද වනවිට මේ බද්ද නිසා රුපියල් එකසිය අසූව රුපියල් දෙසීය දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ තොග මිල විතරයි. සාමාන්‍ය මිනිසුන්ට බී ලූනු කිලෝවක් රුපියල් තුන්සීයකට වගේ ඉහළ මිලකට ගන්නත් සිදුවෙලා තියෙනවා. සමහර එළවළු මිලත් මේ වනවිට ඉහළ ගිහින් තිබෙනවා. හොඳ කැරට් කිලෝවක් රුපියල් තුන්සිය පනහක් විතර වෙනවා. ඒ අනුව කැරට් සිල්ලර මිල රුපියල් හාරසීයක් රුපියල් හාරසිය පනහක් විතර වෙනවා. මිනිසුන්ට සල්ලි නැතිකම නිසා මේ බඩු විකිණෙන්නේ නැහැ. වෙනදා ගෝනි ගත්තු වෙළෙඳුන් අද කිලෝ පහක් දහයක් ගෙනියනවා. වෙනදා කිලෝ පහක් දහයක් ගෙනියපු මිනිස්සු ද කිලෝ දෙකක් තුනක් අරගෙන යනවා. ඒ වගේ තත්ත්වයක් අද තියෙන්නේ. ඒ වගේම අපේ රටේ ප්‍රමිතියක් නැහැ. මැදපෙරදිග හැම රටකටම යවලා ඉතුරුවෙන පකිස්තාන් අල තමයි අන්තිමට අපේ රටට එවන්නේ. ඒකේ කිසිම ප්‍රමිතියක් නැහැ. මඩවලින් අලවල හිඩැස් වහලා. පිදුරු ගස් වගේ දේවල් එක්ක තමයි පකිස්තාන් අල මෙරටට ගෙන්වන්නේ. අපේ රටට එන එළවළු දැක්කහම මේ පාලකයෝ ගැන පිළිකුලක් ඇතිවෙනවා. අපේ රටේ දේවල් ගැන ඒ පාලකයින්ට, අදාළ නිලධාරීන්ට වටිනාකමක් නැහැ.'' යැයි පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළේ ව්‍යාපාරික ජානක මහතා දේශයට පැවසීය.
මේ අනුව මේ වනවිට පෑලියගොඩ එළවළු වෙළෙඳපොළේ හොඳ කැරට් කිලෝවක් රුපියල් තුන්සිය විස්සක් වන අතර බෝංචි කිලෝවක මිල රුපියල් තුන්සීයකි. ගෝවා රුපියල් එකසිය පනහකි. බීට් කිලෝවක් රුපියක් අසූවක් වන අතර පිපිඤ්ඤා තොග මිල ලෙසින් සඳහන් වූයේ කිලෝවක් රුපියල් සීයක් ලෙසිනි. අමු මිරිස් කිලෝවක් රුපියක් හාරසීයක් වන අතර තක්කාලි තොග මිල කිලෝවක් රුපියල් සීයකි. බතල කිලෝවක් රුපියල් අනූවකි. ලීක්ස් කිලෝවක් රුපියල් අසූවකි. මුරුංගා කිලෝවක් රුපියල් දෙසීයකි.
''අපි ආවේ හෝමාගම ඉඳන්. අනිද්දාට පන්සලට දානේ. හෝමාගමින් මේ එළවළු, ලූනු ටික ගත්තොත් දාන දෙකකට යන මිල යනවා. ඒ නිසයි මහත්තයා එක්ක බයික් එකේ පෑලියගොඩ ආවේ. බොම්බයි ලූනු මිලත් ඉහළ ගිහින්. හාල් මිලත් ඉහළ යනව කියලයි ආරංචිය. මේ විදිහට ගියොත් නම් ජීවත්වෙන්න අමාරුයි. අපි එක එළවළුවක් එක්ක බතක් කෑවත් දානයට පන්සලට එහෙම යවන්න බැහැනේ. මොනවා කරන්නද...? දැන්නම් ජීවත් වෙන්න හරි අමාරුයි.'' හෝමාගම ස්වර්ණා මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ