2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

උද්ධමනය බහිද්දී බඩු මිල නගින ඉලක්කම් විජ්ජාව!

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 100

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මාස 21කට පසු මෙරට උද්ධමනය තනි ඉලක්කමක අගයට පැමිණ ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව 2023 ජූලි මාසයේ උද්ධමනය 4.6% කි. 2023 ජූනි මාසයේ එය පැවතියේ 10.8% ලෙසිනි. මෙරට උද්ධමනය අවසන් වරට තනි අගයක පැවතියේ 2021 ඔක්තෝබර් මාසයේය. එම මාසයේ උද්ධමනය 8.3% ලෙස වාර්තා විය. එහෙත් 2022 සැප්තැම්බර් මාසය වන විට එය 73.7% දක්වා ඉහළ ගියේය. එම වාර්තාව අනුව පසුගිය ජූනි මාසයේ  2.5% ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේ සෘණ 2.5% දක්වා පහත වැටී තිබේ. ජූනි මාසයේ 18.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 10.9% දක්වා පහත වැටී ඇත. එමෙන්ම නිවාස, ජල, විදුලි ගෑස් සහ අනිකුත් ඉන්ධන ඇතුළත් උප කාණ්ඩයේ උද්ධමනයද 25.0% සිට 15. 9% දක්වා අවම වී ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

එහෙත් පාරිභෝගික ජනතාව පවසන්නේ උද්ධමනය අඩු වී ඇත්තේ සංඛ්‍යාලේඛනවල විනා සැබෑ ලෝකයේ නොවන බවටය. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තා ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුලද සතුටු කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන ඒවා විය හැකි යැයි ඔවුහු සඳහන් කරති. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හමුවේ එක් වේලක්වත් කුසගින්න නිවාගත නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව සිටින අතර පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය අඩු වුවද භාණ්ඩ හා සේවාවල අගය පහත වැටී නොමැති යැයි ඔවුහු පවසති. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අයුරින් රටේ උද්ධමනය පහත වැටී තිබේද? අපි මේ සම්බන්ධයෙන් ප්‍රවීණයන් කිහිප දෙනකුගේ අදහස් විමසා බැලීමක් කළෙමු.  

49% කින් වැඩිවෙලා 2.5% කින් අඩු වුණාට ඒක දැනෙන්නෙ නෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මෙලෙස සඳහන් කළේය. 

''ලංකාවේ උද්ධමනය මනින ක්‍රම දෙකක් තිබෙනවා. ඒ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021ට සාපේක්ෂව 2023 ජූලි මාසය වන විට භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් 102% කින් පමණ වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව පාරිභෝගිකයාට යම්කිසි භාණ්ඩ පැසක් මිලට ගැනීමට 2021 දී රුපියල් දහසක් වැය වුණා නම් මේ වන විට ඒ සඳහා රුපියල් 2000 ට වැඩි මුදලක් වැය කරන්න සිදුවී තිබෙනවා. ආහාර කාණ්ඩයේ මිල 128% කින් පමණ වැඩිවෙලා. ආහාර නොවන භාණ්ඩවල මිල ගණන් ද 85% කින් පමණ ඉහළ ගොසින්. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන දත්ත පිළිබඳව අපට ගැටලුවක් නැහැ. ඔවුන් විසින් හඳුනාගත් භාණ්ඩ පැසක් තියෙනවා. ඒවායේ මිල ගණන් නොකඩවා ලබා ගන්නවා. ඒ අනුව ඔවුන් මෙම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා. උද්ධමනය පහළ යාම ජනතාව තේරුම් ගන්නේ වැරදි ආකාරයටයි. උද්ධමනය පහළ යාම යනු භාණ්ඩ මිල පහත වැටීමක් නොව භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන්වල වැඩිවීමේ වේගය පහළ යාමයි. පසුගිය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ උද්ධමනයේ අඩුවීම ඍණ දශම 7 පමණ වෙනසක් පමණයි. 2022 වසරේ අදාළ මාසයට සාපේක්ෂව මේ වසරේ අදාළ මාසයට තමයි උද්ධමනය ගණනය කරන්නේ. සමස්තයක් ලෙස ගත්තම ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.5% කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරනවා. එය ජනතාවට වැදගත් නොවන අගයක්. 2023 ජනවාරි මාසයට සපේක්ෂව පෙබරවාරි මාසේ උද්ධමනය 49% කින් වැඩි වුණා. ඒ මාසේ 49% කින් වැඩිවෙලා ජූලි මාසයේ 2.5% කින් අඩුවීම ජනතාවට කිසිදු ආකාරයකින් දැනෙන්නේ නැහැ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන දත්ත පිළිබඳව නොවෙයි ගැටලුව. එය සමාජයට නිවැරදි ලෙස අර්ථකථනය කර තොරතුරු ලබා නොදීමේ ගැටලුවයි තියෙන්නේ. එදා පැවැති මිල ගණන් සමඟ වර්තමාන තත්ත්වය සංසන්දනය කරන විට අඩුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. සමස්තයක් ලෙස භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහත වැටී ඇතැයි ප්‍රකාශ කළ නොහැකියි. මේක හරියට අපි කඳු මුදුනකට නැගලා තවත් කන්දක උස බලනවා වගේ වැඩක්. මේ වන විටත් ජනතාව දැඩි අපහසුතාවලට පත්වෙන උද්ධමන මට්ටමකයි ඉන්නේ.'' යනුවෙන් සඳහන් කළේය.
ගෑස් හැර අනෙක් භාණ්ඩ මිල වැඩි වුණා 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතාන මහතා සඳහන් කරන්නේ උද්ධමනය අඩු වී තිබේ නම් පාරිභෝගිකයා අත ඇති මුදලට මිලදී ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි විය යුතු බවයි. එහෙත් එවැන්නක් සිදුවී නොමැති යැයි ඔහු පෙන්වා දෙයි.

''උද්ධමනය ගණනය කිරීම කාලයක් තිස්සේ සිදුවෙනවා. ඒ අනුව ඔවුන් දත්ත ප්‍රකාශයට පත් කරනවා. එහෙත් ගිය මාසයට සාපේක්ෂව මේ මාසයේ උද්ධමනය අඩුවෙලාය කියන ප්‍රකාශය එතරම් නිවැරදි ප්‍රකාශයක් නොවෙයි. පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් සලකා බලන විට භාණ්ඩ හා සේවාවල මිල ගණන් සැලකිය යුතු මට්ටමකට අඩුවෙලා නැහැ. මෙම සංඛ්‍යාලේඛනවල සඳහන් වන පරිදි පාරිභෝගිකයාට දැනෙන ආකාරයට උද්ධමනය අඩුවෙලා නැහැ. ප්‍රධාන වශයෙන් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යනවා විනා අඩුවීමක් නැහැ. කලින් කලට මිල ඉහළ පහළ යාමක් පෙන්නුම් කළත් භාණ්ඩ මිල ඉතා වැඩියි. උද්ධමනය අඩු වුණා කිව්වට එය පාරිභෝගිකයාට දැනෙන්නේ නැහැ. මෙම වාර්තාවේ දැක්වෙනවා විදුලිය, ඉන්ධන, ජලය, ගෑස් වැනි උප කාණ්ඩයේ  උද්ධමනය අඩුවෙලා කියලා. එය පිළිගත නොහැකි කරුණක්. ගෑස් හැර අනිකුත් සියල්ලේ මිල විශාල ලෙස වැඩි වුණා. ඒ නිසා මෙම සංඛ්‍යාලේඛනවල පරස්පරයක් තිබෙන බව අපට හැඟෙනවා. සංඛ්‍යාලේඛන සැකසීම සඳහා දත්ත ලබාගැනීමේ දුර්වලතා පවතිනවා. සාමාන්‍යයෙන් දෝෂ මඟහැරලා තමයි අවසන් දත්ත ගන්නේ.  අලුත් වාර්තාව දෝෂ සහගත බවයි අපට හැඟෙන්නේ. ලංකාවේ දත්ත ලබාගැනීමේ ක්‍රමවේද දැන් යල් පැනලා. ලෝකයේ දියුණු රටවල් මීට වඩා සාර්ථක ක්‍රමවේද භාවිත කරනවා.'' යනුවෙන් සඳහන් කළේය.

මේ කියන විදියට අපේ විදුලි බිලත් ජල බිලත් අඩුවෙලා තිබෙන්න ඕනෑ
වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය ආමින්ද මෙත්සීල පෙරේරා

වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය ආමින්ද මෙත්සීල පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාලේඛන පිළිබඳව සලකා බැලිය යුත්තේ ප්‍රායෝගිකව ජනතාව අත්විඳින තත්ත්වය අනුව බවයි. 

''ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාව අනුව ජූනි මාසයේ 10.8% ක්ව පැවැති රටේ උද්ධමනය ජූලි මාසයේ 4.6% දක්වා පහළ ගිහින්. උද්ධමනය අඩුවීම යනු මිල මට්ටම් අඩුවීම නොවෙයි. මිල මට්ටම් වැඩිවීමේ වේගය අඩුවීමයි. මේ වන විට රටේ මිල මට්ටම වැඩිවීමේ වේගය උපරිමයට ඇවිත් තිබෙනවා. ඉන් ඔබ්බට උද්ධමනය වැඩිවීමේ වේගය අඩුවී ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. එහි යම් ගැටලුවක් තිබෙනවා. ආහාර උද්ධමනය ඍණ 2.5% ලෙස සඳහන් වෙනවා. එම වාර්තාව අනුව ආහාර උද්ධමනය පහත වැටීමට බලපෑ හේතු සාධක කිහිපයක් පෙන්වා දී ඇති අතර මිල පහළ ගිය භාණ්ඩ කිහිපයක් ඔවුන් සඳහන් කර තිබෙනවා. එහෙත් පහුගිය කාලය පුරා එම භාණ්ඩවල සැලකිය යුතු ගණනකින් මිල අඩු වූ බවක් දකින්න ලැබුණේ නැහැ. පසුගිය දිනවල ලොකු ලූනු මිල රුපියල් 100 කින් පමණ ඉහළ ගියා. මෙවැනි තත්ත්වයක් මත ජනතාව මෙම සංඛ්‍යාලේඛන දකින්නේ සංඛ්‍යා විජ්ජාවක් ලෙසයි. ප්‍රායෝගික තලයේ සිදුවීම් සමඟ මෙම සංඛ්‍යා සැසඳෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපටත් පොඩි ගැටලුවක් තිබෙනවා. මෙම දත්ත අනුව ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයත් 25.0% සිට 15.9% දක්වා අඩු වී තිබෙනවා. එලෙස අඩුවීමට බලපෑ හේතු ලෙස දක්වා තිබෙන්නේ විදුලිය ගෑස් වගේ දේවල්. ඇත්තටම බැලුවොත් ගිය මාසෙ ඇතුළත ඉන්ධන මිල ඉහළ ගියා. විදුලිය, ජල ගාස්තු ඉහළ ගියා. ඒත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව අපේ විදුලි බිලත් අඩුවෙලා. වතුර බිලත් අඩුවෙලා. ඒකයි මම කියන්නේ ලේඛනයේ තියෙන ඇතැම් කරුණුවල නොගැලපීම් තියෙන බවට. ඔවුන් කියනවා බිත්තර මිල වැඩිවීම උද්ධමනයට හේතු වුණා කියලා. ඒත් රුපියල් 60ට 70ට ගිය බිත්තර මිල ගිය මාසේ වෙනකොට රුපියල් 45ට වඩා අඩු වුණා. මිල පහළ ගිය ඒවා වැඩි වුණා කියනවා. මිල ඉහළ ගිය ඒවා අඩු වුණා කියනවා. මේ නිසා රටේ ජනතාව තුළ කතිකාවතක් ඇතිවී තිබෙනවා මෙම සංඛ්‍යාලේඛන සැබැවින්ම නිවැරදිද කියලා. කාලයක් මුළුල්ලේ රටේ ආර්ථිකය පාදක වුණේ මහ බැංකුවේ දත්ත මතයි. මහ බැංකුව ස්වාධීන ආයතනයක් නොවන බවට මේ වන විට පැහැදිලිවම ඔප්පු වී තිබෙනවා. මෙතෙක් කල් ඔවුන් ලබා දුන් දත්තවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලුවක් තිබෙනවා. රජයේ දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය විශාල ලෙස කඩා වැටිලා. උද්ධමනය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කාලෙන් කාලෙට තොරතුරු එකතු කරනවා. අපට දැන් හිතෙනවා ඒ තොරතුරු එකතු කිරීමේ ක්‍රියාවලියත් ඔවුන් නිවැරදිව කරන්නේ නැහැ කියලා. කෙසේ නමුදු රජයට වැරදි තොරතුරු ළඟාවීමේ සම්භාවිතාවක් ඇති බවයි මට හැඟෙන්නේ.'' යනුවෙන් සඳහන් කළේය.


I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02