හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජයදාසයන් ගැන ලියූ සටහනකි
ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාව සිටි සමයේ මම ඔහු බොහෝ සමීපව ඇසුරු කර ඇත්තෙමි. ශ්‍රී ලාංකික දේශපාලනයේ අතිශය බරපතල රහස් ගොන්නක් ඔහු විසින් සඟවාගෙන නිහඬව සිටි බව මා දැනගත්තේ ඒ ඇසුර තුළිනි. තමන් සඟවා ගෙන සිටි රහස් මතක ගබඩාවේ තැන්පත් කර තිබූ ඇතැම් රසකතා මට රසකර කී ඔහු එක් බරපතළ කොන්දේසියකින් මගේ පෑනට විලංගු දැමීය.
''මා ජීවත්ව සිටිනතුරු මේ කතා කිසිවක් ඔබේ පුවත්පතේ පළ නොකළ යුතුය...'' යන්න ඔහු පැනවූ කොන්දේසියයි. මා ඒ ඇයිදැයි විමසුවේ මගේ මෝඩකමටය. එවිට ඔහු දුන්නේ අපූරු පිළිතුරකි. ''මම මගේ නියම ආයුෂ ගෙවල මැරෙන්න කැමතියි. ඊට කලින් මරණය ඉල්ලගන්න ඕන නැහැනේ...''
මේ කියන්නේ කවුරුන් ගැනදැයි දැන් ඔබට ප්‍රශ්නයක් වන්නට පිළිවන. ඒ පසුගිය සතියේ සදහටම අපට සමුදුන් හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි කේ.එච්.ජේ. විජයදාසයන් ගැනය.
වසර 1994 ඔහු ජනාධිපති ලේකම් පුටුවේ රාජකාරි කළ අවසන් දවසේ උදෑසන මා අමතා අද මගේ රාජකාරියේ අන්තිම දවස අපි උදේ 10.30ට විතර හම්බුවෙමුදැයි ඇසීය. ඒ ඇරයුම අනුව මම ජනාධිපති කාර්යාලයට ගියෙමි. මා යනවිට ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතා පැමිණ නව ජනාධිපතිනියගේ දිවුරුම් දීමේ උත්සවය ගැන සාකච්ඡා කරමින් සිටි බව මතකය. මා ඔහුගෙන් ඇසුවේ මේ කලබල අස්සේ කැඳවූයේ ඇයිද යන්නය.
''මම ඔබට ස්තූති කරන්නයි එන්න කිව්වේ. ඒ වගේම මම කිව්ව රහස් මා ජීවත්වනතුරු නොලියන්න කියල මතක් කරන්නත් ඕනෑ...'' යැයි පැවසූ හෙතෙම තමන්ට බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයේ මහ ලේකම් ධුරය ලැබීමට ඉඩ ඇතැයි කීය. එහෙත් ඒ අලුත් ආණ්ඩුව ඔහුගේ නම නිර්දේශ කළොත් පමණක් යැයි කියමින් සිනාසුණි. අවාසනාවකට ඔහුට ඒ නිර්දේශය ලැබුණේ නැත. එනිසාම ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ තනතුර ඉන්දියානු සිවිල් සේවකයකුට හිමිවිය.
කන්දෙකුමාර හපුදොරගමගේ ජෝතියරත්න විජයදාස මහතා මෙරට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වසර 6කුත්, ජනාධිපතිවරුන් දෙදෙනකුගේ ලේකම් ලෙස වසර 5කුත් සේවය කළේය. ඔහු මට කීවේ තමන් ප්‍රේමදාස ජනාධිපතිතුමන් සමඟ සේවය කළ යුගය දැලි පිහියෙන් කිරිපැණි කෑ යුගයක් බවය. ජනාධිපතිවරයා තමන් ඔහුගේ ලේකම් ධුරයට පත් කරගන්නට පෙර උපායක් යොදවා තමන්ගේ කේන්ද්‍රය පවා ගෙන්වා පරීක්ෂා කළ බවත් තමන් ගැන සොයන්නට රහස් පොලීසියට දන්වා තිබූ බවත් හෙතෙම මා සමඟ පවසා ඇත.
ඉතා කාර්යශූර හා කැපවීමෙන් සේවය කළ ජනාධිපති ප්‍රේමදාස මහතා උදෑසන 4.00 සිට රාජ්‍ය නිලධාරීන්ට දුරකතනයෙන් අමතා විවිධ නියෝග නිකුත් කළද තමන්ට කිසිම දිනක එලෙස කරදර නොකළ බවද සඳහන් කළේය. ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ කටයුතු කරන්නට ගොස් බොහෝ රසවත් අත්දැකීම්ද ඔහුට ලැබිණි. කෙන්යාවේ නිල චාරිකාවක් අතුරතුර එරට සුප්‍රකට ''මසයිමාරා'' වනෝද්‍යානය නරඹන්නට වායු බැලුනයකින් ගමන් කරමින් සිටි ජනාධිපතිවරයාගේ දූත පිරිසට විජයදාස මහතාද ඇතුළත් විය. අලි,
කොටි, සිංහ ආදී භයානක වනසතුන් වෙසෙන වනාන්තරයට ඉහළින් බැලුම ගමන් කරද්දී කාර්මික දෝෂයකට ලක්ව අනපේක්ෂිත ලෙස මහ වනාන්තරය මැදට වායු බැලුම කඩා වැටුණි.... පිරිස නැග සිටි වේවැල් පෙට්ටියද පෙරළී ගියේය. එය අතිශය භයානක අවස්ථාවකි. මෙහිදී සිදුවූ රසවත්ම දේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙරටින් ගොස් සිටි ආරක්ෂකයන් තුන්දෙනා බැලුම කඩා වැටෙනවාත් සමඟ ජනාධිපතිවරයා සහ දූත පිරිස තනිකර වහා දිවගොස් ගස්වලට නැග ආරක්ෂා වීමය. අවසානයේ කෙන්යානු රජය වහා හෙලිකොප්ටර එවා පිරිස බේරා ගත්තේය.
විජයදාස මහතා නීතිගරුක රාජ්‍ය සේවකයෙකි. එහෙත් ඔහුගේ නීතිගරුක බව නිසාම වරෙක ඔහුට මරණීය තර්ජනද එල්ල විය. එයට සම්බන්ධ යැයි කියන ඇතැම් චරිත අදත් ජීවත්වන බැවින් නම් ගම් සඳහන් නොකරමි. සිද්ධියට හේතු වූයේ ජනාධිපති කාර්යාලයේ කාමර ප්‍රශ්නයකි. ජනාධිපති ප්‍රේමදාසට සමීප කෙනකුට විජයදාස ලේකම්වරයාගේ නිල කාමරය අවශ්‍ය විය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය අදාළ තැනැත්තාට ලබා දුන්නේ නැත. එයින් කිපුණු අදාළ තැනැත්තා අමුතු ඇඳුමකින් සැරසී එක් උදෑසනක පිස්තෝලයකුත් රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදී එය ලේකම්වරයාගේ හිසට එල්ලකොට තර්ජනය කළේය. ඊට ප්‍රතිචාර දක්වන්නට නොගිය ලේකම්වරයා කළේ තමන් මින්පසු රාජකාරියට නොඑන බව සේවකයන්ට දන්වා නිවෙසට ගොස් නිදාගැනීමයි. අනතුරුව සිදුවූ සිදුවීම් පවසන්නට ගියහොත් ඊට අදාළ පුද්ගල අනන්‍යතාව හෙළිවෙයි. කෙසේ හෝ ජනාධිපතිවරයා මැදිහත්ව එම ප්‍රශ්නය විසඳුවේ දැඩි පියවර ගනිමිනි.
ඔහු ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා සමඟ ද සේවය කළේය. ඉතා හිත හොඳ නිවුණු නායකයකු වූ විජේතුංග මහතාගේ ඡන්දදායකයෙක් පැමිණ කුමන හෝ උදව්වක් ඉල්ලුවොත් එය ඉටුකර දීම එතුමාගේ ක්‍රමයයි. එක්වරක් කොළඹ ජනප්‍රියම පාසලක විදුහල්පතිවරයෙක් ජනාධිපති ලේකම්වරයා අමතා මෙසේ කීය. ''සර්, අපේ ඉස්කෝලෙ පළමු වසරෙ පුරප්පාඩු තිබෙන්නෙ 170යි. ඒත් ජනාධිපතිතුමා නිකුත් කළ ලිපි 330ක් විතර ලැබිල තියෙනව ළමයි ගන්න කියල. මම මොකද කරන්නෙ සර්...'' යැයි විදුහල්පතිවරයා ඇසීය. පසුව ඔහු මේ සිද්ධිය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අත්‍යවශ්‍යම දරුවන් ඇතුළත් කරගන්නා ලෙසට උපදෙස් දී ප්‍රශ්නය විසඳුවේය.
ප්‍රේමදාස මහතා ජනාධිපති කාලයේ විජේතුංග මහතා අගමැතිවරයාය. ඔහු සමඟ කිසියම් ජාත්‍යන්තර සමුළුවකට ගොස් ඉන්දියාව හරහා එන ගමනේදී විජයදාස මහතා හෝටලයේ නවත්වා විජේතුංග මහතා විශේෂ දෛවඥයකු හමුවන්නට ගියේය. පැය දෙක තුනකින් පසු හෝටලයට පැමිණි අගමැති විජේතුංග මහත් සතුටින් විජයදාස මහතාට කතා කළේය. අනතුරුව ඇතිවූ සතර කන් මන්ත්‍රණය මෙසේය.
''විජේ මම දේව රහසක් කියනව. හැබැයි පුතෝ මේක ලොක්කට එහෙම දැනගන්න තියන්න එපා...''
''මොකද්ද සර් ඔය රහස...''
''අයිෂෙ දෛවඥයා කියන්නෙ මම රටේ ජනාධිපති වෙනවය කියල... ඉර හඳ වගේ ෂුවර් කියලත් කියනව... අම්මප ඇත්ත...''
අගමැති විජේතුංග විජයදාසට කීය. කිසිවක් නොකියා නිහඬ වූ ජනාධිපති ලේකම්වරයා අපි සද්ද නැතුව ඉම්මු යැයි කියා එම රහස ගිල ගත්තේය. ඉන් අවුරුදු 4ක් ඇවෑමෙන් විජේතුංග මහතා ජනාධිපති වූ දිනයේ දිවුරුම් දීමෙන් පසුව සිය ලේකම් විජයදාසට පැත්තකට කතා කළ ජනාධිපති විජේතුංග ''කොහොමද මගේ දෛවඥයාගේ අනාවැකිය'' කියා විමසීය.
මෙවැනි අපූරු රසකතා ගොන්නක හිමිකරුවා වූ හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජයදාස මහතා තමන්ගේ සිවිල් සේවා දිවිය තුළ වඩාත්ම සතුටට පත්වූයේ පොළොන්නරුව මහ දිසාපති ලෙස වගා සටන ගෙන ගිය යුගයට බව මා සමඟ පවසා ඇත. එදා රටේ හොඳම මහ දිසාපති ලෙස ඔහු තේරී පත් වී අගමැති ඩඩ්ලි සේනානායකගෙන් මහත් ප්‍රශංසා ලැබීය.
මේ කෘතහස්ත සිවිල් සේවකයා සම්බන්ධයෙන් මා දන්නා තොරතුරු ඔහු කියූ රසකතා පොතක් ලියන්නට ප්‍රමාණවත්ය. එහෙත් ඔහු කියූ බොහෝ කතාවලට සම්බන්ධ උදවිය අදටත් ජීවතුන් අතරය. එනිසා ඒවා පසුවට තබමි. මාගේ වෘත්තීය ජීවිතය තුළ මා හඳුනාගෙන සිටි පරිපාලන ප්‍රවීණයන් අතර ඩබ්ලිව්.එම්.පී.බී. මැණික්දිවෙල, බර්නාඩ් පී. තිලකරත්න, එම්.ජේ. පෙරේරා, සෑම් විජේසිංහ, බ්‍රුඩ්මන් වීරකෝන්, ඩී.පී.අයි.පී.එස්. සිර්වර්ධන යන කෘතහස්තයන්ගේ ඇසුරින් මා ලැබූ අත්දැකීම් විවිධය. විචිත්‍රය. ඒ විචිත්‍ර චරිත අතර සිනහ නොවී විහිළු කතා කියන්නට සමත් විජයදාස මහතා කියූ එක්තරා අපූරු කතාවකින් මෙම සටහන නිමාකරමු.
ඒ ඔහු කෑගල්ල දිසාපති ලෙස කටයුතු කළ සමයයි. 1971 මුල් භාගයේ ජනතා විමුක්ති පෙරමුණ සිය පළමු සන්නද්ධ කැරුල්ලට සූදානමින් කෑගල්ලේ කැලෑවල අවි සටන් පුහුණුවන බවට ලද විශ්වාසදායක තොරතුරක් දිසාපති විජයදාසයන් එවකට අගමැතිනිය හා ආරක්ෂක ඇමැතිනිය වූ සිරිමාවෝ මැතිනියට වාර්තා කළේය. ඒ වාර්තාව අගමැතිනිය රජයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර සාකච්ඡා කළේය. එවකට ආරක්ෂක ලේකම් වූ ආතර් රත්නවේල් මහතා මෙම වාර්තාව දැක මහහඬින් සිනාසී ''මැඩම් මේ කෑගල්ලේ දිසාපතිට පිස්සු... අපි අහල යවමු තමුන්ට මොළේ අමාරුවක් තියෙනවද මේ වගේ බේගල් ලියන්න කියල...''
ආරක්ෂක ලේකම්ගේ ඒ විග්‍රහයෙන් පසු කෑගල්ල දිසාපතිගේ වාර්තාව කුණු කූඩයට ගියේය. එයින් හරියටම මාසයකට පසුව ජනතා විමුක්ති පෙරමුණ සිය පළමු සන්නද්ධ කැරුල්ල ආරම්භ කළේය. ඉන් ටික දිනකට පසු විජයදාස දිසාපතිට ආරක්ෂක ලේකම් රත්නවේල් මුණ ගැසුණි. ''සර් කොහොමද මොළේ අමාරුකාරයාගේ වාර්තාව....'' කියමින් විජයදාසයන් සිනාසුණි. ආරක්ෂක ලේකම් පිළිතුරු නොදී මගහැර ගියේය.
I රන්ජිත් ආනන්ද ජයසිංහ