2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

සහල් මිල ගැන ආණ්ඩුව කියන කතා ඇත්තද?

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

මේ දිනවල ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟයක් පිළිබඳ කතාබහක් ඇතිවී තිබේ. නියඟයෙන් කුඹුරු අස්වනු පාළුවීම නිසා බලාපොරොත්තු වන වී අස්වැන්න නොලැබීමේ අනතුරක් උද්ගතව ඇත. ආණ්ඩුවේ ඇමැතිවරුන් එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇති බවට මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කළද අනාගතයේ ලැබෙතැයි අපේක්ෂිත වී අස්වැන්න ගැන සැලකීමේදී යම් පමණක හෝ වී හිඟයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කළ හැකි බවට මත පළ වේ.

පසුගිය සතියේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක පමණ වී අස්වනු විනාශ වී ඇති නිසා රට තුළ සහල් හිඟයක් ඇති නොවුණද සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇති බවය. එයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ රජය සතුව අමතර සහල් හෝ වී තොග නොමැති වීමයි. ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකර පෞද්ගලික අංශයට දෙන බවට ඇමැතිවරයා චෝදනා කරයි. ඒ නිසා යම් ලෙසකින් සහල් මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා ගොවියන් රජයට වී නොදෙන බවට චෝදනා කළද එසේ වීමට හේතුව ඔහු ප්‍රකාශ කර නැත. ගොවීන් රජයට වී නොදෙන්නේ අන් හේතුවක් නිසා නොව වී අලෙවි මණ්ඩලයේ මිලට වඩා ඉහළ මිලකට පෞද්ගලික හාල් මුදලාලිලා වී මිලට ගැනීම නිසාය. වී අලෙවි මණ්ඩලය රුපියල් 85 – 90 ට මිලට ගන්නා වී කිලෝව පෞද්ගලික අංශයෙන් රුපියල් 100 – 110 අතර මිලකට ගනී. සම්බා වී කිලෝවක මිල රුපියල් 112 – 115 පමණ වේ. එසේ තිබියදී වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට තරම් පිස්සුවක් ගොවියන්ට නොමැති බව කිව යුතුය. එසේම වී මෝල්හිමියන් කුඹුරට පැමිණ එවෙලේම මුදල් ගෙවා වී මිලට ගන්නා නමුත් වී අලෙවි මණ්ඩලයට වී රුගෙනවිත් දිය යුතු අතර එසේ දුන්නද මුදල් ලබාගැනීමට ප්‍රමාදයක් පවතී. මේ හේතු නිසා මෝල්හිමියන්ට වී දීමට ගොවියෝ සැදී පැහැදී සිටිති.

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ පවසන්නේ වී අලෙවි මණ්ඩලයට වී මිලට ගැනීමට මුදල් නැති බවය. ඒ නිසා පවතින මිලට හෝ වී ගැනීමට නොහැකි වී තිබේ. මුදල් ඉල්ලමින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකා 9ක් ඉදිරිපත් කළද මුදල් ලැබී නැති බව පැවසේ. අලෙවි මණ්ඩලයට රට පුරා ගබඩා 356ක් තිබුණද මණ්ඩලය සතුව මේ වනවිට ඇත්තේ වී කිලෝ ලක්ෂ 45ක් පමණක් බව සභාපතිවරයා පෙන්වා දෙයි. වැඩිම අස්වැන්න අපේක්ෂිත ලබන මහ කන්නයට හෝ වී මිලදී ගැනීමට මෙතෙක් මුදල් දී නැත. එයට හේතු වී ඇත්තේ අඩු ආදායම්ලාභීන් සඳහා සහල් කිලෝ 20 බැගින් නොමිලේ දීමේ රජයේ වැඩපිළිවෙළය. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිසාපතිවරුන් වී මිලට ගැනීමට මුදල් වැය කර ඇත. මහ කන්නයේ වී මිලදී ගත්තා නම් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගෙන ගබඩා කිරීමට වී අලෙවි මණ්ඩලයට හැකිව තිබුණි.

''වී අලෙවි මණ්ඩලය පසුගියදා ගොවි භාර අරමුදලින් රුපියල් මිලියන 500ක් ණයට ලබාගෙන වී මෙට්‍රික් ටොන් 45ක් ලබාගෙන ගබඩා කර ගත්තා. එහෙත් එය සෑහෙන්නේ සතියකට පමණයි. මේ නිසා සහල් අර්බුදයක් ඇතිවුණොත් එයට මුහුණදීමට මණ්ඩලයට බැහැ.''

සභාපතිවරයා එසේ ඇත්ත තත්ත්වය පවසන්නේය. 

මේ අදහස අනුව සනාථ වන්නේ රටේ දැන් පවතින වී අර්බුදය හමුවේ වී අලෙවි මණ්ඩලයම අසරණ වී ඇති අයුරුය. වී අලෙවි මණ්ඩලය පිහිටුවීමේ පරමාර්ථය වී ගොවියාට සහන සැලසීම නමුත් එයට ඒ දෙය කළ නොහැකි නම් විශාල මහජන මුදලක් වැය කරමින් මෙම ආයතන පවත්වාගෙන යාමේ අරමුණ කුමක්දැයි වටහාගත නොහැකිය. මෙම තත්ත්වය උද්ගත වූයේ මෙම කන්නයේ පමණක් නොවේ. සෑම කන්නයකම වී අලෙවි මණ්ඩලයට වී ගන්නට මුදල් ලැබෙන්නේ නැත. එසේ යම් හෝ මුදලක් ලැබුණද එයින් වී මිලට ගත නොහැකි වන්නේ ගොවියා තම වී මණ්ඩලයට නොසැපයීමය. එයට හේතුව අලෙවි මණ්ඩලයට ගන්නා මුදලට වඩා පෞද්ගලික අංශයට වැඩි මුදලකට වී මිලට ගන්නා බැවිනි.

රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර වී අර්බුදය පිළිබඳ මෙසේ පවසයි.

''උඩවලව වගාවලට ඇතිවූ ජල ප්‍රශ්නයේදී බොහෝ දෙනා ගොවීන්ට චෝදනා කළා දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිගන්නේ නැහැ, කන්න රුස්වීමට ආවේ නැහැ, නියමිත කන්න දිනයට වගාව ආරම්භ කළේ නැහැ කියලා. ඒ වනවිට ගොවීන් සිටියේ කන්න තුනක් අසාර්ථකව සිටින තත්ත්වයකයි. මුල් අවස්ථාවේදී වගා කන්න ප්‍රමාද වූයේ රසායන පොහොර තහනම් කළ නිසයි. ඔවුන් රසායන පොහොර ලැබෙන බව දැනගත්තේ කන්න තුනක් අසාර්ථක කරගත් පසුවයි. මේ නිසා දිගින් දිගටම කන්න වගාව ප්‍රමාද වුණා. 2022 යල කන්නයේ මඩ වැඩ නිම කර පැළ සිටුවා වපුරා නිම කිරීමට නියමිතව තිබුණේ 2022 ජූනි මුල් සතියේදීයි. ඒ වෙද්දි ගොවීන්ගෙන් 20% ක් පමණයි එය කර තිබුණේ. 75% ක් වගා කළේ නැත්තේ රසායන පොහොර සහ කෘෂි රසායන ආදිය නොලැබීම නිසායි.

ඔවුන් ඉන්දියාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ලැබෙන බවට දැනගත්තේ වගා නොකරන බවට තීරණය කර තිබියදීයි. අනිත් කාරණය වුණේ කවදාවත් නැතුව කිලෝව රුපියල් 150 දක්වා ඉහළ නැගීමයි. ඒ නිසා ගොවීන් වී එකතු කිරීමෙන් වී මිල විශාල ලෙස ඉහළ ගියා. මේ නිසා ගොවීන්ගෙන් 75% ක් වී වගාව පටන් ගත්තේ 2022 ජූනි මුල් සතියෙන් පසුවයි. මේ ප්‍රමාදය කන්න දෙක තුනක්ම එකදිගටම පැවතුණා. මෙවර වගාව ප්‍රමාද වීමට එය එක් හේතුවක්.

එසේම වී වගාවට පූර්ණ වශයෙන් පාවිච්චි කළ යුතු හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල පහුගිය රජය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළා. සාමාන්‍යයෙන් හෙක්ටයාරයක දළ අස්වැන්න වී කිලෝ 4300ක්. එහෙත් හම්බන්තොට කිලෝ 5900ක් ලැබෙනවා. මෙවැනි දිස්ත්‍රික්කවල වගා බිම් අක්කර 5000ක් එළිකර ගුවන් තොටුපළක් හැදුවා. සෆාරි උයනක් සහ ක්‍රීඩා පිටියක් සඳහා තවත් අක්කර 600ක් පමණ පාවිච්චි කළා. මේ විදියට අක්කර 20000ක් විතර වෙනත් ව්‍යාපෘතිවලට පාවිච්චි කිරීමෙන් වී වගාවට ඇති බිම් අහිමි කළා. මෙවැනි අනුවණ යෝජනා නිසා නිෂ්පාදන අඩු වුණා.''

සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ ගොවීන්ට වන්දි දීමෙන් බේරීම සඳහා රජය වගා හානි ප්‍රමාණය අඩුවෙන් පෙන්වන බවය. රජය පූර්ණ වශයෙන් විනාශ වූ කුඹුරු පමණක් වගා හානිවලට ගණන් ගන්නා අතර අර්ධ වශයෙන් හෝ අඩුවෙන් හානි වූ කුඹුරු පිළිබඳ සංඛ්‍යාලේඛන සකස් නොකරන බව පවසන සංවිධායකවරයා පෙන්වා දෙන්නේ ඒ ප්‍රමාණයද එකතු කළ විට හානි වූ ප්‍රමාණය දෙගුණයක් පමණ විය හැකි බවකි.

''සාමාන්‍යයෙන් රටේ යල කන්නයට ලක්ෂ 6ක් වගා කරන අතර මහ කන්නයට හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරනවා. මෙවර යල කන්නයේ වගා කළේ. හෙක්ටයාර ලක්ෂ 4.15ක් පමණයි. රජය කියන සංඛ්‍යාලේඛන අනුව නියඟය නිසා හානි වූ ප්‍රමාණය අක්කර 50,000කට වැඩියි. හෙවත් හෙක්ටයාර 20,000ක් පමණ මේ වනවිට විනාශ වී ඇති බව කියනවා. රජය එහෙම පැවසුවද අපේ සංඛ්‍යාලේඛන අනුව අක්කර ලක්ෂ 100ක් පමණ විනාශවෙලා තියෙනවා. ගණනයේදී පූර්ණකාලීන හා අර්ධකාලීන කොටස් දෙකම ගත යුතු නමුත් රජය පූර්ණ වශයෙන් හානි වූ කුඹුරු පමණයි ගණන් ගන්නේ. එයට හේතුව වන්දි ගෙවිය යුතු ප්‍රමාණය අඩුකර ගැනීම අවශ්‍ය වීමයි. අනිත් අතට වැඩිපුර හානි වූ බව පැවසීම රජයටද අහිතකරයි. මේ නිසා තමා අඩුවෙන් පෙන්වන්නේ. අපි නම් කියන්නේ අර්ධ වශයෙන් හානි වූ සහ එයටත් අඩුවෙන් හානි වූ කුඹුරුද මුළු හානි ප්‍රමාණයට එකතු කළ යුතු බවයි. අර්ධ හානි නිසා මුළු අස්වැන්නෙන් බාගයක් අඩු වෙනවා.

උඩවලවේ අක්කර 65,000ක් විනාශ වී තියෙනවා. කුඹුරුවලට නිසියාකාරව වතුර දුන්නා නම් අක්කර 60,000ක් පමණ බේරාගන්න තිබුණා. එහෙත් අවශ්‍ය වෙලාවට වතුර දුන්නේ නැහැ. සතියක් වතුර නොලැබුණු විට 25% ක් හානි වෙනවා. දිගටම වතුර නැතිවුණොත් විශාල හානියක් සිදුවෙනවා. උඩවලවේ වතුර එව්වත් කොටසකට විතරයි ටිකක් හරි ලැබුණේ. වතුර නැතිව වියැළුණු කුඹුරු රාශියක් තියෙනවා. පැහිච්ච ප්‍රමාණය අක්කර ලක්ෂ 11 – 12 පමණ ඇති. එහෙත් නිවැරදි සංඛ්‍යාලේඛන නැහැ.

මෙවර අස්වැන්න අඩු වුණත් හාල් ආනයනය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඇතැමුන් හානිය වැඩියෙන් පෙන්වන්න යන්නේ ආනයනය කරලා කොමිස් ලබාගන්නටයි. ආනයනය නොකර පහුගිය මහ කන්නයේ නොවැම්බර් මාසය දක්වා අස්වැන්නෙන් ලැබුණු ඉතිරි වී පාවිච්චි කරන්නට පුළුවන්. අඩු වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණයි. එය ලැබෙන අඩු අස්වැන්නෙන් වුවද ආවරණය කර ගන්න පුළුවන්. ඒ නිසා ලබන වසර සඳහා සහල් ආනයනය කළ යුතු නැහැ. ලබන මහ කන්නයේ අස්වැන්න ලැබෙනතුරු පාවිච්චි කළ හැකියි.

අපට දිනක පාරිභෝජනය සඳහා හාල් කිලෝ ලක්ෂ 65ක් අවශ්‍ය වෙනවා. එක කිලෝවකින් හය දෙනෙක් සඳහා ප්‍රමාණවත්. යල කන්නයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් ලැබුණොත් සෑහෙනවා. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් වසරකට දේශීය පාරිභෝජනයට අවශ්‍යයි. පොදුවේ ගත් විට දේශීය වශයෙන් පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වී නිෂ්පාදනය කරනවා.

වී වගාව රජය සහ ගොවියා යන දෙපාර්ශ්වයම එකතුව කළ යුතුයි. දෙගොල්ලන්ටම වගකීම් තියෙනවා. රජය වතුර දුන්නෙ නැතිනම් ගොවියාට වගා කරන්න බැහැ. වතුර දෙන්නට බැරි නම් ''බෙත්මට යාමට'' ගොවියන්ට උපදෙස් දිය යුතුයි. බෙත්මට යාම යනු කොටසක් හමාරක් වගා කිරීමයි. ගොවීන් කොටසක් වගා කළ යුතු නමුත් මුළු කුඹුරම වගා කළැයි ඇමැති කියන කතාව වගකීමෙන් නිදහස් වීමට කියන බොරුවක්. ජල කළමනාකරණ කමිටුව පේරාදෙණියේ රුස්වෙනවා. එයට සෑම අංශයකම විශේෂඥයන් සහභාගි වෙනවා. ඒ අය සෑම පැත්තක්ම සලකා බලලා වගා කාලසටහන සකස් කරනවා. ඒ අනුව සියලු දෙනාම සාමූහිකව කටයුතු කළ යුතු වෙනවා. එලෙස කටයුතු නොකළහොත් ගොවියාට දඬුවම් කිරීමේ බලයක් රජයට තියෙනවා.''

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02