බලය බෙදීම පිළිබඳ ඉකුත් සති කිහිපයේ පැවති සංවාදය තරමක් යටපත් වී ඇති බව පෙනීයයි. බලය බෙදීම පිළිබඳ කලින් කලට මතුවන මෙම සංවාදය මෙවර දේශපාලන පොරොන්දු අගාධයේ ගිලී ගියේද? දේශපාලන පක්ෂ කිහිපයකින් අපි ප්‍රශ්න කළෙමු.
ඡන්දය නොතැබීමෙන් බලය බෙදීම යට කරලා
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
ජාතික සංවිධායක - සමගි ජනබලවේගය
මේ මොහොතේ රටේ මූලික ප්‍රශ්නය බලය බෙදීමක් නෙවෙයි. රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා, ජනතාව මුහුණ දීලා තියෙන මේ තත්ත්වයෙන් ගොඩඒම සඳහා යම් ආකාරයක වැඩපිළිවෙළක් ජාතික වශයෙන් සාකච්ඡා කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි මේ අවස්ථාවේ දී වැදගත්. නමුත් ජනාධිපතිවරයා පසුගිය සතියේ පක්ෂ කැඳවා 13ක් ගැන කතා කිරීම පිළිබඳ අපිත් පුදුමයට පත්වුණා. මොකද 13 ගැන රටේ මිනිස්සුවත් කතාවෙන්නෙ නෑ. විශේෂයෙන්ම 13වැනි ව්‍යවස්ථාව අමුතුවෙන් කතාකළ යුත්තක්ද නොවෙයි. මොකද එය පාර්ලිමේන්තුවේ අනුමත කළ ක්‍රියාවලියක්. එය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ විධායකයට. විධායකය විසින් මෙය නවත්වාගෙන සිටීම ගැන නැවත අපෙන් ප්‍රශ්න කළයුතු නෑ කුමක්ද විය යුත්තේ කියලා?
මේ සියල්ලටම පළමුවෙන් රටේ ආර්ථික ගැටලුවට මූලික තැනක් දෙන්න අවශ්‍යයි. දෙවැනි කාරණය, 13වැනි ව්‍යවස්ථාවේ මූලික හරය වන පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතුයි. අනතුරැව ඉතිරි බලතල ලබාදීම සාකච්ඡා කළ හැකියි. නමුත් දැන් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඇතුව 13ක් ගැන කතා කරමින්, 13න් වැනි ව්‍යවස්ථා සංශෝධනයේම 98%ක් යටපත් කරල තියෙනව මැතිවරණය ක්‍රියාත්මක නොකිරීමෙන්. එයයි මෙහි තිබෙන බරපතළකම.
මේ කතාව පටන්ගන්න ඕනෑ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරලා
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප්‍රකාශක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපි කියන කාරණය තමයි 13වැනි සංශෝධනයේ '87 සිට මේ දක්වා ක්‍රියාත්මක නොවුණු කොටස ක්‍රියාත්මක කරනවා නම් එය ඉතා පරිස්සමින් කළ යුත්තක්. අනෙක් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරල ඒ තීරණය යා හැකිද නැද්ද යන්න හරියටම අධ්‍යනය කරල මිසක් මේ කාරණයට අත තියන්න නොහැකියි. එසේ නොවුණහොත් පවතින ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි තවත් අවුල් සහගත තත්ත්වයකට පත්ව නැති ප්‍රශ්න ඇතිවීමක් වෙන්න පුළුවන්. එය තමයි පළවෙනි ස්ථාවරය.
ඊට සමාන්තරව අපි දරන ස්ථාවරයක් තමයි 13වැනි සංශෝධනයේ ක්‍රියාත්මක නොවුණු කොටස් පසුපස යන්න පෙර 13වැනි සංශෝධනයේ ස්ථාපිතව තිබුණු පළාත් සභා ව්‍යුහය නැවත ස්ථාපිත කිරීම කළ යුතුයි යන්න. මහජන නියෝජිතයන්ගෙන් තොරව, ආණ්ඩුකාර ධූර නවයකට පමණක් යටත්ව, අක්‍රිය මට්ටමේ පවතින පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීම තමයි 13නේ බලය බෙදීම පිළිබඳ කතාව පටන් ගැනීමට ඇති සාධාරණම ක්‍රමය.
ආණ්ඩුව කරන්නේ මහා ප්‍රෝඩාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
ජාතික ජනබලවේගය
පළවෙනි කාරණය දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. අපි ඒක එදත් කිව්වා අදත් කියනවා. ස්ථාවරයේ වෙනසක් නෑ. දැන් 13 අපේ රටේ ක්‍රියාත්මක වෙනවා අවුරැදු හතළිහක්. ජාතික ප්‍රශ්නය විසඳුණේ නෑ. ඒ නිසා මේක උත්තරයක් නෙවෙයි.
අනිත් කාරණාව රනිල් වික්‍රමසිංහ මේ කියන්නෙ බොරැවක්. දෙසැම්බර්වල කිව්වා පෙබරවාරි 4 වැනිදා වෙනකොට ප්‍රශ්නය විසඳනවා කියලා. ඒක බොරැ සංදර්ශනයක්, මොකක්වත් වුණේ නෑ. හරියට මේක විසඳන්න ඕනනම් එයාට යහපාලන ආණ්ඩුව කාලේ අවස්ථාව තිබුණා. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් කළා. හැමෝම ඒකට සහයෝගය දුන්නා. නමුත් අවුරැදු හතරක් විතර ඇද ඇද හිටියා. ලෝකෙටයි දෙමළ ජනතාවටයි සංදර්ශනයක් පෙන්නුවා. හරි උත්තරයක් නෑ.
දැනුත් කරන්නෙ ඒක තමයි. බොරැවට සාකච්ඡා කැඳවලා පුවත් නිර්මාණය කරනවා. අපට වුවමනාවක් නෑ. ඒ නිසා තමයි අපි මේකට සම්බන්ධ වුණේ නැත්තෙ. අපි සම්බන්ධ නොවුණු එක නිවැරදියි කියලා පස්සේ තහවුරැ වුණා. මෙතන තියෙන්නේ ප්‍රෝඩාවක්, ඇත්ත වුවමනාවක් නෙවෙයි කියන එක තමා අපේ ස්ථාවරය.
I චමිඳු නිසල් ද සිල්වා