2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

කුඩු සිද්ධික් පාතාලයේ රැසක් පාවාදෙයි

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 474

පාතාලයේ කෙළි සෙල්ලම් හැමදාම දමන්නට බැරිය. ඒ පාතාලයත් ලෝක ධර්මතාවයට යටත් නිසාය. ස්වභාව ධර්මයේ නිර්මාණයක් වන මිනිස්සු මහමග අමු අමුවේ මරා දමමින්, බිය වද්දමින් දඟලන ඕනෑම පාතාලයකුට වැඩි ආයුෂ නැත. ආයුෂ කෙසේ වෙතත් වැඩි වැඩදාන්නට ඉඩක් ලබාදෙන්නේ නැත. කොහෙන් හෝ මට්ටුවනු ඇත.

කෙසේ වෙතත් මෙරට පාතාලයේ ජය කෙහෙලි නංවමින් සිටි ගෝඩ් ෆාදර්ලා දෙදෙනකුගේ කතාවක් පසුගියදා හදිසියේම කරළියට ආවේය. ඒ වෙනින් කවුරුත් නොව කුඩු පාතාලයේ ගෝඩ් ෆාදර් වූ මොහොමඩ් සිද්ධික් සහ කප්පම් මිනීමැරුම් පාතාලයේ ගෝඩ් ෆාදර් වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ගැනය. ඔවුන් සමඟ අත්අඩංගුවට පත්වූ අනෙක් පුද්ගලයා වූයේ නුවන් අසංක නොහොත් ගොත අසංකය. මේ තිදෙනාම කොටුවූයේ ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ මෙහෙයුමක් හරහාය. කෙසේ වෙතත් විමර්ශනය රහසිගත වන අතර අදටත් එහි ඇත්ත සහ සැකකරුවන්ට කුමක් සිදුවූයේද යන්න තොරතුරක් නැත. එහෙත් අපි සොයා බැලීමක් සිදුකළෙමු.

• මොහොමඩ් සිද්ධික් කවුද?

මොහොමඩ් සිද්ධික් යනු මෙරට කුඩු පාතාලයේ ජාති බේදය ඇතිවූ කාලයේ පටන් කුඩු ව්‍යාපාරයට ඇතුළු වූ අයෙකි. එනම් අනූව දශකයේ අවසානය වනවිට කොළඹ පාතාලයේ සිංහල බෞද්ධ කතෝලික ප්‍රධානීන් අමු අමුවේ මැරුම් කෑමත් සමඟ කොළඹ පාතාලයේ කුඩු ජාලය දෙකට මැද්දෙන් කැඩී ගියේය. ඒ මුස්ලිම් පාතාලය සහ දකුණු ඉන්දියාව මූලික කරගත් දෙමළ පාතාලය වශයෙනි. මේ පිරිස දෙමටගොඩ මාලිගාවත්ත මූලික කරගනිමින් කුඩු ජාවාරම් ආරම්භ කළ අතර ආනමාලු ඉමිටියාස්, පොට්ට නවුෆර් ඇතුළු කණ්ඩායම මුස්ලිම් පාර්ශ්වයත්, තෙල් බාලා, කිඹුලා ඇළ ගුණා ඇතුළු පිරිස දෙමළ පාර්ශ්වයත් නියෝජනය කරමින් සිටියෝය. මේ මැද සිට දෙපැත්තෙන්ම කෑ එකෙක් වූයේ මේ මොහොමඩ් සිද්ධික්ය. මොහොමඩ් සිද්ධික් සහ මාමාස්මිල් (මියගිය) යන අය කුඩු පාතාලයට අත් පොත් තබමින් සිටියහ.

සිද්ධික් දෙපැත්ත කෑමේ දක්ෂයකු නිසා ඔහුට ඉක්මනින් ජාත්‍යන්තර කුඩු ජාලය සමඟ සම්බන්ධ වීමට හැකි විය. එයට හේතු වූයේ දකුණු ඉන්දියානු කුඩු මෙරට තුළ විශාල වශයෙන් කඩා වැටීම නිසාය. එසේ කඩා වැටීම තුළ සිද්ධික්ලා අත ගැසුවේ පාකිස්ථාන කුඩු ජාලය වෙතය. එහෙත් සිද්ධික් ඉන්දියාවද අමතක කළේ නැත. ඒ සිද්ධික් නිතර ඉන්දියාවට යන එන නිසාය. කෙසේ වෙතත් කිලෝ 20ක කුඩු නඩුවක් හේතුවෙන් සිද්ධික් ඉන්දියාවේදී බන්ධනාගාර ගතවන අතර එය ජීවිතාන්තය දක්වා සිරගතවීමක් විය. එහෙත් සිද්ධික් යනු ලෝකයේ සියලු ජාවාරම්කරුවන් සමඟ සමීපව කටයුතු කළ අයෙකි. ඒ අනුව 2002 වසරේදී සිද්ධික් එරට බන්ධනාගාරයේ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිපදෙනකු සමඟ බන්ධනාගාරය පුපුරවා එළියට පැනගත්තේය. එසේ පිරිස සමඟ පැනගත් සිද්ධික් නවතින්නේ නැවත ශ්‍රී ලංකාව තුළය. එහෙත් සිද්ධික් සුපුරුදු ජාවාරම් අත්හැරියේ නැත.

ඔහු ඉතාම සූක්ෂමව ආරක්ෂාකාරීව පාකිස්තානු කුඩු ජාවාරම යමරෙට සිදුකරගෙන ගියේය. මේ අතර සිද්ධික් තවත් අපරාධයක්ද සිද්ධ කළේය. ඒ ඉන්දියාවේ නීතීඥවරයකුට වෙඩි තැබීමය. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිද්ධික්ව එරට පොලිසිය විසින් වරෙන්තු කරනු ලැබීය. මේ අතර මොහොමඩ් සිද්ධික් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන නිසා පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේය. ඒ අතරතුර සිද්ධික් ඉතා රහසිගතව පාකිස්ථානය වෙත පැනගත්තේය. පාකිස්ථානයෙන් ඩුබායිවලට යන සිද්ධික් අවසානයේ තම අවසන් නවාතැන කරගන්නේ ඩුබායි රාජ්‍යයයි.

එලෙස ඩුබායි සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවනු ලැබූ සිද්ධික්ට තව අපූරු තරුණයෙක් එකතු වන්නේ මෙරට කුඩු ව්‍යාපාරය මහා පරිමාණයට පරිවර්තනය කිරීමේ අදිටනනි. ඒ වෙනින් කවුරුත් නොව වෙලේ සුදාය. වෙලේ සුදා සමඟ කුඩු ජාවාරම ජයටම කරගෙන යන අතරතුර ලංකා ඉතිහාසයේ ලොකුම මත්කුඩු තොගය හමුවන්නේ 2013 වසරේදීය. ඒ ග්‍රීස් ටින්වල බහා කුඩු කිලෝ 261ක් මෙරටට ගෙන ඒමත් සමඟිනි. එවකට අගමැතිවරයෙක් එම කන්ටේනරය මුදවා ගැනීමට ලියුමක් ලබාදීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබිණි. කෙසේ වෙතත් අවසානයේ හෙළිවුණේ මෙම විශාල මත්ද්‍රව්‍ය තොගය මොහොමඩ් සිද්ධික්ගේ බවය.

ඉන් අනතුරුව දිගින් දිගටම වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික් එක්ව මහා පරිමාණයෙන් හෙරොයින් මෙරටට ආනයනය කරන්නට වූහ. ඒ පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලය සමඟය. එහෙත් එය වැඩිදුරටත් කරගෙන යාමට වෙලේ සුදාටත් සිද්ධික්ටත් හැකිවූයේ නැත. සිද්ධික් මෙරටදීත්, වෙලේ සුදා ඩුබායි රාජ්‍යයේදීත් කොටුවූහ. ඒ අනුව දෙදෙනාම බන්ධනාගාර ගතවූහ. එසේ බන්ධනාගාර ගතවූ දෙදෙනාගෙන් එක් අයකු වූ වෙලේ සුදාට මරණ දඬුවම හිමිවිය. මොහොමඩ් සිද්ධික් රිමාන්ඩ් වූයේ තමන්ගේ නඩු ඒ වනවිටත් අසමින් සිටින නිසාය.

• ගණේමුල්ල සංජීව යනු කවුද?

සංජීව යනු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් වෙන්නට හීන දැකි අයෙකි. මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, බිය වැද්දීම් ඇතුළු වැරදි රාශියකට සංජීව සම්බන්ධ අයෙකි. පිරිසක් සමඟ පෞද්ගලික බැංකුවක කෝටි 07ක් කොල්ලකෑමේ සිදුවීමත් සමඟ බන්ධනාගාරගත වන සංජීව, එළියට පැමිණෙන්නේ තවත් පාතාල සාමාජිකයකුගේ ගෝලයකු ලෙසය. ඒ එවකට කොළඹ පාතාලය රජකළ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ගේ ගෝලයකු ලෙසය. කෙසේ වෙතත් කොළඹ පාතාලය ඇල්ලීම සඳහා සංඛට සිටි එකම බාධාව වුණේ එවකට ප්‍රබලයකු වූ දෙමටගොඩ චමින්දය. චමින්ද ඝාතනය කිරීම සඳහා කිහිප වතාවක් උත්සාහ කළ අතර පළමු සිදුවීම දෙමටගොඩ මස්කඩය අසලදී සිදුවිය. එහෙත් චමින්දගේ සහෝදරයා වූ රුවන් ඊට පෙර ඉස්සර වී මෝටර් රථයේ පැමිණි පිරිසට වෙඩි තැබුවේය. එහිදී එක් අයකු මියගිය අතර සංඛ, බිම්සර, සංජීව ඇතුළු පිරිස ආයුධ දමා පැන ගියහ. ඉන් අනතුරුව සංජීව ඇතුළු කණ්ඩායම ව්‍යාජ ගුවන් බලපත්‍රයක් ලබාගෙන ඩුබායි රාජ්‍යයට පැන ගියේය. එහෙත් වැඩිකල් එහි සිටීම අත්හළ පිරිස නැවත ලංකාවට ආහ. එසේ පැමිණ නැවතත් චමින්ද ඝාතනය කිරීම සඳහා උත්සාහ කළෝය. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් නඩුව අවසන් වී බන්ධනාගාරයට යන අතරතුර දෙමටගොඩ ප්‍රදේශයේදී පාර හරස්කොට බන්ධනාගාර බස් රථයට වෙඩි තැබූහ. එහෙත් චමින්ද එදාද ජීවිතය බේරාගත්තේය. එම අවස්ථාවට සංජීවද සහභාගි වූ අතර පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය.

පසුව සියලුදෙනාම අත්අඩංගුවට පත්වූ අතර ඒ අතර සංජීවද සිටියේය. සංජීව බන්ධනාගාරයේ සිටිමින් දෙවැනි මෙහෙයුම පටන් ගත්තේය. ඒ ගම්පහ ඇල්ලීම සඳහාය. කප්පම් සහ කුඩු විකිණීමට උත්සාහ ගත්තත් එයට ගම්පහ ඔස්මන් ඉඩ දුන්නේ නැත. මේ නිසා සංජීව ඔස්මන් වෙත අවිය දිගු කළේය. සංජීව තම ගෝලයන් වූ අජා, චූලා වැන්නවුන් දමා ඔස්මන් ඝාතනයට උත්සාහ ගත්තේය. ඒ අනුව 2018 අප්‍රේල් මාසයේදී ඔස්මන්ට වෙඩි තබනු ලැබීය. එහෙත් එයින් ඔස්මන් බේරුණේය. සංජීව පොලීසියේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ළඟින් ඇසුරු කළ බවද නොරහසකි.

කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ සිටින විට සංජීවට තවත් අයෙක් එකතු විය. එනම් කඩුවෙල සමයං මියයාමත් සමඟ එතැන හිඩැස පිරවීම සඳහා සිටි පුද්ගලයාය. ඔහු වෙනින් කවුරුත් නොව ගොත අසංකය. ගොත අසංක ඉතිරි වන්නේ සමයංගේ හොඳම ගෝලයන් දෙදෙනා වූ ඉන්ද්‍රා සහ ඌරු ජුවා මියයාමත් සමඟය. ඒ හරහා අසංක ප්‍රබල විය. කෙසේ වෙතත් එක් අවස්ථාවක ගොත අසංකටත් සංජීවටත් බන්ධනාගාරයේදී ස්මැක් මංජු පහර දුන්නේය. ඒ පහරදීමට පළිගැනීම සඳහා ගොත අසංක මංජුගේ පෙම්වතිය ඝාතනයට උත්සාහ ගත්තේය. කෙසේ වෙතත් අසංකට විරුද්ධව දුමින්ද සිල්වාගේ රියදුරකු වූ බණ්ඩා ඝාතන චෝදනාව එල්ල වී තිබුණේය. ගොත අසංක ඊට අමතරව තවත් ඝාතන රුසක කොන්ත්‍රාත් ලබාගත් බවද පොලීසියට අනාවරණය විය. සංජීවගේ මරණ ලැයිස්තුව ගත්කළ ගණන් කිරීමට පවා අසීරුය. ඒ සියල්ල කුලී මිනීමැරුම්ය. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රබල ලෙස සිදුකරගෙන ගියේය. කප්පම් ගැනීම්ද එසේමය. එහෙත් ඒ සියල්ල ආරක්ෂක අංශ දැන සිටියත් සංජීව ආරක්ෂක ඇසට හසුකර ගත්තාද යන්න ගැන සැකයක් ඇත.

සංජීව ගම්පහ අධිකරණයෙන් පිටත් වුණේ ප්‍රබල නීතීඥයකුගේ ආරක්ෂක වළල්ලක් මැද ඔවුන්ගේ වාහනවලය. ඒක කමක් නැත. මර බයට එයට වඩා දෙයක් කිරීමේ හැකියාවක් නැත. එහෙත් සංජීව මෙරටින් පැනයන්නේද, සංජීවට පෙර ඇප ලබා පැමිණෙන සිද්ධික් පැනයන්නේද, ගොත අසංක පැනයන්නේද මෙරට ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසාය. යුද්ධයක් අවසන් කළ රටක් ලෙස, ප්‍රබල බුද්ධි අංශයක් තිබේ යැයි විශ්වාස කරන රටක මේ තිදෙනාම මුහුදු යාත්‍රා මගින් පැනයාම ගැන පුදුමයට වඩා අපට ඇත්තේ සැකයෙකි. කෙසේ වෙතත් එලෙස පැනගියත් ඔවුන් ඔවුන්ගේ වැඩකටයුතු අවසන් කළේ නැත. දිගින් දිගටම වැඩ කරගෙන ගියහ.

මේ අතර මාධ්‍යවේදී කීර්ති රත්නායකට මරණ තර්ජනය කරමින් සංජීව තවත් කොන්ත්‍රාත්තුවක් සිදුකළේය. මෙය සංජීවට වැරදුණු තැනක් විය. සංජීව සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු තානාපති කාර්යාලයක රුකියාව කළ අයකු දැනුවත් කරන්නේ කීර්තිය. කීර්ති විසින් ලබාදෙන දුරකථන අංක අවසානයේ දීර්ඝ විමර්ශනයකට යන අතර එහිදී ඉන්දියාවට අවශ්‍ය සිද්ධික්ව ඕමානයේදී කොටුකර ගැනීමට හැකිවිය. සංජීව, ගොත අසංක ඇතුළු පිරිස කොටුවන්නේ නේපාලයේදීය. නේපාලයදී කොටුවුණේ සංජීව ගොත අසංකව රුගෙන යාමට ගිය අවස්ථාවේදී බවත් ඒ බව පොලීසියට කීවේ අත්අඩංගුවට ගත් සිද්ධික් බවත් කතාවක් ඇත. එහෙත් අදටත් සිද්ධික් අත්අඩංගුවට ගත්තත් සංජීව සහ ගොත අසංක සම්බන්ධයෙන් තොරතුරක් නැත. ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිත තො‍රතුරක් නැත. ඒත් ලැබෙන තොරතුරු අනුව නම් සංජීවටත්, අසංකටත් නැවත ලංකාවට ඒමට හැකියාවක් නැත. එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඡායාරෑප දෙකක්ද ප්‍රසිද්ධ කරනු ලැබීය.

අවසාන වශයෙන් කියන්නට දෙයක් ඇත. එනම් මෙවන් ප්‍රබල අපරාධකරුවන් ඇප ලැබී කුමක් කරන්නේද යන්න සොයා බැලීම ආරක්ෂක අංශය සතු වගකීමක් බවය. ඇප ලැබී රටෙන් පැනගොස් එරට සිට මෙහෙයුම් දියත් කරන විට ඒ වැඩේ කළේ අරයා, මෙයා කීමට ආරක්ෂක අංශයක් රටට අවශ්‍ය නැත. එවැනි අපරාධ වෙන්නට පෙර ඒවා වළකාලීම ආරක්ෂක අංශය සතු වගකීමකි. එසේ නොකළොත් තවත් ජීවිත සිය ගණන් අවසන් ගමන් යනු ඇත. 

I ගයාන් ගාල්ලග‍ේ