2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

රට ගිනි තබන වන ගිනි

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 168

කුරුණෑගල නගරය අලංකාර කරනා ඇතුගල පර්වතය මෙන්ම අවට ද ගිනිගහන අව්වෙන් කැකෑරෙමින් තිබුණි. එක්වරම පර්වතයේ ඉහළ තිබෙන වනාන්තර කොටසින් දුමක් නැගෙන්නට විය. මේ ගින්නෙන් නගරයම කලබලයට පත්විය. ගින්න නිවා දැමීමට කුරුණෑගල නගර සභා ගිනි නිවන ඒකකය, පොලිසිය සමඟ කටයුතු කළේය. නමුත් එය නිවා දමන විට වන රක්ෂිතයේ අක්කර තුනක භූමියක් ගිනිගෙන අවසන්ය. පසුව අනාවරණය වූයේ පෙම්වතුන් යුවළක් විසින් වීසි කළ ගිනිකූරකින් ගින්න පැතිර ගිය බවය. මෙම යුවළ ඇතුගල කන්ද නැරඹීමට පැමිණ කඳු මුදුනේ පිහිටි බුදු පිළිමය දැකබලා ගැනීමට ගොස් තිබේ. පසුව තරුණයාගේ සාක්කුවේ ගිනිපෙට්ටියක් තිබීම ගැන තරුණිය ඔහුගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇති අතර පසුව ඇය විසින් එහි තිබූ ගිනිකූරු දෙකක් දල්වා වීසි කර තිබේ. ඇය දැල්වූ ගිනිකූර රක්ෂිතය දෙසට විසි කර ඇති අතර ඒ සමඟ ඉන් ගින්නක් හටගෙන ඇත. අධික සුළං ප්‍රවාහයත් සමඟ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගියේය. මේ ගැන කළ දැනුම් දීමකට අනුව පොලිසිය පැමිණ ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් අතර පසුව පොලිසිය කරන ලද විමර්ශනයෙන් පසු සැකකාර යුවළ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කරන ලද ඔවුහු පසුගිය 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

ජුනි, ජූලි හා අගෝස්තු යන මාසවල ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. මේ මාසවල පවතින වියළි කාලගුණික තත්ත්වය හා සුළං හැමීම අධිකව සිදුවීම එයට හේතු වේ. අද වනවිට ඌව පළාත හා මධ්‍යම පළාත ආශ්‍රිතව කැලෑ ගිනි බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට  අනුව,  ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම කැලෑ ගිනිගැනීම් 50ත් 200ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ.

‘’ලංකාවේ ලැව් ගිනි නැහැ. සියලු ගිනි තැබීම් මිනිසුන් විසින් කරන ඒවා. මේ අවුරුද්දේ ජූලි වනවිට තෘණ භූමී හෙක්ටයාර 2000ක් සහ වන වගා සහ වනාන්තර හෙක්ටයාර 500ක් විතර ගින්නෙන් විනාශ වෙලා. අපිට බලාගන්න තියෙන කැලෑ ප්‍රමාණයත් එක්ක ගිනිකූරක් ගහලා යන කෙනෙක් අල්ලගන්න පහසු නැහැ. අපේ රටේ බොහෝ දෙනෙක් විනෝදෙට ගිනි තියනවා’’ යනුවෙන් අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මාධ්‍යවලට පවසා සිටී. 

මෙරට ස්වභාවික වනාන්තර විනාශ වීමට මිනිසා විසින් වනය එළිකිරීමට අමතරව බලපාන ප්‍රධානම හේතුව වන්නේ වනාන්තර ගිනි තැබීම්ය. වනාන්තර ප්‍රදේශවල හටගන්නා ගිනි ගැනීම් සියල්ල මිනිසාගේ නොසැලකිල්ල නිසා හටගන්නා ගිනි තැබීම් හෝ අහඹු ලෙස ඇතිවන ගිනි ගැනීම්ය. රජය විසින් වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇතත් එය වර්ෂයකට මිලියන 10ක් වැනි සුළු මුදලකි. මෙම මුදල් ප්‍රමාණය එම ගිනි මැඩපැවැත්වීමට ප්‍රමාණවත් වන්නේ නැත. වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම, වළක්වාලීම සඳහා වනාන්තර තුළට ගිනි ගැනීම් පැතිරීම වළක්වාලන පරිදි ගිනි ආරක්ෂණ බිම් තීරු (fire belts) ඇතිකිරීම, ගිනි ගැනීම් බහුලව වාර්තා වන ප්‍රදේශ ආශ්‍රිතව ගිනි නිවීම් හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම වැනි කටයුතු ද අවශ්‍ය වේ. 

දිනෙන් දින නියඟය වැඩිවන අතර මේ වනවිට උඩවලවේ මෙන්ම යාල වනෝද්‍යානය ද වේලී ගොස් සතුන්ට ජල හිඟයකට මුහුණපෑමට සිදුව තිබේ. ඒ අතරම රට පුරා වනාන්තර ගිනි තැබීම් ඉහළ යන බව වාර්තා වේ. මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පරිසරවේදී ගාමිණී ජයතිස්ස පසුගියදා පැවසුවේ මධ්‍යම කඳුකරයේ සහ වියළි කලාපයේ වනාන්තර අක්කර පහළොස් දහස ඉක්මවා ගිනිගෙන විනාශ වී තිබෙන බවයි. දිස්ත්‍රික්ක 13ට අයත් කඳුකර ප්‍රදේශ ඇතැමුන් විසින් ගිනි තබා විනාශ කර තිබෙන බව ද ඔහු පැවැසීය.

''පතන්, ලඳු කැලෑ සහ අවශේෂ ප්‍රේරණ කැලෑ වැඩි වශයෙන් ගිනි ගෙන තිබෙනවා. ජාතික වනෝද්‍යාන, දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තරවලද ගිනි ගැනීම් සිදුවී තිබෙන බව වාර්තා වෙනවා. මධ්‍යම කඳුකරයේ සහ වියළි කලාපයේ උස් කඳු මුදුන්, බෑවුම් ප්‍රදේශවල පයිනස්, ටර්පන්ටයින්, ඇකේෂියා වන වගා ඉඩම් ගිනි තැබීම් නිසා දැඩි හානියට පත් වී තිබෙනවා.'' යැයිද ජයතිස්ස වැඩිදුරටත් පැවසුවේය.

පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ මහා පරිමාණ ගිනි තැබීම් හේතුවෙන් කැලෑ අක්කර විසිපන් දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවී අළු වී තිබෙන බවය. මේ අතර, පසුගිය දිනවල දිගින් දිගටම කැලෑ ගිනි තැබීම් සිදුවූයේ වන ඉඩම් බලෙන් හා නීතිවිරෝධී අයුරින් අත්පත් කර ගැනීමට යැයි පරිසරවේදීහු චෝදනා කරති.

දැඩි පෑවිල්ල සහ සුළං බලපාන නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ කැලෑ ගිනි තැබීම් බහුලව වර්ධනය වී යන අතර අතර මාතලේ, මහනුවර, පොළොන්නරුව, අම්පාර, කිලිනොච්චිය, වව්නියාව, මොණරාගල, පුත්තලම, හම්බන්තොට, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක 13 ක ගිනි තැබීම් වාර්තා වී තිබේ. ගිනි හටගත් විට ගුවන් හමුදාව, යුද හමුදාව, පොලීසිය මෙන්ම සිවිල් ජනතාව ද එක්ව ඒවා වැළැක්වීමට ක්‍රියා කරති. ඒ අතරම මේ සඳහා විශාල වියදමක් සහ ශ්‍රමයක් ද වැය කිරීමට සිදුව ඇත.     
වන සතුන් දඩයම් කිරීම, විනෝදය, දැව ජාවාරම්, ගවයින්/ එළුවන් සඳහා අලුත් තෘණ ලබාගැනීම වැනි හේතු නිසා ගිනි ගැනීම් බහුලව හට ගනී. වනාන්තර ගිනි ගැනීම මේ අවුරුද්දට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. සෑම වර්ෂයකම පැවිල්ලට වියළි කලාපය පුරා වාර්ෂිකව අක්කර විසි දහසකට අධික වනාන්තර ප්‍රමාණයක් ගිනි තැබීම්වලින් විනාශ වේ. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දක්වා සිදුකෙරෙන ගිනි තැබීම්වලින් අඩු වනාන්තර ප්‍රමාණයක්ද ජූලි, අගෝස්තු, සැප්තැම්බර් දක්වා සිදුකෙරෙන ගිනි තැබීම්වලින් වැඩි වනාන්තර ප්‍රමාණයක් ද අළු වී දැවී යයි. 

පසුගිය වසර දෙක තුළ රට පුරා වනාන්තර ගිනි තැබීම් ඉහළ ගොස් තිබෙන අතර එය බහුලව සිදුවන්නේ පයිනස්, ඇකේෂියා, ටර්පන්ටයින් වැනි වන වගා බිම් ආශ්‍රිතවය. රක්වාන-නාවින්න කඳුකර වනාන්තර, අඟුණවැල්පැලැස්ස රක්ෂිත වනාන්තර, රන්දෙණිගල රක්ෂිත, බෙලිහුල්ඔය, බලංගොඩ උප කඳුකර වනාන්තර, ඔහිය ඉහළ කඳුකර වනාන්තර එසේ ගිනිතැබීම්වලට ලක්වූ වනපෙත් කිහිපයකි. ගිනි තැබීම් හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නකල්ස් සහ සබරගමුවේ දොලොස්බාගේ, සිංහරාජය දක්වා අඩු වැඩි වශයෙන් ගිනි තැබීම සිදුවන ස්ථාන කිහිපයකි.  

වාර්ෂික ගිනි තැබීම් හේතුවෙන් අප රටට ආවේණික, ඒ ඒ වනාන්තරවලට ආවේණික ක්ෂීරපායී සතුන්, උරගයින් පක්ෂීන් පාංශු ජීවීන් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් පරිසර පද්ධතියට අහිමිවීම සිදුවේ. මධ්‍යම කඳුකරයේ ගිනි තැබීම් සැප්තැම්බර් වැස්ස ලැබෙන තෙක්ම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.   

2009 අංක 65 දරන සංශෝධිත කැලෑ ආඥා පනතට අනුව කැලෑ ගිනි තැබීම දැඩි දඬුවම් ලැබෙන වරදකි. ඒ සඳහා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකිය. එහි 7 (1) (ඌ) වගන්තිය අනුව යම් ගින්නක් දල්වන, දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩ හැරීම හෝ යම් ගින්නක් රැගෙන යන තැනැත්තකු වරදකරුවෙක් වෙයි.

ඉහත චෝදනා දෙකකට වරදකරුවකු වන තැනැත්තෙකුට රුපියල් 20,000ත් 100,000ත් අතර දඩයකට හෝ වසර පහක් දක්වා සිර දඬුවමකට හෝ ඒ දෙකටම ලක්විය හැකිය. මෙම දඬුවම්වලට අමතරව වනාන්තරවලට කරන ලද අලාභය අයකර ගැනීම ද ප්‍රතිපාදන පනතේ දැක්වේ. පනතේ 7 (2) (1) වගන්තියට අනුව කැලෑ ගිනි තැබීමේ වරදට අනුබල දෙන තැනැත්තන් ද වරදකරුවන් සේ දක්වා ඔවුන් ද ඉහත දඬුවම්වලට යටත් කර ඇත. 

ලොව පුරා වනාන්තර ගිනි තැබීම් සම්බන්ධව අවධානය යොමුකරන Cultural ecologist කණ්ඩායම් සිදු කළ පර් යේෂණවලට අනුව වනාන්තර ගිනි තබන පුද්ගලයන් බහුතරයක් Pyromania නැමති මානසික ව්‍යාධියෙන් පෙළෙති. කැලෑ ගිනි තැබීම, එම ගිනි තැබීම නරඹා සතුටු වීම, මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර එම රෝගී තත්ත්වය ඇති අය ගින්දර නිසා මානසික සහනයක් ලබන පුද්ගලයන් බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පසුගියදා නිලධාරීන්ට පැවසුවාය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව, ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කැලෑ ගිනි වැළැක්වීමේ  වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට එහිදී යෝජනා විය. 

නමුත් අපට ඇති ගැටලුව වන්නේ හැඟීමක් නැති බහුතර ජනතාවක් සිටින රටක මේවා ක්‍රියාත්මක වේද යන්නයි.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ අන්තර්ජාලයෙනි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02