2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

පොලිස් - එස්.ටී.එෆ්. ආරක්ෂාව මැද ගලා බසින ලංකාවේ එකම ඇළ

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 192

වැලිතල අතරින් ගල්කුළු මැද්දෙන් ඔහේ ගලා යන මනරම් ගංගාවකි ඉන්දියාවේ රෝහිණී නදිය. ගොවිතැනක් බතක් කරගෙන දිවි ගෙවූ කිඹුල්වත්නුවර ශාක්‍යයන්ගේත්, රජගහනුවර කෝලියන්ගේත් කරල පැහුණේ රෝහිණී දිය දහරෙනි. හදිසියේ ඇති වූ නියඟයකින් රෝහිණී නදිය කෙට්ටු වුණේ බලාගෙන සිටියදීමය. නීල වස්ත්‍රය ගැලවී නිරුවත් වූ රෝහිණී ගංගා වතුර පොද බෙදාගන්න ශාක්‍යයෝත්, කෝලියෝත් ආයුධ සන්නද්ධව යුද්ධ කළහ. එදා මේ වතුර ප්‍රශ්නය විසඳන්නට ආරක්ෂකයෙක් සිටියේය. ඒ නම් බුදුරජාණන් වහන්සේය. එවන් වූ යුද්ධයක් අදත් ඇරඹී තිබේ. අදත් ආරක්ෂකයෙක් සිටී. ඒ නම් ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායයි.

අද යුද්ධය ඇත්තේ ඉන්දියාවේ රෝහිණී නදියේ නොව අපේ රටේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පටන් රන්න කට්ටකඩුව වැව දක්වාය. රටේ ආරක්ෂාව යොදවන මහාමාර්ග ඇතුළු ස්ථානවලදී පොලීසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ පෙළගස්වා සේවයේ යොදවා සිටිනවා පෙර අප දැක ඇත. එහෙත් ගලා යන ඇළ මාර්ගයක ආරක්ෂාවට පොලීසිය යොදවා සිටිනවා දැකීම නුහුරු නුපුරුදු අත්දැකීමකි. මෙතෙක් කලක් වතුර මුරයක් පිළිබඳ අසා තිබුණාට වතුර මුර කරනවා අපි අසා නැත්තෙමු. උඩවලවේ වතුර ප්‍රශ්නය දිග්ගැස්සී ඇත්තේය. වතුර හිඟයෙන් ගොයම වැනසිලාය. බොහෝදෙනා ගොයම හරකුන්ට කන්න ඇරලාය. රටේ කෘෂිකර්ම ඇමැතිවරයාටත් ඒ සෙතේමය. 

උඩවලව ජලාශයෙන් පෝෂණය වන වලවේ ගොවි ව්‍යාපාරය යටතේ කොට්ඨාස 8 කි. ගොවිබිම් හෙක්ටයාර 25000ක් පෝෂණය කරන්නේ මෙමගිනි. උඩවලව ජලාශයෙන් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව දක්වා ජලය නිකුත් කරන්නේ දකුණු හා වම් ඉවුර ලෙස ඇළ මාර්ග දෙකක් ඔස්සේ ජලය යැවීමෙනි. ඉන් අඟුණුකොළපැලැස්ස, හුංගම, මාමඩල දක්වා ජලය යැවෙන්නේ දකුණු ඉවුරෙනි. සූරියවැව හා කිරිඉබ්බන්වැව ප්‍රදේශවල  ගොවිබිම් වෙනුවෙන් ජලය සැපයෙන්නේ වම් ඉවුරෙනි.

රන්නේ පවුල් දහතුන්දහසකට සහ තංගල්ලේ පවුල් දොළොස්දහසකට ජලය සැපයෙන්නේ රන්න කට්ටකඩුව වැවෙනි. රන්න රෝහල, තංගල්ල මූලික රෝහල, තංගල්ල මූලස්ථාන පොලීසිය, පාසල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, තැපැල් කාර්යාල ඇතුළු රජයේ ආයතන බොහෝමයකට ජලය සැපයෙන්නේ මෙමගිනි. එහෙත් එම වැවෙහි ජලය සිඳීයාම හේතුවෙන් ඉකුත් 25 වැනිදා කට්ටකඩුව වැවෙන් ජලය නිකුත් කිරීම නතර කර පොම්පාගාර වසා දැමිණි. මේ හේතුවෙන් තංගල්ල සහ රන්න ප්‍රදේශයට පානීය ජලය සැපයීමේ දැඩි අර්බුදයක් හටගත් අතර එයට විසඳුමක් ලෙස ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවෙන් ඇළ මාර්ග ඔස්සේ කට්ටකඩුව වැවට ජලය ගෙන ඒමට තීරණය කර තිබිණි. කට්ටකඩුව වැව පිරවීමට අවශ්‍ය අක්කර අඩි 870ක ජලය ගෙන ඒමට සැලසුම් කර ඇත. චන්ද්‍රිකා වැවේ සිට කිලෝමීටර 33ක් දුරට ජලය ගෙන ඒමට ඇති අතර ඉකුත් 26 වැනිදා චන්ද්‍රිකා වැවෙන් ජලය නිදහස් කර ඇත.

මාස ගාණක් කෑ ගැසූ හඬට බලධාරීන් අවදි වූයේ මෑතකදීය. ඒ ගොයම රැකගන්න ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවෙන් සීමාසහිතව වතුර ලබාදෙන්න එකඟවීමෙන්ය. එහෙත් වතුර දුන්නත් මාර යුද්ධයක්ය. පිරිසක් තම කුඹුරුවලට බලහත්කාරයෙන් වතුර ගන්න වෙහෙසෙති. තවත් පිරිසක් බොන වතුර බිඳ ආරක්ෂා කර ගැනීමට පොලිස් ආරක්ෂාව ඉල්ලති. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සිට රන්න කට්ටකඩුව දක්වා ඇළ මාර්ග ඔස්සේ බීමට ජලය ගෙන ඒමේදී ඇතැම් ගොවීන් බලහත්කාරයෙන් ජලය ලබාගැනීම හේතුවෙන් පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ජලය ගෙන ඒමට සිදුව තිබේ. 

එහෙත් පානීය අවශ්‍යතා වෙනුවෙන් ඇළ මාර්ග ඔස්සේ ගෙන එන ජලය අතරමඟදී ඇළ මාර්ගයේ සොරොව් කඩා ඇතැම් ගොවීන් ලබාගැනීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් ජලය ගෙන ඒම ගැටලුවක්ව ඇත. බොහෝවිට රාත්‍රි කාලයේදී මෙලෙස සොරොව් කඩා ජලය ලබා ගැනීම වැළැක්වීමට ඇළ මාර්ගය අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇත. මෙලෙස ඉකුත් 27 වැනිදා සිට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණද එහෙත් කිලෝමීටර 33ක් දුරට පොලිස් ආරක්ෂාව යෙදවීමද ගැටලුවක් ව ඇත. කට්ටකඩුව වැවට වතුර යන ඇළ මාර්ගයේ හිර වූ කුණු කන්දල් සුද්ධ කරන්නටත් වුණේ ආරක්ෂක නිලධාරීන්ටමය.

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයට ජලය සැපයෙන එරමිණියාය වැවද මේ වනවිට සිඳී යාම හේතුවෙන් කට්ටකඩුව වැව පිරවීමෙන් පසු එරමිණියාය වැවට ජලය පිරවීමට සූදානම් කර ඇත. එයද පොලිස් ආරක්ෂාව යටතේ කිරීමට සිදුව තිබේ. වාරි ව්‍යාපෘතියකින් ජලය සැපයීමේදී ජලය බෙදාහැරීමේ ප්‍රමුඛතා අනුපිළිවෙළක් ඇත්තේය. මූලිකම අවශ්‍යතාව පානීය ජලයයි. ඉන්පසු පිළිවෙළින් සනීපාරක්ෂාව, ගොවිතැන, විදුලිය ආදිය වෙයි. මේ අතරේදීත් එන වතුර පොද වී වගාවටත් බොන්නටත් මදි වී සිටියදී ඇතැම් පිරිස් ගොඩ ඉඩම්වල කෙසෙල් වගාවලට පවා මගදී වතුර හරවා ගෙන ඇත්තේ තැටිය රත්වුණු වෙලේ රොටිය පුච්චා ගැනීමේ ආත්මාර්ථකාමී අදහසකිනි. 

බලධාරීන් විදුලිබලයට මුල් තැන දුන්නේ පානීය ජලයද අමතක කරමිනි. පොඩි මිනිහාගේ ඇත්ත ප්‍රශ්නය මහ මිනිසුන්ගේ විහිළුවලින් වැසීයාම අදක ඊයෙක සිදුවන්නක් නොවේය. අනූව දශකයේදී වී ප්‍රශ්නයකට ගොවීන් වස පානය කරන තත්ත්වයකට පත්වූ අවස්ථාවක එකල පොලොන්නරුවේ දිසා ඇමැතිවරයා පැවසූයේ ගොවීන් වහ බොන්නේ ජොලියට කියාය.

එදා අපේ පැරැන්නෝ ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගත්තේ වැස්සේ ආධාරයෙනි. වැස්ස නියඟය ආදී පවතින ස්වභාවික පරිසරය අනුව සිය ගොවිතැන සකස් කරගැනීමටත් වැස්සක්ද ඉඩෝරයක්ද යන්න හූනා කිව්වා වගේ කියන්නටත් ඔවුනට පුදුමාකාර හැකියාවක් තිබුණේය. දළුක් ගහේ දල්ලේ ස්වභාවය අනුවත්, වඩු කුරුල්ලා කූඩුව සාදන දෙස බලාත් අපේ පැරුන්නෝ එදා ගොවිතැන්බත් කළහ.

කොහොමින් කොහොම හරි මේ වනවිට ඒ කිසිවක් නොදැනීම ගොවිතැනට වතුර නැතිවෙලාය. ඒ මදිවාට බොන වතුර බිඳටත් පොලිස් ආරක්ෂාව දැමීමට සිදුවෙලාය. මේ තරමට වින්නැහියක් වන්නට තරම් යල කන්නයට කුමක් වූයේද යන්න ගැටලුවක් වන්නේය. මෙහි ඇත්තටම සිදුවී ඇත්තේ හරි වේලාවට යල කන්නය වගා නොකිරීම බව පාරම්පරික පැරුණි ගොවීන්ගේ අදහසයි. නිසි කාලයට යල කන්නය වගා කළේ නම් බිම් සැකසීමට පවා වතුර වැස්සෙන් ලබාගැනීමට හැකි වන බවත් වැව්වලින් මේ තරමට වතුර ලබාගැනීමට සිදු නොවන බවත් ඔවුහු පවසති. එසේම පසුගිය කාලයේ පොහොර නොමැතිවීමෙන් ගොවීන් වගාව අත්හැරීමත් මෙම තත්ත්වයට හේතුවක් බවද ගොවීහු වැඩිදුරටත් පවසති. බොන වතුරටත් ආරක්ෂාව දෙන්න වූ රටක පොලීසියට අලුත් රාජකාරියක් වන්නේ පොලීසියට තියෙන වැඩ මදිවාටය. එහෙත් පොලීසිය සිය සේවය නොපිරිහෙලා ඉටු කරන්නේ එය සමාජ සාධාරණත්වය ආරක්ෂා කරලීමේ ලා වූ මෙහෙවරක් බව සිතාය.

I සසංක චලන ගිම්හාන