2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

බණ්ඩාරවෙලින් එන ’’potato චිප්ස්’’

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 155

විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ලද අර්තාපල් තීරු (Potato chips) වලට ජනතාව තුළ ඇත්තේ විශාල ඉල්ලුමකි. නමුත් අගෝස්තු මස 11 වැනි දින බණ්ඩාරවෙල කහත්තෙවෙල ප්‍රදේශයේදී අපේ අර්තාපල් තීරු නිෂ්පාදනාගාරයක් විවෘත විය. එම නිෂ්පාදන ආයතනය තුළ නිෂ්පාදනය වන අර්තාපල් Mr. Farmer ලෙසින් වෙළෙඳපොළට නිකුත් වී තිබේ.

''මෙම වැඩ කටයුත්ත 2018 අවුරුද්දෙදි විතර තමයි අපි කරන්නට සූදානම් වුණේ. ඒ සඳහා මූලිකවම කටයුතු කළේ අපේ ගම වන බණ්ඩාරවෙල කහත්තෙවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙණේ කහත්තෙවෙල රතනසිරි හාමුදුරුවොයි. අපේ ගමේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. නමුත් නව පරපුර මේ කෘෂිකර්මයට නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. මම ගොවිතැන් වගේම වෙළෙඳාම් කටයුතුවල නිරතවෙන කෙනෙක්. නමුත් අපි මේ නව පරපුර මේ කෘෂිකර්මාන්තයෙන් දවසින් දවස ඈත්වෙන අන්දම දැක්කා. අලුත් පරපුරේ ඇතැමුන් ගොවිතැනින් ඈත්වෙලා ත්‍රිරෝද රථයකට ගොඩවුණා. ඇතැමුන් ගමෙන් රස්සාවල් හොයාගෙන කොළඹට ගියා. මේ තත්ත්වය ගැන අපි නිරන්තරයෙන් අපේ ගමේ හාමුදුරුවෝ එක්ක කතා කළා. අඩුම තරමින් ගොවිතැනින් ජීවත් වුණු වැඩිහිටියන් පවා තමන්ගේ දරුවන්ට ගොවිතැනට නැඹුරු නොකරන තත්ත්වයට පත්වුණා. ලංකාවේ කෘෂිකර්මයේ මේ තත්ත්වය නිසාම තමන්ගේ පියා 'ගොවියෙක්' කියා කියන්නත් ඇතැම් දරුවන් මැලි වුණා. ඒකට හේතු කිහිපයක්ම බලපෑවා. ඒ නිසාම තරුණ පරපුරට අලුත් කෘෂි තාක්ෂණයක් සමඟ යමක් කරලා දුන්නොත් ඔවුන් නැවතත් කෘෂි කර්මාන්තයට නැඹුරු කිරීමට හැකි බව අපිට තේරුණා.'' යැයි ජනතා ගොවි සමාගම කහත්තෙවෙල ලිමිටඩ් හි සභාපති පුෂ්ප නුවන් කොළඹගේ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව කහත්තෙවෙල රතනසිරි හාමුදුරුවන්ගේ අනුශාසනාව සහ ආශිර්වාදය ඇතිව කණ්ඩායමක් එක්කොට ඔවුහු ගම්මානයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට වැඩපිළි‍වෙළක් දියත් කළහ. එම කණ්ඩායමට 'Sapp' නම් ව්‍යාපෘතියක් සම්බන්ධ වුණු අතර එම ව්‍යාපෘතිය හරහා වයස අවුරුදු හතළිහට අඩු ගොවි මහතුන් අඩු පොලී මුදලකට බැංකු ණය මුදලක් ලබා දෙමින් හරිතාගාර (Green house) ඇති කෙරිණි. එය ඉතා සාර්ථක වැඩපිළිවෙළක් විය.

''මුලින් සංවිධානයක් ලෙසින් ආරම්භ කළ අපි මෙය සමාගමක් ලෙසින් පටන් ගත්තා. ඒ අනුව එහි සාමාජිකයන් වෙනුවට කොටස්කරුවන් ඇතිකර ගත්තා. මේ අනුව මෙම සංගමයේ ගොවියන්ට 'Sapp' ව්‍යාපෘතිය හරහා රුපියල් 98,000 ක ආධාර මුදලක් හිමිවුණා. එම මුදල ගොවීන් විසින් සමාගමේ ආයෝජනයක් ලෙසින් තැන්පත් කළා. ඒ දිනවල ලංකාවට ගෙනා අලවල යම් යම් ගැටලු මතුවෙලා තිබුණා. ඒ අනුව අර්තාපල් සඳහා වන එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී සංඝරාජ පිරිවෙණේ ආරම්භ කිරීමට අපි තීරණය කළා.'' ජනතා ගොවි සමාගම කහත්තෙවෙල ලිමිටඩ් හි සභාපති කොළඹගේ මහතා පැවසීය.

අර්තාපල් තීරු (Potato chips) සඳහා යොදාගනු ලබන අර්තාපල්වලට මෙරට වගා කරනු ලබන 'ග්‍රුනෝලා' නම් අර්තාපල් ප්‍රභේදය ගැලපෙන බව ඔවුහු සොයා ගත්හ. ඒ අනුව කහත්තෙවෙල අල නිෂ්පාදනාගාරයක් විවෘත කරන බව ලැබුණු තොරතුරු මත ඒ අවට ගොවියෝ අල වගා කිරීමට වැඩි නැඹුරුවක් දැක්වූහ. ලංකාවට ගෙන්වනු ලබන අර්තාපල් තීරු සඳහා මෙරට ජනතාව තුළ විශාල ඉල්ලුමක් ඇති බව තේරුම් ගත් ගොවීන් තුළ තම වගාවන්හි මෙම අර්තාපල් ප්‍රභේදය වගා කිරීමට පෙළඹවීමක් ඇති විය. Sapp ව්‍යාපෘතිය මගින් තමන් වෙත පිරිනැමුණු, සංගමයේ ආයෝජනය කළ මුදලින් ඔවුහු ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල, යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ල මිලදී ගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ දැරෑහ. මෙම නිෂ්පාදන ක්‍රියාවලියට කාර්මික තාක්ෂණය ආයතනයෙන් අවශ්‍ය උපදෙස් සහ විශාල සහයෝගයක් ලැබුණි. අර්තාපල් තීරු සෑදීමට අවශ්‍ය අර්තාපල් ප්‍රභේද හඳුන්වා දෙමින් සියලු තාක්ෂණික උපදෙස් හා සහාය ලබා දෙනු ලැබුවේද කාර්මික තාක්ෂණය ආයතනය විසිනි. මේ සඳහා අවශ්‍ය ඇතැම් යන්ත්‍ර සූත්‍ර චීනය ඇතුළු රටවලින්ද ඇතැම් යන්ත්‍ර සූත්‍ර ලංකාවේ ආයතනවලින්ද ඔවුහු මිලදී ගත්හ.

2023 වසරේ අගෝස්තු මස 17 වැනිදා මෙම නව නිෂ්පාදනාගාරය ආරම්භ විය. ඔවුන් මෙම නිෂ්පාදනය හඳුන්වනු ලබන්නේ 'Mr. Farmer' නමිනි. ගොවීන්ගෙන් ස්ථාවර මිලකට අර්තාපල් මිලදී ගැනීමට මෙම සමාගමට හැකි විය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ගොවීන් විසින් යෙදවූ කොටස් ආයෝජන හේතුවෙන් එයින් ලැබෙන ලාභය අනුව කොටස් මුදලද ඔවුන්ට ලැබෙනු ඇත.

''මේ අර්තාපල් තීරු සඳහා විදෙස් රටවලින් ඉල්ලුම් ලැබෙමින් පවතිනවා. නමුත් තවමත් ඒ සඳහා අවශ්‍ය අර්තාපල් ලැබුණේ නැහැ. අද වෙද්දි තරුණයන් දහදෙනකුට පමණ රුකියා අවස්ථා ලැබිලා තියෙනවා. ඉදිරියේදී තවත් රුකියා අවස්ථාවක් ලබා දීමට අපේ සූදානමක් තියෙනවා.'' යැයි කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02