2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

වැස්සත් විදුලියට ජලය මදිලු

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

විදුලිය අවදානම් බව අපි දනිමු. එහෙත් විදුලි සැපයුම සම්බන්ධව මෙතරම් අවදානම් නිකුත් වූ කාලයක් නම් අපි නොදනිමු. ඉකුත් සතියේ නිකුත් වූ එවන් අවදානම් පිළිබඳව සිරස්තල කිහිපයක් විමසා බැලීමට අපි තීරණය කළෙමු. 

“ජල විදුලිය සැපයුම තවත් සති තුනකට පමණයි."
“ජල විදුලිය ලබාදුනහොත් පානීය ජලය නෑ."

මහජනයා තුළ තරමක බියක් ජනිත කළ මෙම කතාවල සත්‍ය අසත්‍යතාවය කුමක්ද? සැබැවින්ම එය විමසා බැලීම අපගේ වගකීමකි.

පසුගිය සතිය ආරම්භයේදී විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරි දිනවල සැලකිය යුතු වර්ෂාවක් නොලැබුණහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති තුනක් පමණක් බවයි. නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව අනාවරණය විය. ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 12% ක් දක්වා පහත බැස ඇතැයි ඒ අනුව වාර්තා විය. 

ඉකුත් සතිය ආරම්භයේ ලද තොරතුරු අනුව සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව 01% ක් දක්වාත් කාසල්රී ජලාශයේ ජල ධාරිතාව 21% ක් දක්වාත් මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව 35% ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 25% ක් දක්වාත් ඒ වන විට පහත වැටී තිබුණි. ඒ අනුව ජල විදුලියෙන් නිෂ්පාදනය කළ හැකි වූයේ ගිගාවොට් පැය 300ක් පමණක් බවද කියැවිණි.

මේ අතර පසුගිය සතිය වන විට දෛනිකව විදුලි අවශ්‍යතාව සැපයීම වෙනුවෙන් තාප බාලාගාරවලින් 66% ක්ද සූර්ය සහ සුළං බලයෙන් 11% ක්ද විදුලිය ජනනය කරන බව වාර්තා විය. බොහෝ දෙනකු මෙය දුටුවේ බරපතළ තත්ත්වයක් ලෙසය. සැබැවින්ම එය යම් අනතුරුදායක තත්ත්වයක් විය. එසේම ඒ හරහා බලශක්තිය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ දීර්ඝකාලීන භාවිතයන්ගේ හානිකර බවද මොනවට නිරෑපණය කළ අවස්ථාවක් විය.

කෙසේ වෙතත් පසුගිය සතියේ අවසන් දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාව ඇදහැලුණි. එනිසාම යම් බලාපොරොත්තුවක් අප තුළ ජනිත විය. එම නිසාම අප විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනුරුද්ධ තිලකරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු.

“අපිට පෙනී යන ආකාරයට වර්ෂාව දැනට ලැබිලා තියෙනවා. ඒත් සමනළ වැවේ වගේම ලක්ෂපානෙත් සැලකිය යුතු ධාරිතාව ඉහළ යාමක් දකින්න ලැබෙන්නේ නැහැ. වික්ටෝරියා පැත්තටත් නෑ. කොහොම නමුත් අපි වැස්ස තවත් දවස් තුන හතරක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

මේ අනුව  වර්ෂාව ලැබුණද තවමත් ජල විදුලි බලාගාරවල ධාරිතාවය ප්‍රමාණවත් පරිදි ඉහළ ගොස් නොමැති බව පැහැදිලි වේ. කෙසේ වෙතත් විදුලි කප්පාදුවක් පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියි.

“විදුලිබල මණ්ඩලය තත්ත්වය කළමනාකරණය කර ගනිමින් අඛණ්ඩව විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ පිළිබඳව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නෑ."

විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දිත පතිරගේ මහතා ද මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අදහස් දක්වා තිබුණි.

''මේ වෙනකොට වර්ෂාව ලැබෙමින් පවතිනවා. ඒත් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි වර්ෂාව ලැබිලා නෑ. නමුත් මේක තමයි ආරම්භය. පසුගිය දින දෙක ගත්තම ගිගා වොර්ට් 2ක් වෙච්ච එක ගිගා වොර්ට් අවර්ස් 8ක් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණා වගේ ධාරිතාවය උඩට එනවා. ඒක තමා මේකෙ හැටි. තෙත සහිත කාලගුණය නිසා ඉල්ලුමක් යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා.''

කෙසේ වෙතත් ලැබෙමින් පවතින විවිධාකාර ආරංචි අනුව එකිනෙකට පරස්පර කතා කියැවේ. වර්තමාන තත්ත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 90ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ඉකුත් දා වාර්තා වී තිබුණි. එම වාර්තාවට අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ ද විදුලිය අවශ්‍යතාවෙන් 58% කට ආසන්න ප්‍රමාණයක් ජල විදුලිය නිෂ්පාදනය කළ බවත් ඉදිරි දින කිහිපයේදී වැසි නොලැබුණහොත් තත්ත්වය දරුණු විය හැකි බවත් කියැවිණි.
මේ අතර යම් හෙයකින් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීම සිදු කළහොත් කොළඹ සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට පානීය ජලය සැපයිය නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවට ද කතාවක් පැතිර ගියේය. කෙසේ වෙතත් මේ පිළිබඳව කිසිදු බලධාරියකු තහවුරු කිරීමක් කර නොමැත.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වර්ෂාපතනය වාර්තා වුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාවයේ ලොකු වැඩිවීමක් සිදුව නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කළේය. ඉකුත් සතිය වන විට සමස්ත වාරි ජලාශවල ජල ධාරිතාව 27% දක්වා අඩු වී ඇතැයි ද වාර්තා විය.

වර්ෂාපතනය වාර්තා වුවත් ජලාශ පිහිටා ඇති ඉහළ ජල ධාරා ප්‍රදේශයට එම වර්ෂාව නොලැබීම, ජලාශවලට ගලා ඒමට තරම් වර්ෂාපතනයක් නොලැබීම සහ පවතින වර්ෂාව පොළොවට උරාගැනීම වැනි හේතු නිසා ජලාශවල ජල මට්ටම වැඩිවීම පමා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බලධාරීන් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බ්‍රහස්පතින්දා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඊට හේතුව දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීමයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ජල විදුලිය පිළිබඳව යම් අපේක්ෂාවක් තබාගැනීමට අපට හැකිය. කෙසේ වෙතත් නිරන්තරයෙන් නිකුත් වන මෙවන් අවදානම් පිළිබඳ තතු ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය ප්‍රකට කරවන බව අවසානයේ සඳහන් කළ යුතුය. ජනන සැලැස්මක් සහිතව වැඩ කරන තුරු මෙම අවදානම් සහගත තත්ත්වයන්ගෙන් ගැලවීමට ශ්‍රී ලාංකිකයන් ලෙස අපට නොහැකිය.

I චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02