2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ඉන්දියාවෙ බද්දයි: ලංකාවේ බඩගින්නයි

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

ශ‍්‍රී ලංකාවේ උද්ධමනය අඩු බව ප‍්‍රකාශ වේ. එහෙත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් අහස උසට නැග ඇත. වෙළෙඳපොළට ගිය පසු මිල සාධකය අවබෝධකරගත හැකිවේ. උද්ධමනය මනින සාධකය සාපේක්ෂය. පසුගිය මාසයට වඩා උද්ධමනය වැඩිවීම පාලනය වී ඇති බවට කරන ප‍්‍රකාශ සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැත. ආහාර ද්‍රව්‍ය මිල දිනපතා ඉහළ යන බව නොදන්නේ ආණ්ඩුවේ බලධාරීන් පමණකි. ශ‍්‍රී ලංකාවේ පාරිභෝජන රටාවේ ව්‍යුහය ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. පසුගියදා  ඉන්දියාව ලොකු ලූනු අපනයනයේදී අය කරන බදු සියයට හතළිහකින් වැඩි කළේය. ඉන්දීය වාර්තා දක්වන පරිදි මෙම බදු වැඩිකිරීම ලබන දෙසැම්බර් දක්වා පමණක් සීමාවන අතර එය අපනයන දුර්මුඛ කර දේශීය පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලට සපයන පියවරක කොටසකි. ඉන්දියාව බදු වැඩි කරන තොරතුරු ප‍්‍රකාශයට පත්වන වහා කොළඹ තොග වෙළෙඳපොළ ලූනු මිල ඉහළ ගියේය. 

කොවිඩ් වසංගත තත්ත්වයට පසු ජගත් ප‍්‍රජාව ස්වකීය අභිමතාර්ථ කෙරෙහි අවධානය යොමු කරන ආකාරයෙහි පරිවර්තනයක් වී තිබේ. ලොක්ඩවුන් වූ කාලය තුළ බලශක්තිය, ආහාර හා ඖෂධ සම්බන්ධයෙන් මතු වූ ගැටලු සලකා බලන ඇතැම් රටවල් තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට නිපදවා ගැනීම හෝ තොග රැස්කර තබාගැනීම ගැන අවධානය යොමු කර ඇති බව පෙනේ. ගෝලීයකරණය ගැන තිබුණ සංකල්ප මදක් ලිහිල් වී ඇත. ඉන්දියාව සලකා බලන අන්දම එයට පැහැදිලි පිළිතුරකි. ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කර තිබේ. අපනයනය දුර්මුඛ කිරීම එහි එද පියවරකි.

► අපනයනයට සීමා පැනවීම

ලොකුලූනු  ආනයනනයට බදු පැනවීම සමඟ ලෝක වෙළෙඳ පොළේදී පකිස්තානය, චීනය, සහ ඊජිප්තුවේ ලොකු ලූනුවලට වඩා ඉන්දියානු මිල ගණන් ඉහළ නැග ඇත. ඉන්දියාව ලෝකයේ වැඩිම ලූනු අපනයනය කරන්නා වන අතර ජාත්‍යන්තර වෙළෙඳ පොළට නිකුත් කරන තොගවලින් සියයට දොළහක ප‍්‍රතිශතයක් ඔවුන්ට හිමි බව අනාවරණය වේ.

බදු පැනවීම සමඟ ඉන්දියානු ලූනු වලට ඉල්ලූම අඩු වී තිබේ. පකිස්තානය හා චීනය අතර මතගැටුම් පවතින බව නොරහසකි. ඉන්දියාව පනවා ඇති ලොකු ලූනු බදු ප‍්‍රතිශතය සමඟ පාකිස්තාන හා චීන නිෂ්පාදනවලට වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් තිබේ. දීර්ඝකාලීනව සලකාබලන කල එය ඉන්දියාවේ කෘෂි අපනයන අඩාල කරන හේතුවක් විය හැක. එවැනි අවදානමක් තිබිය දී පවා ඉන්දියානු පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කරන්නට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත. ඉන්දියාවේ උද්ධමන අනුපාතිකය පසුගිය වසර පහළොවකට පසු ඉහළම අගය දක්වා ඉකුත් ජූලි මාසයේදී පැමිණි අතර ඉන්දීය බලධාරීහු මහජනතාව පෙළන පීඩා අඩුකරන්නට සෑම අංශයකින්ම පියවර ගනිමින් සිටිති.

පසුගිය ජූලි මාසයේදී බාස්මතී හැර අනෙක් සහල් වර්ග අපනයනය තහනම් කරන ලදී. තක්කාලි, බෝංචි සහ කැරට් වැනි එළවළු මිල සියයට තුන්සියයකින් වැඩි වී ඇති අතර මෙම කරුණු සලකා බලන ඉන්දීය බලධාරීන් පසු අස්වනු තාක්ෂණික ක‍්‍රම ගොවියන්ට හඳුන්වාදීමට වෑයම් කරන බව පෙනේ. 

► කාලගුණය ගැන අවධානය

ඉන්දීය කෘෂිකර්මය කාලගුණ විපත් හේතුකොටගෙන ගැටලුවලට මුහුණ පා ඇත. මාසයකට පමණ කලින් අධික වැසි ඇති වූ අතර ඇතැම් ප‍්‍රාන්ත වැසිවතුරට යටවීමෙන් අක්කර දහස් ගණන් ගොවිබිම් සහමුලින්ම විනාශයට පත්වී තිබුණි. එල්නිනෝ බලපෑම හේතු කොටගෙන ඇතැම් වකවානුවල අධික වැසි පමණක් නොව සමහර කාලවකවානුවල අධික වියළි කාලගුණයක් ඉන්දියාවේ දක්නට ලැබේ. මෙම කාලවලදී කෘෂිකාර්මික කටයුතු අඩාල වේ. සම්ප‍්‍රදායික ගොවීහු අසරණභාවයට පත්වෙති. ගොවීන්ගේ අධෛර්ය සමඟ ඉන්දියාවේ භෝග නිෂ්පාදනය අඩුවන අතර එය ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇත.

ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාව ලෝක බලවතා වශයෙන් කැපී පෙනෙන්නට බලවත් ප‍්‍රයත්නයක පසුවේ. ජී 20 සමුළුව එයට කදිම උදාහරණයකි. ලබන සැප්තැම්බර් 7-10 දක්වා පවත්වන අවසන් සමුළුවාරය සඳහා නවදිල්ලියේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර උත්කර්ෂවත් හා බලවත් රටක ජනතාවට නිසිපරිදි ආහාර සැපයිය නොහැකිවීම ගැන තොරතුරු වාර්තා වුවහොත් එය ඉන්දියාව ලබන අවමානයක් විය හැකි බව ප‍්‍රකාශ වේ. එළවළු මිල අධික හා සහල් අපනයනය පාලනය කර තිබිය දී තමිල්නාඩු ප‍්‍රාන්තය පාසල් දරුවන් සියලුම දෙනාට දිවා ආහාරය නොමිලේ සපයන තීරණයක් ක‍්‍රියාත්මක කරන අතර එයද ප‍්‍රතිරෑපය සම්බන්ධ තත්ත්වයක් බව දැක්වේ.

වගාවන් ආරක්ෂා කරන්නටත්, වගා අස්වනු වෙළෙඳපොළට සැපයීමේදී ඇතිවන දුෂ්කරතා සොයා බලා පිළියම් යොදන්නටත් ඉන්දීය නිලධාරීන් සැලසුම් සකස් කර ඇත. නිෂ්පාදනය හා පරිභෝජනය අතරතුර සැලකිය යුතු ප‍්‍රතිශතයක් විනාශවන  එය ආර්ථික අවාසියක් බව එරට පර්යේෂණ වාර්තා දක්වා තිබේ.

► ආහාර ලෝක ප‍්‍රශ්නයක්

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා දක්වන පරිදි සියලුම රටවල ජනගහනයෙන් මිලියන 691 -783 අතර පිරිසකට ප‍්‍රමාණවත්ව ආහාර ලැබෙන්නේ නැත. එය 2019දී එනම් කොවිඩ් වසංගතයට කලින් තිබුණු මිලියන 122කට ආහාර නොලැබීමේ දත්ත ඉක්මවා ඇත. කාලගුණ විපර්යාස හා රටවල් අතර ගැටුම් හේතුවෙන් නිෂ්පාදනය සීමාසහිත වන අතර නිෂ්පාදනය බෙදාහැරීමට බාධා සිදුවීම බරපතළම තත්ත්වය බව දැක්වේ. කෘෂි නිෂ්පාදනවල අඩුවක් නැති බව ඇතැම් වාර්තා දක්වන අතර ගැටුම් පවතින කලාප මග හැර, අධික බලශක්ති පිරිවැයක් දරා අවශ්‍ය ප‍්‍රදේශවලට ආහාර ප‍්‍රවාහනය පහසු ව්‍යායාමයක් නොවන බව දක්වති. 

කාලගුණ විපර්යාස වලට හේතුවන පරිදි ඉන්ධන, ගෑස් හා ගල් අඟුරු භාවිතය අවම කරන තීරණ නොගතහොත් ඉදිරියේ දී ආහාර තවත් මිල වැඩිවිය හැකි බව දැක්වේ. පර්යේෂකයන් සඳහන් කරන පරිදි පොසිල ඉන්ධන නිපදවන ප‍්‍රධාන සමාගම් නමයක් 2023 වසරේ පළමු මාස තුන තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවන අධික ලාභයක් උපයා ඇත. මෙම ධනය සමඟ විකිණෙන පොසිල ඉන්ධන වායු දූෂණයට හේතුවක් වී ඇති අතර එය ගෝලීය උණුසුම නංවා කාලගුණ විපත් ඇති කරයි. මෙහි ප‍්‍රතිපලයක් වශයෙන් ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීම අඩාල කෙරේ. 

ඉන්දියාව, බ‍්‍රසීලය, චීනය, රුසියාව හා උතුරු ඇමරිකානු රටවල වගා කරන තිරිඟු, සහල් ඇතුළු ධාන්‍ය වෙනත් රටවලට අපනයනය සීමා කර ඔවුන්ගේ ජනකොටස්වල අවශ්‍යතා සඳහා සංචිත පවත්වා ගැනීම තවත් ව්‍යාකූල තත්ත්වයක් බව තවත් වාර්තා අනාවරණය කරන කරුණකි.  ජාත්‍යන්තර පර් යේෂකයෝ ආහාර මිල ගැන කරුණු තුනක් සඳහන් කරති. Climate Covid and Conflict යන සී අකුරු තුන අවධාරණය කර දක්වා තිබේ. කාලගුණය ප‍්‍රධාන සාධකයකි. කොවිඩ් අනෙක් කරුණය. ලෝකයේ හැම රටකම ආහාර නිෂ්පාදනය පමණක් නොව බෙදාහැරීමද අඩපණ වී ඇත. ගැටුම් තුන්වැනි සාධකය සේ බලපාන බව දැක්වේ. රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුද තත්ත්වය බටහිර හා යුරෝපා කලාපයට බලපා තිබේ. වෙළඳාමට ප‍්‍රශ්න ඇත. 

► ආහාර මිල විරෝධතා

ශ‍්‍රී ලංකාවේ තත්ත්වයද යහපත් තැනක නොවේ. ජන ජීවිතය නැවතත් සුපුරුදු පරිදි අවදිවන පසුබිම මත ජීවත්වීමේ ගැටලු මතුවේ. ඉන්ධන මිල දරුණුය. තෙල් මිල වැඩිකිරීම පදනම් කරගෙන සියලුම කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල මිල නියම වී ඇති බව දැකගත හැක. රජයේ ආදායම පිරිහීම හේතු කොටගෙන අධික බදු පනවා ඇත. උපයන විට ගෙවන බදු හේතුවෙන් මැදි ආදායම් ලබන ජනතාව බලවත් දුෂ්කර තැනක පසුවේ. පොලී අනුපාත අඩුවීම පදනම් කරගෙන විශ‍්‍රාමිකයන්ද දුකට පත්ව ඇති කාලයකි. 

ඉන්දියාවෙන් ලැබුණ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදල හා තෙල් මිල දී ගැනීම සඳහා ලැබී ඇති චක්‍රීය ණය විශාල සහනයකි. මූල්‍ය අරමුදලින් ලබාගෙන ඇති ණය අනුව ආර්ථික ප‍්‍රතිසංස්කරණය අරඹා ඇත. කර්මාන්ත හෝ ව්‍යාපාර පමණක් නොව කෘෂිකර්මය කෙරෙහිද නැඹුරුවිය යුතු බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විශාල පරිවර්තනයක් අවශ්‍යය. නිෂ්පාදනය වැඩි කළ යුතු අතර රට තුළ ආහාර නිෂ්පාදන අංශයේ කාර්යක්ෂමතාව ඇති කරන ප‍්‍රයත්නයකින් හැර ගැලවීමක් නැති බව පෙනේ. ලෝකයේ අනෙක් රටවල් තමන්ගේ පුරවැසියන් ගැන අවධානය යොමු කර වෙළෙඳ පොළ හසුරුවන පසුබිමක ශ‍්‍රී ලංකාව හදිසියකට හාල් තොගයක් මිල දී ගන්නේ කෙසේද? සීනි, ලොකු ලූනු, අර්තාපල් සහ වියළි මිරිස් යනාදිය බහුලව ආනයනය කෙරේ. මෑතක සිට බිත්තර ද ආනයනය කරන්නට සිදුවී ඇත. කෘෂි බලධාරීන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් ජාත්‍යන්තරයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීම සුදුසුය. 

ඉදිරි කාලයේ දී ශ‍්‍රී ලංකාවේ ජනගහනයට අවශ්‍ය වන පරිදි කෘෂි භෝග නිපදවාගත නොහැකිවුවහොත් ගැටලූ මතුවේ. සාමාන්‍ය ජනතාව ගොවිතැන අත්හරිමින් සිටී. තරුණ පෙළ ආදායම් සොයා වෙනත් රටවලට පිටත්ව යන කාලවකවානුවකි. ගොවිතැන අඩාලවුවහොත් විදේශවලින් ගෙන්වන  ද්‍රව්‍ය හා ඒවායේ මිල ආර්ථිකය තවත් වටයකින් අර්බුදයකට පත් කරනු ඇත.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02