මෙරට හෙරෝයින් ජාලයේ 50% හිමිකමක් ඇති මොහොමඩ් සිද්ධික් අද වනවිට ඕමානයේදී කොටුවී හමාරය. එසේම ඒ ජාලයේම දෙවැනියා වූ මාකිලංගමුව සංජීවට අදටත් සිදුවූ දෙයක් නැත. සංජීව නේපාල් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කීවත් අදටත් සංජීවට සිදුවූ දෙයක් නැත.
මෙරට බුද්ධි අංශ වාර්තා කරන්නේ සංජීව මුදල් ලබා දී පැනගොස් ඇති බවට තොරතුරු කනින් කොනින් ආරංචි වන බව කියාය. එහෙත් පාතාල අභ්‍යන්තරයේ සිදුවන කතාබහ ගැන අප සොයා බැලීමේදී දැනගන්නට වූයේ සංජීව ජීවතුන් අතර නොමැති බවට කතාබහක් මේ වනවිට ඇති බවයි. එයට හේතු වී ඇත්තේ සංජීවගේ නිවෙසට වෙඩිතබා තිබියදීත් ඊට සංජීවගේ ගෝලබාලයන් විසින් නිසි ප්‍රතිචාරයක් ලබා නොදීම නිසාය. සාමාන්‍යයෙන් සංජීව පලියට පලිය ගන්න ඕනෑම විටක සූදානම් අයකු නිසා මෙම ප්‍රහාරය ඉවසා ගෙන සිටීමම ප්‍රශ්නයක් බව සංජීව ගැන දන්නා පාතාලයන්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත් සංජීව සමඟ කොටු වූ ගණේෂ් මේ වනවිට නේපාල පොලීසිය බාරයේ සිටිනා බවත් ඩුබායිහී සැඟව සිටින ගණේෂ්ගේ සහෝදරයා විසින් දිගින් දිගටම ගණේෂ්ව බේරාගැනීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් වාර්තාවේ. ඇතැම් පිරිස් වෙත කතාකොට තම සහෝදරයා බේරාගැනීමට මුදල් ඇති තරමට වියදම් කරන්න තමන් සූදානම් බවත් දන්වා තිබේ. එහෙත් ගණේෂ් එරට පොලීසියේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ බොහෝදෙනාට සැකයක් ඇතිව තිබේ. ඒ තවමත් ගණේෂ් සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නොමැති නිසාය. ගණේෂ් යනු දෙමටගොඩ චමින්ද ගමන්ගත් බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකි.
මේ අතර සංජීව විසින් තම ගෝලබාලයන්ට ලබාදුන් නියෝග සහ මත්ද්‍රව්‍යවල මිල මුදල් එකතු කිරීම්ද අතරමග ඇණහිට ඇති බවද දැනගන්නට ඇත. ඒ සංජීව ඔවුන්ට ඇමැතුමක් තවම ලබා නොදුන් නිසා බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් බොහෝදෙනා සැක කරන්නේ පසුගියදා බැංගලෝර් ප්‍රදේශයේ තට්ටු නිවාසයකදී අත්අඩංගුවට ගත් තිදෙනා සංජීවලා හෝ සිද්ධික් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුවූ දෙයක් කියාය. කෙසේ වෙතත් පසුගියදා බොරුල්ල ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී පැනගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස ලහිරුගේ කණ්ඩායමක් බවත් ලහිරු යනු සංජීවගේ ගෝලයෙක් බවත් පසුව අනාවරණය විය.
කෙසේ නමුත් ඇතැම් ආරක්ෂක නිලධාරීන් පවසන්නේ සංජීව මේ තරම් දුර යාමට ප්‍රධාන හේතුව වූයේ සංජීව වැනි ප්‍රබල පාතාලයන් සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදුනොවුණු නිසා බවයි. එනම් බන්ධනාගරය තුළ සිට මෙහෙයවූ මහා පරිමාණ හෙරොයින් ජාවාරමත්, කුලී මිනීමැරුම් සහ කප්පම් ගැනීම් පවා සිදුකොට නැවත ඇප ලබා පැමිණීමේදී නීතීඥ මඩුල්ලකගේ ආරක්ෂාව මැද නිවසට යමින් පසුව රටින් ඉන්දියාවට පැන යන තෙක්ම නොදැන සිටීමත් මේ සියල්ලට හේතුවී ඇති බවයි. ඒ හේතුවෙන් ඔහු පුද්ගල ඝාතන 20කට වඩාත්, ඝාතනයට උත්සාහ කිරීම් 40කට වඩා වැඩියෙනුත් කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් රුසක්ද සිදුකර තිබේ. මේ සියල්ලට හේතුව එවැනි දරුණු අපරාධකරුවෙක් සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකර සිටීම බව ඇතැම් ආරක්ෂක නිලධාරීන්ගේ මතය වී තිබේ. මේ සියල්ලටම හේතු වී ඇත්තේ පාතාල මර්දන වැඩපිළිවෙළ අතරමග ඇණ හිටීම නිසා බවද ඔවුන්ගේ මතය වී ඇත.
මේ අතර මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අනෙක් පුදගලයා වී ඇත්තේ සංජීවගේ හතුරා වූ පද්මසිරි බව ආරක්ෂක අංශ පවසයි. පද්මසිරි විසින් අයිස් සහ කේරළ ගංජා මහා පරිමාණයෙන් මෙරටට ගෙන එන බව පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් පවසා තිබේ. කෙසේ වෙතත් පද්මසිරි අත්අඩංගුවට ගැනීම සඳහා රාජතාන්ත්‍රික මෙහෙයුමකට සූදානම් වන බවද දැනගන්නට තිබේ. එහෙත් පසුගියදා සිද්ධික් සහ සංජීව ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමත් සමඟ රට පැන සිටින සියලු පාතාලයන් අඬු අකුලාගෙන ඇති බවද දැනගන්නට ඇත. ඇතැම් පිරිස් ඩුබායි රටෙන් පිටමං වී යාමටත් පටන්ගෙන ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ. ඊට හොඳම උදාහරණය වන්නේ බටුවත්ත චාමර නිදි පැදුරටත් හොරෙන් රුසියාවට පැනගොස් සිටීම බවයි. බටුවත්ත චාමර ගිය බවට දැනගෙන ඇත්තේ ඔහු රුසියාවට පලායාමෙන් පසුව බවත් අනාවරණය වී තිබේ.
දැනට අනාවරණය වී ඇති ආකාරයට සංජීව සහ සිද්ධික්ගේ සිදුවීමත් සමඟ ඩුබායි පාතාලය පමණක් නොව ලංකා පාතාලයද කැළඹී ඇත. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාලය කැඩීයාම නිසා සංජීව සහ සිද්ධික්ගේ ගෝලබාලයන් වෙත ඉදිරියේදී විරුද්ධවාදීන්ගෙන් ප්‍රතිප්‍රහාර විඳින්නට සිදුවනු ඇතැයිද දැනගන්නට ඇත. මේ නිසාම ඔවුන්ගේ ගෝල බාලයන් සැඟවී සිටින බවද දැනගන්නට ඇත.
මේ අතර සංජීව සහ සිද්ධික් කොටුවීමත් සමඟ එම ස්ථානය ගැනීම සඳහා තවත් පිරිසක් සූදානම් වන බවද දැනගන්නට ඇත. ඒ කවුද කින්ද මන්ද යන්න ඉදිරියේදී අපට හෙළිකිරීමට හැකිවනු ඇත. අපට ලැබෙන තොරතුරු අනුව ඒ පිරිස දැනටමත් සංජීව සහ සිද්ධික්ගේ ගෝලබාලයන් තම ග්‍රහණයට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන බවද සඳහන් වේ.
මේ සියල්ල සිදුවන අතරතුර දිනෙන් දින මෙරට සිදුවන ඝාතන වෙඩිතැබීම් ඉහළ යමින් තිබේ. කල්ලි කණ්ඩායම් අතර ගහ මරාගැනීම් වුවද මේ සියල්ල ගිනි අවි හරහා සිදුවන සිදුවීම් නිසා සාමාන්‍ය ජනජීවිතය ඉතාම අසීරු තැනකට පත්ව තිබේ. මේ තත්ත්වය එසේ තිබියදීත් ආරක්ෂක අංශ අත්පා බැඳගෙන සිටීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබේ. දෙයක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීම වෙනුවට සිදු වූ පසුව එය බලන්නට යන තැනට ආරක්ෂක අංශ පත්ව තිබීම ගැන බොහෝදෙනා පමණක් නොව ආරක්ෂක අංශ පවා කලකිරීමට පත්ව ඇත. ඒ නිසා වහාම පාතාල මර්දනය කරන්නැයි යන්න බොහෝ ආරක්ෂක නිලධාරීන්ගේ ඉල්ලීම වී තිබේ.
I ගයාන් ගාල්ලගේ