2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මේ පීරමිඩ් හොරුන්ට අහුවෙන්න එපා ’’බූරුවනේ!’’

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 201

පිරමිඩාකාර ගනුදෙනු පිළිබඳ පසුගියදා යළිත් වරක් රටේ කතාබහක් ඇතිවූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රට තුළ තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය හා පවත්වාගෙන යන බවට සොයාගත් ආයතන නවයක් තහනම් කිරීම නිසාය. මේ පිළිබඳ පසුගිය 24දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව එම ව්‍යාජ ආයතනවල නම් ප්‍රකාශයට පත්කර ඇත්තේ මහජනතාව දැනුවත් කිරීම උදෙසාය.

මෙලෙස තහනම් කරන ලද ආකාරයේ පිරමිඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, ඒවාට මුදල් පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයකු සිදු කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ප්‍රකාශ කර තිබේ. මෙම පිරමිඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු ආරම්භ කිරීම පිළිබඳ සලකා බැලීමට නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමුකර ඇති බවද මහ බැංකුව නිවේදනය කර ඇත.

එසේම පසුගිය 24දා මූල්‍ය ප්‍රතිපත්ති ගැන දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසුවේය.

''මෙවැනි පිරමිඩාකාර ව්‍යාපාර පිළිබඳ නම් කරලා ඒවාට එරෙහි ක්‍රියාමාර්ග ගනිමින් සිටින විට ඒවා වෙනත් නම්වලින් යළිත් මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේවා මර්දනය කිරීමේදී ගැටලු මතුවෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මහජනතාවට අවධාරණය කරන්නට අවශ්‍ය වන්නේ මෙවැනි පිරමිඩ ව්‍යාපාරවලට හසුවෙන්න එපා කියලයි. යමකු මෙවැනි ව්‍යාපාරයකට මුදල් යොදවලා තියෙනවා නම් හැකි ඉක්මනින් එම මුදල් ආපසු ගන්නය කියලා කියනවා. ඒ මොකද එයින් ප්‍රතිලාභ අත් නොවන හින්දයි. ඒ එක්කම එවැනි ව්‍යාපාරවලට එරෙහිව නීතිමය පියවර ගත යුතු වෙනවා. එසේ නොකළොත් තවත් අය අමාරුවේ වැටෙනවා ඇති.''

මෙවැනි ජාවාරම්වල නිරතවීම 1988 අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත උල්ලංඝනය කිරීමක් වෙයි. මේ පිළිබඳ වරදකරුවන් වන අයට අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවිය හැකි බව මූල්‍ය නීති විශාරදයෝ පවසති.

මේ අතර පසුගියදා පළ වූ පුවතක් වූයේ පිරමිඩ ජාවාරම පිළිබඳ චෝදනා එල්ල වූ MTFESL Group නැමැති මූල්‍ය ආයතනයක ප්‍රධානීන් පස්දෙනකුට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගයක් නිකුත් කළ බවකි. එයට හේතුව මෙම ආයතනයේ නිලධාරීන් රටේ විශාල පිරිසකට මූල්‍ය වංචා කර ඇති නිසා එම ආයතනයේ ප්‍රධානීන් පස්දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටීමය. මෙම සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වූ ආයතනයක් නොවන බවට මහ බැංකුව දැනුම් දී ඇති බවද අධිකරණයේදී හෙළි විය.

මෙම ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති අතර එහි ක්‍රියාකාරකම් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ගණයට අයත් යැයි මහ බැංකුව අධිකරණයට කියා සිටියේය.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුවකු 21දා අත්අඩංගුවට ගෙන ඇති අතර 2019 සිට 2023 වසර දක්වා වසර හතරක් ඔහු මුදල් පොලියට දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇති බව හෙළි වී තිබේ. මෙලෙස රුපියල් ලක්ෂයේ සිට මිලියන ගණන් දක්වා විවිධ අයගෙන් මුදල් ලබාගෙන ඇතැයි අනාවරණය කර ඇති අතර මෙය පිරමිඩාකාර ගනුදෙනුවලට සම්බන්ධ දැයි සැකයක් පවතින බවද අධිකරණයේදී අනාවරණය කෙරුණි.

මෙලෙස පිරමිඩාකාර ගනුදෙනු විවිධ මුහුණුවරින් මතුවන නිසා ඒවා මුලිනුපුටා දැමීම දුෂ්කරව තිබේ. මේවා අතර තනි පුද්ගලයන් විසින් මෙන්ම ව්‍යුහයක් සහිත ආයතන වශයෙන් වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති සමාගම්ද ඇති බව සැල වේ. මේවා විවිධ ව්‍යාපාර නාමවලින් හඳුන්වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඒවා තහනම් කළ විට වෙනත් නාමයක් යටතේ සමාගම අරඹන නිසා මුළුමනින්ම ඉවත් කිරීම අපහසු වී තිබෙන බව මහ බැංකුව පවසයි.

මෙම ගනුදෙනුවලට යොමුවී අමාරුවේ වැටුණු පුද්ගලයන් එය රහසක් වශයෙන් තබාගෙන සිටින්නේ ඒ සඳහා ඔවුන් මුදල් ආයෝජන කළ ආකාරය සහ එම මුදල් ප්‍රමාණය පිළිබඳ අනාවරණය කළ නොහැකි නිසාය. බොහෝ විට ඒවා කළු සල්ලි විය හැකිය. විවිධාකාර අනීතික ක්‍රමවලින් මෙම මුදල් උපයාගෙන තිබීම එයට හේතුවයි. එසේ එළි කළහොත් තවත් අංශයකින් වරදකරු වීමට ඉඩ තිබේ. ඒ නිසා මෙලෙස අමාරුවේ වැටුණු පුද්ගලයන්ට නීතියේ පිහිට ලබාගැනීමටද අපහසු වේ. එබැවින් පිරමිඩකරුවන්ට නිදහසේ මෙම වංචාව කරගෙන යාමට ඉඩ ලැබී තිබේ.

මෙවැනි ව්‍යාජ ආයතනවලට දිගටම පවත්වාගෙන යා හැකි වන්නේ ජනතාව තුළ ඇති දැඩි තණ්හාව හේතුවෙනි. පහසුවෙන් මුදල් උපයාගෙන ඉක්මනින් පොහොසත් වීමට ඔවුහු උත්සාහ කරති. මාස කිහිපයක් ඔවුන්ට ගිවිසගත් පරිදි මුදල් ලැබෙන අතර සියල්ල උඩු යටිකුරු වන්නේ ඉන් පසුවය. ලියුම්කරුගේ අත්දැකීම් අනුව ඇතැම් මෙවැනි ආයතන විවිධ උත්සව සහ සාද ප්‍රසිද්ධ හෝටල්වල පවත්වා ආහාර පානාදිය දීමෙන් එයට පුද්ගලයන් අද්දවා ගැනීමට උත්සාහ කෙරේ. එලෙස එන අයට විවිධ පෙරුත්ත කිරීම් සිදු කරමින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අතිශයෝක්තියෙන් වර්ණනා කර යෝජනා ක්‍රමවලට බඳවා ගැනීමට කටයුතු කෙරේ. එසේ බැඳෙන පුද්ගලයන්ට එක් අයකුට 5 හෝ 10 ආදී වශයෙන් තවත් බඳවා දෙන්නේ නම් ඒ අය ආයෝජනය කරන මුදලින් අඩක් ප්‍රතිලාභ ලෙස ගෙවන බවට පොරොන්දු වෙයි. කිසිදු වගකීමක් නොමැති විශාල මුදලක් කෙටි කාලයක් තුළ උපයා ගැනීමේ මේනියාවෙන් පෙළෙන්නෝ මේවාට බැඳී අත ඇති මුදලද නැති කර ගනිති.

මෙවැනි ගනුදෙනු නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවට ඇතැම්හු පැමිණිලි කරති. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවී මෙවැනි මූල්‍ය සමාගම් ක්‍රියාත්මක වීම වැළැක්වීමට නීති ප්‍රතිපාදන ඇති නමුත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පැවසේ. මහ බැංකුව මේවා හසුකර ගන්නා විට පැළය මහ ගසක් බවට පත්වී අතු රිකිලි ලියලා මහා පරිමාණයෙන් වැඩී තිබීම එයට හේතුවයි. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමෙන් වැඩක් නැත.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ මිනිසුන් තුළ අධික තණ්හාව පවතින තාක් කල් මෙම ජාවාරම නැවැත්විය නොහැකි බවයි.

''පිරමිඩ ක්‍රමය කියන්නේ ප්‍රධාන වශයෙන්ම අලෙවි ජාලයක් (Network) හරහා ක්‍රියාත්මක වන පුද්ගලයන් අලෙවි කිරීමේ ජාවාරමක්. ඕනෑම අලෙවි ජාලයක් (Network) මගින් භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. එය නීත්‍යනුකූල ව්‍යාපාරයක් වෙනවා. එහෙත් එමගින් මිනිසුන් විකුණන්න පටන්ගත් විට එය ඉබේම පිරමිඩ ජාවාරමක් බවට පත්වෙනවා. උදාහරණයක් ලෙස පැවසුවොත් එක් අයකු 10 දෙනකු සම්බන්ධ කර ගන්නවා. ඒ 10 දෙනා සම්බන්ධ කර ගන්නා පුද්ගලයාට විශාල මුදලක් ලැබෙනවා. ඒ 10 දෙනා තවත් දහදෙනකු බඳවාගෙන මුදල් උපයනවා. මේ දහදෙනා තවත් දහදෙනකු ආදී වශයෙන් විශාල ලෙස ඉක්මනින් ව්‍යාප්ත වන නිසා අල්ලා ගැනීම අපහසුයි. භාණ්ඩ අලෙවි ජාලය මිනිස් අලෙවි ජාලයක් බවට පත්වූ විටයි අත්අඩංගුවට ගත හැකි වන්නේ. ඒ නිසා මෙය තෝරා බේරාගැනීම අතිශයින් අපහසුයි.''

ඔහු පවසන අන්දමට මෙමගින් සුළු වෑයමකින් විශාල මුදලක් උපයා ගන්නට හැකිවෙන බව පැවසේ. ඕනෑම ව්‍යාපාරයකට යම් මුදලක් ආයෝජනය කර මුදල් ඉපයිය යුතු නමුත් මෙහිදී කිසිදු මුදලක් නොයොදවා විශාල මුදලක් උපයාගත හැකි වේ. මිනිසාගේ අධික තණ්හාව තිබෙන තාක් කල් මෙම ජාවාරම පැතිරෙන බව ඔහු පෙන්වා දෙයි.

''ශ්‍රී ලංකා මහ බැංකුවේ පවතින නීති ප්‍රතිපාදන අනුව මේ අයට එරෙහිව පියවර ගන්න පුළුවන්. මෙය අනාවරණය කර ගැනීමයි අපහසු වන්නේ. පිරමිඩයක් බවට මෝරන තුරු මෙම ව්‍යාපාර ජාලයට එරෙහිව පියවර ගන්න බැහැ. නමින් පවා මුදල් ව්‍යාපාරයක් බව පැවසෙන්නෙ නැහැ. මෙහිදී මහ බැංකුව සොයාගත් විට එය විමර්ශනය කරලා පොලිසියට පැමිණිලි කරලා පොලිසිය මගින් තමා නඩු පවරන්නේ. මෙවැනි ආයතනවලට එරෙහිව නඩු කටයුතු දියත් කරලා ඊළඟට එම ආයතන තහනම් කරලා නිවේදනයක් නිකුත් කරනවා. ජනතාවට මේවායේ මුදල් තැන්පත් නොකරන ලෙස අවවාද කරනවා. එහෙත් ඒවා නිවැරදිව සොයාගෙන තමයි එවැනි නිවේදන නිකුත් කර ජනතාව දැනුවත් කළ හැකි වන්නේ. මේ පසුගිය දිනවලත් එවැනි ආයතන 9ක් තහනම් කළා. ඒත් එලෙස තහනම් කළ පසු ඔවුන් වෙනත් නමකින් මතුවෙලා මුල් ජාවාරමම කරනවා. මූල්‍ය සමාගම් වශයෙන් නොව ව්‍යාපාර වශයෙන් සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කර ගන්නවා.''

හිටපු නියෝජ්‍ය අධිපතිවරයා තවදුරටත් පැහැදිලි කරන්නේ මේවා බොහෝ විට විදේශීය සමාගම් බවයි. කෙටි කාලයකදී විශාල වශයෙන් මුදල් උපයාගෙන අතුරුදන් වන්න  හැකි බව ඔහු කියයි.

''2004 වසරේදී මම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජකාරි කරන කාලයේත් 'Gold Crest' යන නමින් මෙවැනි හොංකොං සමාගමක් ගැන පියවර ගත් බව මට මතකයි. අද වනවිට වැඩිපුරම ඇත්තේ චීන සමාගම්. ඔවුන් විවිධ උපක්‍රමවලින් අන්තර්ජාලය හරහා නොයෙක් වාසි පෙන්වමින් ජනතාව ග්‍රහණය කර ගන්නවා. මෙවැනි අයථා කටයුතු නැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා. ඒත් විමර්ශනය කරලා සොයා ගැනීමයි අමාරුව. මේවායේ මුහුණතින් පෙනෙන දේ නොවෙයි ඇතුළත සිදුවන්නේ.'' 

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02